Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද?

හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද?

 තාත්තා කෙනෙක්ගේ වගකීම මොකක්ද?

  •   දරුවා ඉපදෙන්න කලින්. ඔයා ඔයාගේ නෝනාට දැන් සලකන විදිහෙන් තේරුම්ගන්න පුළුවන් ඔයා දවසක හොඳ තාත්තා කෙනෙක් වෙනවාද නැද්ද කියලා. එක පොතක (Do Fathers Matter?) මෙහෙම කියනවා.

     “බබා හම්බ වෙන්න ඉද්දී නෝනාට අවශ්‍ය දේවල් ගෙනත් දෙනවා නම්, එයාත් එක්ක ඩොක්ටර් ගාවට යනවා නම්, දරුවාව ස්කෑන් කරලා බලද්දී ළඟ ඉන්නවා නම්, දරුවාගේ හදවත ගැහෙන විදිහ අහනවා නම් දරුවා ඉපදුණාට පස්සෙත් නෝනාවයි, දරුවාවයි දෙන්නාවම ඔයා ආදරෙන් බලාගනියි.”

     “බබා හම්බ වෙන්න හිටපු කාලේ නෝනා පිට හැම බරක්ම දාන්න මං කැමැති වුණේ නෑ. ඒ නිසා මං එයාට පුළුවන් හැම විදිහකින්ම උදව් කළා. බබාගේ කාමරේ ලෑස්ති කළෙත් අපි දෙන්නා එකතු වෙලාමයි. ඒ කාලේ අපි දෙන්නාට දෙන්නා ගොඩක් ළං වුණා.”ජේම්ස්.

     බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.

  •   දරුවා ඉපදුණාට පස්සේ. ඔයාගේ පුංචි කිරිකැටියාව අතට අරගෙන එයාව ආදරෙන් තුරුලු කරගන්න. එයාත් එක්ක සෙල්ලම් කරන්න. එතකොට ඔය දෙන්නා අතර කිට්ටු බැඳීමක් ඇති වෙයි. දරුවාට කවන පොවන එක, දරුවාව නිදි කරවන එක වගේ දේවල්වලට ඔයාත් උදව් වෙන්න. තාත්තා කෙනෙක් විදිහට ඔයා දරුවා වෙනුවෙන් කරන දේවල් දරුවාගේ වර්ධනයට ගොඩක් බලපානවා. ඒ විදිහට ඔයා දරුවාට කිට්ටු වෙද්දී, ආදරේ කරද්දී ඔයා පෙන්නන්නේ ඔයාට එයාව කොච්චර වටිනවාද කියලයි.

     “දරුවා එක්ක ඉද්දී ඔයාත් දරුවෙක් වගේ වෙන්න. එයාත් එක්ක සෙල්ලම් කරන්න, කෝලම් කරන්න ලැජ්ජා වෙන්න එපා. මොකද ආදරේ කියන්නේ මොකක්ද කියලා එයා ඉස්සෙල්ලාම ඉගෙනගන්නේ ඔයාලා දෙන්නාගෙන්.”රිචර්ඩ්.

     බයිබල් ප්‍රතිපත්තිය: “දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි. කුසේ පලය ඔහුගෙන් ලැබෙන තෑග්ගකි.”—ගීතාවලිය 127:3.

  •   දරුවා උස් මහත් වෙද්දී. පර්යේෂකයන් කියනවා දරුවෝ එයාලාගේ තාත්තලට ගොඩක් කිට්ටුයි නම් එයාලා ඉස්කෝලේ වැඩ හොඳට කරනවා වගේම එයාලට මානසික ප්‍රශ්නත් අඩුයි කියලා. ඒ විතරක් නෙවෙයි දරුවන් මත්කුඩුවලට ඇබ්බැහි වෙන්න, නීති විරෝධී දේවල් කරන්න, දරුණු විදිහට හැසිරෙන්න තියෙන ප්‍රවණතාවත් අඩුයි කියලා එයාලා කියනවා. ඒ නිසා ඔයාගේ දරුවාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න කාලේ ගන්න.

     “පුතා වැඩිහිටියෙක් වෙලා ගෙදරින් ගියාම මට කිව්වා එයාට වැඩියෙන්ම අමාරු වුණේ මං එයා ළඟ නැති එක කියලා. මොකද අපි ඉස්සර රෑ කෑම කද්දී, කොහේ හරි දුර ගමනක් යද්දී සෑහෙන වෙලා කතා කරනවා. සමහර වෙලාවට අපි ජීවිතේ වැදගත්ම කාරණා ගැන කතා කළෙත් ප්ලෑන් කරලා නෙවෙයි, හිටිහැටියේම. මොකද අපි දෙන්නා කතා කරන්න ගත්තම ඉතිං දන්නෙම නැතුව පැය ගාණක් ගෙවිලා යනවා.”ඩෙනිස්.

     බයිබල් ප්‍රතිපත්තිය: ‘ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න. ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.’—එෆීස 5:15, 16.

 පවුලකට තාත්තා කෙනෙක් ඉන්න එක කොච්චර වටිනවාද?

 සාමාන්‍යයෙන් හැමෝම කියන්නේ පවුලේ අයට කන්න, අඳින්න දෙන එක, එයාලව ආරක්ෂා කරන එක තමයි තාත්තා කෙනෙක්ගේ වගකීම කියලා. එතකොට අම්මා තමයි දරුවෝ ළඟින් ඉඳලා එයාලට ආදරේ කරන්න ඕනෙ, එයාලව සනසන්න ඕනෙ කියලා. (ද්විතීය කතාව 1:31; යෙසායා 49:15) හැබැයි සමහර පවුල්වල තියෙන තත්වයට අනුව අම්මාටයි, තාත්තාටයි කරන්න වෙන දේවල් ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් පර්යේෂකයන් කියනවා අම්මා, තාත්තා කියන චරිත දෙකටම පවුල ඇතුළේ විශේෂ ජවනිකාවක් තියෙනවා කියලා. a

 ඒ කාරණය කාවද්දන්න පර්යේෂකවරියක් වන ජූඩිත් වොලර්ස්ටයින් එයාගේ පෞද්ගලික අද්දැකීමක් ගැන මෙහෙම කියනවා. “අපේ දුවට අවුරුදු 12දී එයා ඇක්සිඩන්ට් වුණා. එදා එයා එයාත් එක්ක ඇම්බියුලන්ස් එකේ යන්න අඬගැහුවේ තාත්තාට. මොකද එයාට ලොකු විශ්වාසයක් තිබ්බා ඒ වෙලාවේ තාත්තා හැම දෙයක්ම බලාගනියි කියලා. හැබැයි ඉස්පිරිතාලෙට ගියාම මුළු දවසෙම එයාගේ ඇඳ ළඟ ඉඳන් එයාව සනසන්න හෙව්වේ මාව.” b

 “ගොඩක් වෙලාවට තාත්තා තමයි පවුලට ආරක්ෂාව, රැකවරණය දෙන්නේ. ඒ නිසා පවුලේ අයට ලොකු සහනයක්, සන්සුන්කමක් දැනෙනවා. හැබැයි දරුවන්ට ඇහුම්කන් දීලා එයාලව තේරුම්ගන්න එක පැත්තෙන්, එයාලව ආදරෙන් සනසන එක පැත්තෙන් තාත්තාට වඩා අම්මා ටිකක් ඉදිරියෙන් ඉන්නවා. ඒ කොහොම වුණත් පවුලකට ඒ දෙන්නාගෙම සහයෝගය ඕනේ. මොකද ඒ දෙන්නාම එක ටීම් එකක්.”ඩැනියෙල්.

 බයිබල් ප්‍රතිපත්තිය: “මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න. ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.”—හිතෝපදේශ 1:8.

 තාත්තලා සහ දුවලා

 පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක්ට සලකන්න ඕනෙ කොහොමද කියලා ඔයාගේ දුව මුලින්ම ඉගෙනගන්නේ ඔයා දිහා බලලා. ඒ කොහොමද?

  •   ඔයා එයාගේ අම්මාට සලකන විදිහෙන්. ඔයා ඔයාගේ නෝනාට ආදරෙන්, ගෞරවයෙන් සලකද්දී ඔයාගේ දුව ඒක දකිනවා. එතකොට පස්සේ කාලෙක එයා විවාහ වෙන්න කෙනෙක් හොයද්දී ඒ කෙනාට ඒ ගුණාංග තියෙනවාද කියලා එයා හොඳට බලනවා.—1 පේතෘස් 3:7.

  •   ඔයා ඔයාගේ දුවට සලකන විදිහෙන්. ඔයා ඔයාගේ දුවට ගෞරවයෙන් සලකද්දී එයාට ආත්ම ගෞරවයක් ඇති වෙනවා. එතකොට කාන්තාවක් විදිහට එයාට අගෞරවනීයව සලකන්න එයා කිසිම පිරිමි කෙනෙක්ට ඉඩ දෙන්නේ නැහැ.

     අනිත් අතට, ඔයා දුවගේ වැරදිම කියකිය හැම තිස්සේම එයාව පහත් කරලා සලකනවා නම් එයාට එයා ගැනම හොඳ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. එයාට හිතෙයි එයා කිසි වැඩකට නැති කෙනෙක් කියලා. එතකොට ඔයාගෙන් ලැබෙන්නේ නැති ආදරේ, සැලකිල්ල හොයාගෙන එයා වෙන අය ළඟට යයි. ඒ විදිහට එයා ළං වෙන පිරිමි අය සමහර වෙලාවට එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්නත් ඉඩ තියෙනවා.

     “තාත්තා කෙනෙක්ගේ ආදරේ, සැලකිල්ල අඩුවක් නැතුව ලැබුණ දුවෙක් හුඟක් වෙලාවට විවාහ වෙන්න කෙනෙක්ව තෝරගද්දී රැවටෙනවා අඩුයි. මොකද එයා දන්නවා හොඳ සැමියෙක් ළඟ තියෙන්න ඕනෙ මොන වගේ ගුණාංගද කියලා.”වේන්.

a තාත්තා කෙනෙක්ගේ උදව් නැතුව වුණත් දරුවන්ව හොඳින් ඇතිදැඩි කරපු හුඟක් අම්මලා ඉන්නවා.

b The Unexpected Legacy of Divorce කියන පොතෙන්.