Skip to content

ගබ්සාව ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

ගබ්සාව ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 කෙනෙක් හිතාමතාම ගබ්සාවක් කරන එක ගැන බයිබලයේ සඳහන් වෙලා නැහැ. ඒත් නූපන් දරුවෙක්ගේ ජීවිතය ඇතුළු මිනිස් ජීවිත ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න බයිබලයේ ඕන තරම් තොරතුරු තියෙනවා.

 ජීවිතය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. (උත්පත්ති 9:6; ගීතාවලිය 36:9) මව්කුසේ ඉන්න දරුවෙකුගේ ජීවිතය ඇතුළු හැම කෙනෙකුගේම ජීවිත දෙවියන් සලකන්නේ හුඟක් වටිනා දෙයක් විදිහට. ඒ නිසා කෙනෙක් හිතාමතාම නූපන් දරුවෙකුගේ ජීවිතය නැති කරනවා නම් දෙවියන් ඒක සලකන්නේ මිනී මැරුමක් විදිහටයි.

 දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීතියේ මෙහෙම සඳහන් වුණා. “මනුෂ්‍යයන් දෙදෙනෙකු පොරබඳින විට ගැබිනි මවකට පහරක් වැදී දරුවා ඒ මොහොතේදීම බිහි වුණොත් ඔබ මෙසේ කළ යුතුයි. දරුවාට හෝ මවට ඒ පහරින් දරුණු අනතුරක් සිදු වී නැතත් ඒ ස්ත්‍රියගේ පුරුෂයා නියම කරන වන්දිය වරදකරු අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. විනිශ්චයකරුවන්ගේ අධීක්ෂණය යටතේ ඔහු එම වන්දිය ගෙවිය යුතුයි. නමුත් මවට හෝ දරුවාට හෝ දරුණු අනතුරක් සිදු වුණොත් ජීවිතයකට ජීවිතයක්” දිය යුතුයි.—නික්මයාම 21:22, 23. a

 මිනිස් ජීවිතයක් ඇරඹෙන්නේ කොයි අවස්ථාවේදීද?

 මවකගේ කුසේ දරුවෙක් පිළිසිඳගන්න මොහොතේ ඉඳන්ම දෙවියන් ඒක සලකන්නේ ජීවමාන පුද්ගලයෙක් විදිහටයි. ඒ වගේම දෙවියන් බයිබලය මාර්ගයෙන් පැහැදිලිව පෙන්වලා තියෙනවා ඔහු නූපන් දරුවෙකුව වෙනමම පුද්ගලයෙක් විදිහට සලකනවා කියලා. දෙවියන් නූපන් දරුවෙක්ගේ ජීවිතයත් සලකන්නේ ඉපදිලා ඉන්න දරුවෙක්ගේ ජීවිතය හා සමානවයි කියලා පැහැදිලි වෙන උදාහරණ කීපයක් බලමු.

  •   දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් දාවිත් රජ එක අවස්ථාවකදී මෙහෙම ලිව්වා. “මා කලලයක්ව සිටියදී ඔබට [දෙවියන්ට] මාව පෙනුණේය.” (ගීතාවලිය 139:16) ඒකෙන් පැහැදිලි වෙනවා දාවිත් ඉපදෙන්නත් කලින් ඉඳලාම දෙවියන් එයාව සැලකුවේ ජීවත් වෙන කෙනෙක් විදිහටයි කියලා.

  •   ඒ වගේම යෙරෙමියා කියන අනාගතවක්තෘවරයා ඉපදෙන්න කලින් ඉඳන්ම දෙවියන් යෙරෙමියාව විශේෂ කාර්යයකට තෝරාගෙන තිබුණා. ඒ නිසයි දෙවියන් යෙරෙමියාට මෙහෙම කිව්වේ. “ඔබ මව්කුසේ පිළිසිඳගැනීමටත් කලින් මම ඔබව තෝරාගත්තෙමි. ඔබ ඉපදෙන්නත් කලින් මම ඔබව ශුද්ධ සේවයක් සඳහා තෝරාගත්තෙමි. ජාතීන්ට අනාවැකි කීමට මම ඔබව පත් කළෙමි.”—යෙරෙමියා 1:5.

  •   බයිබල් ලේඛකයෙක් වගේම වෛද්‍යවරයෙක් වුණු ලූක් නූපන් දරුවෙකුව විස්තර කරන්න යොදාගෙන තියෙන්නෙත් අලුත උපන් දරුවෙකුව විස්තර කරන්න යොදාගෙන තියෙන ග්‍රීක වචනයමයි.—ලූක් 1:41; 2:12, 16.

 ගබ්සාවක් කරලා තියෙන කෙනෙක්ට දෙවියන්ගෙන් සමාව ලැබෙයිද?

 ගබ්සාවක් කරලා තියෙන කෙනෙක් නූපන් දරුවෙකුගේ ජීවිතය දෙවියන්ට කොයි තරම් වටිනවාද කියන දේ තේරුම් අරන් තමන් අතින් වුණු වරද ගැන අවංකවම පසුතැවෙනවා නම් දෙවියන්ගෙන් සමාව ලබාගන්න එයාට පුළුවන්. ඒ වගේ කෙනෙක් තමන් අතින් වුණු වරද ගැන හිතහිත අනවශ්‍ය විදිහට දුක් වෙන්න ඕනෙ නැහැ. මොකද බයිබලයේ දෙවියන් ගැන මෙහෙම කියලා තියෙනවා. “යෙහෝවා දෙවි දයාන්විතය. කරුණාවන්තය. . . . බස්නාහිර නැඟෙනහිරෙන් බොහෝ ඈත්ව තිබෙන්නා සේ ඔහු අපේ වැරදිද අපෙන් දුරස් කරන්නේය.” b (ගීතාවලිය 103:8-12) ගබ්සාවක් කරපු අය ඇතුළු අතීතයේදී තමන් අතින් වුණු වැරදි ගැන අවංකවම පසුතැවෙන අයට යෙහෝවා දෙවියන් සමාව දෙනවා.—ගීතාවලිය 86:5.

 මවගේ හරි දරුවාගේ හරි ජීවිතේ අනතුරේ තියෙනවා කියලා දැනගත්තොත් ගබ්සා කරන එකේ වරදක් නැද්ද?

 අම්මාගේ හරි දරුවාගේ හරි ජීවිතයට අනතුරක් වෙන්න ඉඩ තියෙනවා කියලා වෛද්‍යවරයෙක් කියන්න පුළුවන්. හැබැයි නූපන් දරුවෙක් ගැන දෙවියන්ට හැඟෙන විදිහ සලකලා බලද්දී පැහැදිලි වෙනවා ඒ වගේ හේතුවක් මත වුණත් ගබ්සාවක් කරන එක කොහෙත්ම සුදුසු නැහැ කියලා.

 දරුවා ලැබෙන අවස්ථාවේදී බේරගන්න ඕනෙ අම්මාගේ ජීවිතයද නැත්නම් දරුවාගේ ජීවිතයද කියලා තීරණයක් ගන්න වෙන අවස්ථාවක් කලාතුරකින් උදා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ? බේරගන්න ඕනෙ කාගේ ජීවිතේද කියන එක ගැන තීරණයක් ගන්න යුවළට සිද්ධ වෙනවා.

a ඒ නීතියේ සඳහන් වෙන්නේ මවට හානියක් වෙන එක ගැන මිසක් කලලයට හානියක් වෙන එක ගැන නෙවෙයි කියලා ඇඟවෙන විදිහටයි සමහර බයිබල් පරිවර්තනවල ඒ අදහස පරිවර්තනය කරලා තියෙන්නේ. හැබැයි ඇත්තටම හෙබ්‍රෙව් භාෂාවෙන් ලියවුණු මුල් පිටපත්වල සඳහන් වෙන්නේ ගැබිනි මවට හරි කුසේ ඉන්න දරුවාට හරි යම් හානියක් වෙනවා නම් ඒ කාරණා දෙකම හුඟක් බරපතළයි කියලයි.

b දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.—ගීතාවලිය 83:18.