Skip to content

ඇයි මෙච්චර ක්‍රිස්තියානි ආගම්?

ඇයි මෙච්චර ක්‍රිස්තියානි ආගම්?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් පාවිච්චි කරලා විවිධ ක්‍රිස්තියානි ආගම් පිහිටුවාගෙන තියෙනවා. ඒත් තියෙන්නේ එකම “ක්‍රිස්තියානි” ධර්මයක් කියලයි බයිබලයේ කියන්නේ. එහෙම කියන්න තියෙන හේතු 3ක් බලන්න.

  1.   යේසුස් කිව්වේ ඔහු “සත්‍යය” ඉගැන්නුවා කියලයි. මුල් ක්‍රිස්තියානීනුත් කිව්වේ ඔවුන්ගේ ආගම “සත්‍යය” කියලයි. (යොහන් 8:32; 2 පේතෘස් 2:2; 2 යොහන් 4; 3 යොහන් 3) ඒකෙන් පැහැදිලි වෙන්නේ යේසුස්ගේ ඉගැන්වීම්වලට පටහැනි දේවල් උගන්වන අය සත්‍ය ක්‍රිස්තියානි ධර්මය පිළිපදින්නේ නැහැ කියලයි.

  2.   ක්‍රිස්තියානීන් ‘පවසන දේවල් අතර එකඟතාවක් තිබිය යුතුයි’ කියලා බයිබලයේ කියනවා. (1 කොරින්ති 1:10) ඒත් ක්‍රිස්තියානියෙක් වෙන්න අවශ්‍ය මූලික ඉගැන්වීම්වලට හුඟක් ක්‍රිස්තියානි ආගම් එකඟ වෙන්නේ නැහැ. එහෙමනම් ඒ හැම ආගමක්ම සත්‍ය ආගමක් වෙන්නේ කොහොමද?—1 පේතෘස් 2:21.

  3.   ක්‍රිස්තියානීන් කියලා කියාගත්තත් හුඟක් අය යේසුස්ගේ ආඥාවලට කීකරු වෙන්නේ නැති නිසා ඒ අයව ප්‍රතික්ෂේප කරනවා කියලා යේසුස් කලින්ම කිව්වා. (මතෙව් 7:21-23; ලූක් 6:46) තමන්ගේ ඕනෑ එපාකම් ඉටු කරගන්න අදහසින් සැබෑ නමස්කාරය දූෂණය කරන ආගමික නායකයන්ට සමහරු රැවටෙනවා. (මතෙව් 7:15) තවත් අය ඇත්තෙන්ම කැමති ක්‍රිස්තියානි කියලා කියාගන්නා ආගමකට. මොකද ඒ අය සවන් දෙන්න කැමති බයිබලයේ තියෙන සත්‍යය කියලා දෙන අයට වඩා තමන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටයි.—2 තිමෝති 4:3, 4.

 තිරිඟු සහ කිරිඳි ගැන උපමාව කියද්දී සැබෑ ක්‍රිස්තියානි ධර්මයට විරුද්ධව කැරලිගහන (සත්‍ය ඉගැන්වීම් විකෘති කරන) අය ඉඳියි කියලා යේසුස් කිව්වා. (මතෙව් 13:24-30, 36-43) සෑහෙන කාලයක් යන කල් සැබෑ ක්‍රිස්තියානීන් සහ බොරු ක්‍රිස්තියානීන් අතර වෙනස අඳුරගන්න බැරි වෙයි කියලත් ඔහු කිව්වා. කිව්වා වගේම නියෝජිතයන්ගේ මරණයෙන් පස්සේ සත්‍ය ඉගැන්වීම් විකෘති කරන අය හතු පිපෙන්නා වගේ වැඩි වුණා. (ක්‍රියා 20:29, 30) ඒ නිසා හුඟක් අය ‘සත්‍ය ඉගැන්වීම්වලින් අහක්ව ගියා.’ (2 තිමෝති 2:18) එකිනෙකට වෙනස් ඒ ඉගැන්වීම් නිසයි ක්‍රිස්තියානියි කියලා කියාගන්න ආගම් හුඟක් ඇති වුණේ.

 සැබෑ සහ බොරු ක්‍රිස්තියානීන් අතර වෙනස පැහැදිලිව දැකගන්න පුළුවන් වෙයි කියලත් යේසුස් කිව්වා. මේක සිද්ධ වෙන්නේ ‘පවතින මේ සමාජයේ අවසාන කාලයේදියි.’—මතෙව් 13:30, 39.