Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

එෆීස 3:20 - ‘අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ දෙවියන්වහන්සේ’

එෆීස 3:20 - ‘අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ දෙවියන්වහන්සේ’

 ‘අප තුළ ක්‍රියාත්මක වන බලය මාර්ගයෙන් අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් අපට සිතාගත හැකි ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් දේවල් කිරීමේ හැකියාව දෙවි සතුය. එහෙයින් සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ඔහුට ලබා දීම කොතරම් යෝග්‍යද!’—එෆීස 3:20, 21, ‘නව ලොව පරිවර්තනය.’

 ‘අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම සදාකාලයටම ගෞරවය වේවා. ආමෙන්.’—එෆීස 3:20, 21, ‘පැරණි අනුවාදය.’

එෆීස 3:20 අදහස

 දෙවියන් ඔහුගේ සෙනඟගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙද්දී එයාලා හිතන්නේවත් නැති විදිවලින් ඔහුට ඒක කරන්න පුළුවන් කියලා පාවුල් මෙතන කාවද්දනවා. ඒ විතරක් නෙවෙයි එයාලා බලාපොරොත්තු වෙනවාටත් වැඩියෙන් ඔහු ඒක කරනවා.

 ‘අප තුළ ක්‍රියාත්මක වන බලය මාර්ගයෙන් දේවල් කිරීමේ හැකියාව දෙවි සතුය.’ මේ බයිබල් පදේ කතා කරන දෙවියන්ගේ නම යෙහෝවා. a 21වෙනි පදේ පාවුල් මෙහෙම කියනවා. “එහෙයින් සභාව මගින්ද ක්‍රිස්තුස් යේසුස් මගින්ද සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ඔහුට ලබා දීම කොතරම් යෝග්‍යද!” පාවුල් අපිට මතක් කරන්නේ දිගටම දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔහු අපිට අවශ්‍ය බලය, ශක්තිය ලබා දෙනවා කියලයි.—ෆිලිප්පි 4:13.

 තමන්ගේ සේවකයන්ට උදව් කරන්න යෙහෝවා දෙවියන්ට තියෙන හැකියාව ගැන පාවුල් 20වෙනි පදේ විශේෂ දෙයක් කියනවා. “හැකියාව දෙවි සතුයි” කියලා පරිවර්තනය කරලා තියෙන වචන පෙළ ගැන එක පොතක මෙහෙම සඳහන් වෙනවා. “මෙතන කතා කරන්නේ, දෙයක් කරන්න දෙවියන්ට තියෙන නිකම්ම නිකම් හැකියාව ගැනවත් ඒ දේ ඔහු සමහරවිට කරයි කියන එක ගැනවත් නෙවෙයි. ඒ වෙනුවට ඒ දේ කරන්න ඔහුට ලොකු බලයක් තියෙනවා කියන එකයි.” සමහර වෙලාවට අපේ කිට්ටු යාළුවෙක් හොඳ හිතකින් දෙයක් කරන්න පොරොන්දු වුණත් ඒ දේ කරන්න එයාට බැරි වෙන්න පුළුවන්. ඒත් යෙහෝවා දෙවියන් ඊට හාත්පසින්ම වෙනස්. තමන්ගේ සෙනඟව බලාගන්න, එයාලාගේ යාච්ඤාවලට උත්තර දෙන්න ඕනෙම දෙයක් කරන්න ඔහුට පුළුවන්. මොකද ඔහුට විතරයි අසීමිත බලයක් සහ අධිකාරියක් තියෙන්නේ.—යෙසායා 40:26.

 ‘අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් අපට සිතාගත හැකි ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් දේවල් කිරීමේ හැකියාව දෙවි සතුය.’ තමන්ගේ සෙනඟ බලාපොරොත්තු වෙනවාටත් “වඩා වැඩියෙන්,” කොටින්ම කිව්වොත් පිරිලා ඉතිරිලා යන විදිහට එයාලට අවශ්‍ය දේවල් සපයන්න යෙහෝවාට පුළුවන්. සමහර වෙලාවට ‘මට ලැබිලා තියෙන උදව් හොඳටම ඇති’ කියලා එයාලා හිතුවත් ඊටත් වැඩියෙන් ඔහු එයාලට උදව් කරනවා.

 අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් අපට සිතාගත හැකි ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත්” කියලා කියපු එකෙන් පාවුල් තවත් හොඳින් ඒ කාරණය කාවද්දනවා. පාවුල්ට ඕනෙ වුණේ අපි කවදාවත් හිතපු නැති විදිවලින් අපිව බලාගන්න දෙවියන්ට පුළුවන් කියන එක තේරුම්ගන්න උදව් කරන්නයි. ඒ පදය එක බයිබල් පරිවර්තනයක සඳහන් වෙලා තියෙන්නේ මේ විදිහටයි. “අපි ඉල්ලනවාටත් වඩා වැඩියෙනුත් බලාපොරොත්තු වෙනවාටත් වඩා වැඩියෙනුත් කවදාවත් අපිට මනින්න බැරි විදිහට උදව් කරන්න හැකියාව දෙවියන්ට තියෙනවා.” (New International Version) සමහර වෙලාවට ‘මගේ ප්‍රශ්න විසඳන්නවත් බැරි තරමට ලොකුයි, ඒවා හුඟක් සංකීර්ණයි’ කියලා ක්‍රිස්තියානියෙක්ට හිතෙන්න පුළුවන්. යාච්ඤා කරලා දෙවියන්ට කියන්නේ මොනවාද කියලවත් සමහර වෙලාවට එයාලට හිතාගන්න බැරුව ඇති. ඒ වුණත් දෙවියන්ට තියෙන අසීමිත ප්‍රඥාව සහ බලය නිසා එයාලට ඕන කරන්නේ මොන වගේ උදව්වක්ද කියලා ඔහුට තේරෙනවා. හරි වෙලාවට කවදාවත් හිතපු නැති විදිහට ඒ ප්‍රශ්නේ විසඳන්න ඔහුට පුළුවන්. (යෝබ් 42:2; යෙරෙමියා 32:17) ඒ විතරක් නෙවෙයි ඒ වෙන කල් සතුටින් විඳදරාගන්න ශක්තියත් ඔහු එයාලට දෙනවා.—යාකොබ් 1:2, 3.

එෆීස 3:20 අවට පද

 එෆීස පොත පාවුල් ලිව්වේ කුඩා ආසියාවට අයිති එෆීසය කියන නගරයේ හිටපු ක්‍රිස්තීයානීන්ට. දැන් ඒක තියෙන්නේ තුර්කියේ. පාවුල් ඒ ලියුමේ එෆීසයේ ක්‍රිස්තීයානීන් වෙනුවෙන් කරපු යාච්ඤාවක් සඳහන් කළා. (එෆීස 3:14-21) ක්‍රිස්තුස් හැමෝම වෙනුවෙන් කොච්චර ආදරයක් පෙන්නුවාද කියලා තේරුම් අරගෙන එයාලටත් ක්‍රිස්තුස් වගේ හිතන්න, වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා එයා යාච්ඤා කළා. පාවුල් කියපු ඒ දේ හැම ක්‍රිස්තියානියෙකුටම අදාළයි. පාවුල් දෙවියන්ට ප්‍රශංසා කරලා ඒ යාච්ඤාව අවසන් කළේ එෆීස 3:20, 21 තියෙන වචනවලිනුයි.

 එෆීස පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.