Skip to content

එක වතාවක් ගැලවීම ලැබුවොත් හැමදාටම ගැලවීම ලැබෙනවා කියලා බයිබලයේ තියෙනවද?

එක වතාවක් ගැලවීම ලැබුවොත් හැමදාටම ගැලවීම ලැබෙනවා කියලා බයිබලයේ තියෙනවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 එක වතාවක් ගැලවීම ලැබුවොත් හැමදාටම ගැලවීම ලැබෙනවා කියන ඉගැන්වීම බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. යේසුස් ගැන විශ්වාසය තියන කෙනෙක්ට ගැලවීම ලබන්න මඟ විවර වුණත් ඒ කෙනා දිගටම විශ්වාසවන්තව හිටියේ නැත්නම් ඒ අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. බයිබලයේ කියන්නේ දිගටම විශ්වාසය තියාගන්න නම් ‘මහත් සටනක්’ කරන්න ඕනෙ කියලයි. (යූද් 3, 5) යේසුස්ව ගැලවුම්කරු විදිහට පිළි අරන් හිටිය ක්‍රිස්තියානීන්ට පාවුල් මෙහෙම කිව්වා. “දේවගරුබියක් ඇතුව ඔබ ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න.”—ෆිලිප්පි 2:12.

එක වතාවක් ගැලවීම ලැබුවොත් හැමදාටම ගැලවීම ලැබෙනවා කියන ඉගැන්වීම වැරදියි කියලා පෙන්වන බයිබල් පද

  •   බරපතළ වැරදි කළොත් දේවරාජ්‍යය උරුම වෙන්නේ නැහැ කියලා බයිබලයේ පැහැදිලිවම අනතුරු අඟවලා තියෙනවා. (1 කොරින්ති 6:9-11; ගලාති 5:19-21) එක වතාවක් ගැලවීම ලැබුවොත් හැමදාටම ගැලවීම ලැබෙනවා කියන ඉගැන්වීම නිවැරදියි නම් ඒ වගේ අනතුරු ඇඟවීමක් දෙන එක තේරුමක් නැහැ. ඒ වෙනුවට බයිබලයේ කියන්නේ කෙනෙක්ට ගැලවීම ලබන්න මඟ විවර වුණත් කාලයක් යද්දී ඒ කෙනා ආපහු බරපතළ වැරදි කරන්න පෙලඹෙන්න ඉඩ තියෙනවා කියලයි. උදාහරණයකට හෙබ්‍රෙව් 10:26 මෙහෙම කියනවා. “සත්‍ය ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගත් පසු අප හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම් එවැනි පව්වලට සමාව ලබාගැනීම සඳහා කිසි පූජාවක් නැත.”—හෙබ්‍රෙව් 6:4-6; 2 පේතෘස් 2:20-22.

  •   විශ්වාසය දිගටම රැකගන්න එකේ තියෙන වැදගත්කම යේසුස් ලස්සන උපමාවකින් කියලා දුන්නා. ඒ උපමාවේදී යේසුස් තමන්ව සමාන කළේ මිදිවැලකට. අනුගාමිකයන්ව ඒ මිදිවැලේ අතුවලට සමාන කළා. ඒ අයගෙන් හුඟදෙනෙක් එයාලට තිබුණු විශ්වාසය ක්‍රියාවලින් ඔප්පු කරලා පෙන්නුවා. ඒක හරියට ඒ අතු පල දරනවා වගෙයි. ඒත් කාලයක් යද්දී එයාලා පල දරන එක නතර කරන නිසා ඒ ‘අතු කපා ඉවත් කරනවා’ කියලා යේසුස් කිව්වා. (යොහන් 15:1-6) ඒ කියන්නේ එයාලට ගැලවීමේ අවස්ථාව අහිමි වෙනවා කියන එකයි. පාවුල් කියපු උපමාවකත් ඒ වගේ අදහසක් තිබුණා. ඔහු කිව්වේ දිගටම විශ්වාසය රැකගන්නේ නැති ක්‍රිස්තියානීන්ව ‘කපා ඉවත් කරනු ලබනවා’ කියලයි.—රෝම 11:17-22.

  •   දිගටම ‘සෝදිසියෙන් ඉන්න’ කියලා යේසුස් ක්‍රිස්තියානීන්ට ආඥා කළා. (මතෙව් 24:42; 25:13) ඒත් “අන්ධකාරයට සම්බන්ධ ක්‍රියා” දිගටම කරන එහෙම නැත්නම් යේසුස් අණ කරපු දේවල් කරන්නේ නැති අය සංකේතාත්මකව නිදිබර වෙලා ගැලවෙන්න ලැබිලා තියෙන අවස්ථාව නැති කරගන්නවා.—රෝම 13:11-13; එළිදරව් 3:1-3.

  •   ගැලවීම ලබාගන්න මඟ විවර වුණත් අවසානය දක්වාම විඳදරාගන්න එකේ තියෙන වැදගත්කම හුඟක් බයිබල් පදවල පෙන්වලා තියෙනවා. (මතෙව් 24:13; හෙබ්‍රෙව් 10:36; 12:2, 3; එළිදරව් 2:10) සෙසු සහෝදර සහෝදරියන් දිගටම විශ්වාසවන්තකම රැකගෙන වැඩ කරනවා කියලා දැනගත්තම මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් හුඟක් සතුටු වුණා. (1 තෙසලෝනික 1:2, 3; 3 යොහන් 3, 4) දිගටම විඳදරාගන්නේ නැති අයටත් ගැලවීම ලැබෙනවා නම් දිගටම විඳදරාගන්න කියලා බයිබලයේ කියන එක සාධාරණයි කියලා හිතන්න පුළුවන්ද?

  •   තමන්ට ගැලවීම ලැබෙනවා කියලා පාවුල් සැකයක් නැතුව දැනගත්තේ ඔහු මිය යන්න ආසන්නව ඉද්දියි. (2 තිමෝති 4:6-8) වැරදි පෙලඹවීම්වලට අහු වුණොත් ගැලවෙන්න ලැබිලා තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන් කියලා ඔහු කලින් ඉඳලම තේරුම් අරන් හිටියා. ඔහු කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “මම මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින් වහලෙකුව ඇදගෙන යන්නා සේ එය මගේ පාලනයට යටත් කරගන්නෙමි. එසේ කරන්නේ මා අන් අයට දේශනා කළ පසු කිසි ලෙසකින්වත් මට දෙවිගේ අනුමැතිය අහිමි නොවීම සඳහාය.”—1 කොරින්ති 9:27; ෆිලිප්පි 3:12-14.