Skip to content

2015 ජූලි 16
ජර්මනිය

දිවි බේරාගැනීමට උදව් කළ පියෙකුට සහ පුතෙකුට උපහාර

දිවි බේරාගැනීමට උදව් කළ පියෙකුට සහ පුතෙකුට උපහාර

යෝරිම්, ක්‍රිස්ටියානේ සහ රෝහල්ගත කරලා ඉන්න අන්ද්‍රීස් බොන්ක්.

ජර්මනියේ සෙල්ටර්ස් - රිය අනතුරක් නිසා ගිනි ගනිමින් තිබුණු කාර් එකක සිරවී සිටි පුද්ගලයන් තුන්දෙනෙක්ගේ ජීවිත බේරගන්න උදව් කරපු අය වෙනුවෙන් උපහාර උළෙලක් 2015 අප්‍රියෙල් 16වෙනිදා පැවැත්වුවා. ඒ අය අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන අන්ද්‍රීස් බොන්ක් සහ ඔහුගේ පුත් යෝරිම්ද හිටියා. උළෙල පැවැත්වුණේ බාඩන්, වුර්ටෙම්බර්ග් ප්‍රාන්තයේ දේශීය කටයුතු භාර ඇමතිවරයාත් උපහාර ලැබූ අය ජීවත් වෙන ඕබසුල්ම් සහ වායිබ්ලින්ගන් කියන නගර දෙකේ නගරාධිපතිවරුන්ගෙත් ප්‍රධානත්වයෙන්. සිදු වුණු වෙනත් අනතුරක් නිසා රෝහල්ගත කරලා හිටිය අන්ද්‍රීස් බොන්ක්ට උපහාර උළෙලට සහභාගි වෙන්න බැරි වුණා. ඒ නිසා ඔහු වෙනුවෙන් දේශීය කටයුතු භාර ඇමති රයින්හෝල්ඩ් ගෝල් මහතා (ඉහළ පින්තූරයේ දකුණේ සිට තුන්වෙනියා) අතින් පදක්කම භාර ගත්තේ අන්ද්‍රීස්ගේ බිරිඳ ක්‍රිස්ටියානේ (ඉහළ පින්තූරයේ මැද). ඒ උපහාර උළෙලේදීම ඕබසුල්ම් නගරයේ නගරාධිපති වන ටිල්මාන් ෂ්මිට් (ඉහළ පින්තූරයේ වම් කෙළවර) යෝරිම් බොන්ක්ටත් (ඉහළ පින්තූරයේ මැද) සහතිකයක් පිරිනැමුවා.

2014 මැයි 11වෙනිදා අන්ද්‍රීස් බොන්ක් සහ යෝරිම් බොන්ක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට සහභාගි වෙන්න අධිවේගී මාර්ගයේ ගමන් කරමින් ඉද්දී ගිනි ගනිමින් තිබුණු කාර් එකක් ඔවුන් දැක්කා. ඒ වාහනේ හිරවෙලා හිටියේ ඇමරිකානු හමුදා සෙබළුන් හතරදෙනෙක්. සමුළුවේ බයිබල් දේශනයක් ඉදිරිපත් කරන්න අන්ද්‍රීස්ට පැවරුමක් තිබුණත් වාහනේ හිර වෙලා හිටිය අයට උදව් කරන්න ඔහු දෙපාරක් හිතුවේ නැහැ. මේ තාත්තයි, පුතයි තවත් දෙන්නෙකුයි ඔවුන්ව බේරගන්න ඉක්මනටම එතනට ගියා. පොලීසිය, ගිනි නිවන හමුදාව සහ ගිලන් රථ ඒ ස්ථානයට එන කල් අන්ද්‍රීස් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා සෙබළුන්ගේ ජීවිත බේරගත්තා. අනතුර නිසා එක සෙබළෙක්ගේ ජීවිතේ අහිමි වීම කනගාටුවට කරුණක්. මේ සිද්ධිය ගැන රයින්හෝල්ඩ් ඇමතිවරයා කරපු ප්‍රකාශයක් ජර්මනියේ සඟරාවක මේ විදිහට සඳහන් වුණා. “ඔයාලගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව කරලා තියෙන මේ උපකාරය ඇත්තටම අගය කරන්න වටිනවා.” ඒ සඟරාවෙම නගරාධිපති ෂ්මිට් කිව්ව දේ සඳහන් වුණේ මෙහෙමයි. “මමත් ඕබසුල්ම් නගරයේ හැම කෙනෙක්මත් ඔයාලා ගැන ආඩම්බර වෙනවා.”—Sulmtaler Woche.

අනතුරට ලක් වූ වාහනය.

මේ වගේ නිර්භීත දෙයක් කරන්න අන්ද්‍රීස් පෙලඹුණේ ඇයි කියලා ඔහු කිව්වා. “මම එතනට ගියේ මනුස්ස ජීවිතේ කොයි තරම් වටිනවද කියලා මං දන්න නිසයි. මං ඕන කෙනෙක්ට උදව් කරන්න කැමතියි. මට හරි මගේ පවුලේ කෙනෙක්ට හරි අනතුරක් වුණු වෙලාවක මනුස්සකම පෙන්නලා උදව් කරනවා නම් අපිත් ඒක ගොඩක් අගය කරනවා.” “කෙනෙක් අසරණ වෙලා ඉද්දී අපි එයාට උදව් කරන්න ඕනෙ” කියලා යෝරිම් කිව්වා.

මේ උපහාර උළෙල පැවැත්වුණේ ඕබසුල්ම් නගර ශාලාවේ. ජර්මනියේ තවත් සඟරාවක (STIMME.de ) උපහාර උළෙල ගැන වාර්තා කරද්දී වායිබ්ලින්ගන් නගරයේ නගරාධිපති අන්ද්‍රීස් හෙස්කී (ඉහළ පින්තූරේ දකුණේ සිට දෙවෙනියා) කරපු ප්‍රකාශයකුත් පළ කෙරුවා. “මේ කරපු උපකාරය ගැන ඔයාලට සතුටු වෙන්න පුළුවන්. ඔයාලා වායිබ්ලින්ගන් නගරයට ආඩම්බරයක් වගේම මුළු රටටම ආදර්ශයක්!”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ජර්මනිය: වුල්ෆ්‍රම් ස්ලුපීනා, විමසීම්: +49 6483 41 3110