Skip to content

මත්පැන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද? මත්පැන් පානය කරන එක පාපයක්ද?

මත්පැන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද? මත්පැන් පානය කරන එක පාපයක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 සීමාව දැනගෙන මත්පැන් පානය කරන එක පාපයක් නෙමෙයි. දෙවියන් අපිට වයින් ලබා දීලා තියෙන්නේ අපේ සිත සතුටු කරන්න කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 104:14, 15; දේශනාකාරයා 3:13; 9:7) ඒ වගේම වයින්වල ඖෂධීය ගුණයක් තියෙනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා.—1 තිමෝති 5:23.

 මේ පොළොවේ ඉද්දී යේසුස් වයින් බිව්වා. (මතෙව් 26:29; ලූක් 7:34) ඒ වගේම යේසුස් ප්‍රාතිහාර්යයක් කරමින් විවාහ මංගල්‍යයකදී වතුර වයින් බවටත් පත් කෙරුවා.—යොහන් 2:1-10.

අධික මත්පැන් පානයේ අනතුරු

 වයින්වලින් ලැබෙන ප්‍රයෝජන ගැන බයිබලයේ සඳහන් කෙරුවත් අධික මත්පැන් පානය හා බේබදුකම හෙළාදකිනවා. ඒ නිසා ක්‍රිස්තියානි කෙනෙක් මත්පැන් පානය කරනවා නම් පානය කරන්න ඕනෙ සීමාව දැනගෙනයි. (1 තිමෝති 3:8; තීතස් 2:2, 3) අධික මත්පැන් පානයෙන් වළකින්න ඕන හේතු කීපයක් බයිබලයේ සඳහන් වෙනවා.

  •   කල්පනා ශක්තිය දුර්වල වෙලා, හරි තීරණ ගන්න බැරි වෙනවා. (හිතෝපදේශ 23:29-35) මත් වෙච්ච කෙනෙක්ට ‘ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන්න. ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න ඔබට හැකි වනු ඇත’ කියලා බයිබලයේ දීලා තියෙන ආඥාව පිළිපදින්න බැරි වෙනවා.—රෝම 12:1.

  •   අධික මත්පැන් පානයෙන් ‘සිතුවිලි විකෘති වී යහපත් චේතනා නැති වී යන’ නිසා කෙනෙක්ට තමන්ගේ ක්‍රියා පාලනය කරගන්න බැරි වෙනවා.—හොෂෙයා 4:11; එෆීස 5:18.

  •   ආර්ථික ප්‍රශ්න වගේම දරුණු රෝග ඇති වෙන්නත් පුළුවන්.—හිතෝපදේශ 23:21, 31, 32.

  •   අධික මත්පැන් පානය සහ බේබදුකම නිසා දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ නැහැ.—හිතෝපදේශ 23:20; ගලාති 5:19-21.

සීමාව ඉක්මවන ප්‍රමාණය මොකක්ද?

 මත්පැන් පානය නිසා කෙනෙක්ට හෝ අනිත් අයට හානියක් වෙනවා නම් ඒ කියන්නේ ඔහු සීමාව ඉක්මවලා මත්පැන් පානය කරලා තියෙනවා කියලයි. බයිබලයට අනුව කෙනෙක් සීමාව ඉක්මවලා ඉන්නවාද කියලා හොයාගන්න නම් ඔහු බීලා වැටිලා ඉන්නම අවශ්‍යය නැහැ. අසිහියෙන් වැඩ කරනවා නම්, වැනි වැනි යනවා නම්, රණ්ඩුවට බර වෙනවා නම් හෝ වචන පැටලෙනවා නම් ඔහු තමන්ගේ සීමාව පන්නලා. (යෝබ් 12:25; ගීතාවලිය 107:27; හිතෝපදේශ 23:29, 30, 33) වෙරි වුණේ නැතත් ‘අධික බීමෙන්’ දරුණු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්.—ලූක් 21:34, 35.

සම්පූර්ණයෙන්ම වැළකීම

 ක්‍රිස්තියානීන් මත්පැන්වලින් සම්පූර්ණයෙන්ම වළකින්න ඕන අවස්ථා ගැන බයිබලයේ සඳහන් වෙනවා:

  •   අන් අයගේ විශ්වාසයට හානියක් වෙනවා නම්.—රෝම 14:21.

  •   මත්පැන් පානය නීතියෙන් තහනම් නම්.—රෝම 13:1.

  •   මත්පැන් පානය පාලනය කරගන්න බැරි නම්. බේබදුකමට හෝ මත්පැන් අනිසි භාවිතයට ඇබ්බැහි වෙලා ඉන්න අය ඒකෙන් වළකින්න දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.—මතෙව් 5:29, 30.