Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යොහන් 14:27 - “නුඹලා වෙත සමාදානය තබා යමි”

යොහන් 14:27 - “නුඹලා වෙත සමාදානය තබා යමි”

 “මම ඔබට තබා යන්නේ සමාදානයයි. මගේ සමාදානය ඔබට දෙනවා. මා ඔබට දෙන සමාදානය ලෝකය ලබා දෙන සමාදානයට වඩා වෙනස්. ඒ නිසා ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා.”—යොහන් 14:27, ‘නව ලොව පරිවර්තනය.’

 “නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.”—යොහන් 14:27, ‘පැරණි අනුවාදය.’

යොහන් 14:27 අදහස

 යේසුස් ඒක කියන්නේ ප්‍රශ්න එද්දී ඒවා ගැන ඕනාවට වඩා කනස්සලු වෙන්න එපා කියලා ගෝලයන්ට කාවද්දන්නයි. ඒකෙන් පැහැදිලි වෙනවා ප්‍රශ්න මැද්දේ වුණත් දෙවියන්ගේ උදව්වෙන් හිතේ සාමයෙන් ඉන්න එයාලටත් පුළුවන් කියලා.

 එතන යේසුස් කතා කරන සමාදානය මොන වගේ එකක්ද? යේසුස් ඒ පදේ කියන්නේ “මාගේ සමාදානය ඔබට දෙනවා” කියලා. ඒ කියන්නේ යේසුත් ඒ සමාදානය අද්දැක්කා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ඒ සමාදානය තියෙන කෙනෙක් කිසිම ප්‍රශ්නෙකට, කරදරයකට මුහුණ දෙන්නේ නැහැ කියලද? (යොහන් 15:20; 16:33) නැහැ. මොකද යේසුත් ගොඩක් අභියෝගවලට, අසාධාරණකම්වලට මුහුණ දුන්නා. හැබැයි ඒ මොනවා වුණත් ඔහුගේ හිතේ තියෙන සමාදානය ඔහු නැති කරගත්තේ නැහැ. (ලූක් 23:27, 28, 32-34; 1 පේතෘස් 2:23) මොකද ඔහු දැනගෙන හිටියා යෙහෝවා a දෙවියන් ඔහුට ගොඩක් ආදරෙයි, දෙවියන්ගේ අනුමැතිය ඔහුට තියෙනවා කියලා.—මතෙව් 3:16, 17.

 යේසුස් ගෝලයන්ට සහතිකයක් දුන්නා දෙවියන්ගෙත් ඔහුගෙත් ආදරේ සහ අනුමැතිය එයාලට තියෙනවා කියලා. (යොහන් 14:23; 15:9, 10; රෝම 5:1) සමාදානයෙන් ඉන්න ඒක ගෝලයන්ට උදව් වුණා. ඒ සහතිකය දීපු යේසුස් දෙවියන්ගේ පුතා කියලා ගෝලයන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ නිසා එයාලගේ හිතේ තිබුණ බය, සැක නැති කරගන්න ඒක එයාලට උදව් වුණා. (යොහන් 14:1) යේසුස් තමන්ගේ ගෝලයන් එක්ක මේ පොළොවේ ඉන්නේ තව ටික කාලයක් වුණත් ඔහු එයාලට පොරොන්දු වුණා දෙවිගේ බලය එයාලට ලැබෙනවා කියලා. ඒ නිසා දිගටම ශක්තිමත්ව, සමාදානයෙන් ඉන්න ගෝලයන්ට පුළුවන් වුණා. (යොහන් 14:25-27) ඉතින් මොන අභියෝග ආවත් ගෝලයන් ධෛර්යවන්තව ඒවාට මුහුණ දුන්නා. මොකද එයාලා දැනගෙන හිටියා දෙවියන්ගේ අනුමැතිය, උදව් එයාලට තියෙනවා කියලා.—හෙබ්‍රෙව් 13:6.

 යේසුස්ගේ කාලේ සාමාන්‍යයෙන් මිනිස්සු ආචාර කරද්දී “සමාදාන වේවා!” කියලා සුභ පැතුවා. (මතෙව් 10:12, 13) හැබැයි යේසුස් ඒ වචන ගෝලයන්ට කිව්වේ ප්‍රාර්ථනාවක් කරන අදහසෙන් නෙවෙයි. ඒ වෙනුවට ඇත්තටම ලැබෙන සමාදානයක් ගැන කියන්නයි. යේසුස් දුන්න ඒ සමාදානය මේ ලෝකේ b වෙන කිසිම දේකින් ලබාගන්න බැහැ. ඇත්ත, සමහර වෙලාවට හොඳ බැඳීම්, ධනය, ප්‍රසිද්ධිය නැත්නම් හොඳ තනතුරු නිසා අපිට යම් දුරකට සමාදානයක් ලැබෙනවා. හැබැයි යේසුස් කතා කරන සමාදානය ඒ වගේ බාහිර දේවල් මත රඳා තියෙන දෙයක් නෙවෙයි. ඒ සමාදානය එන්නේ අපේ ඇතුළාන්තෙන්මයි. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ.

යොහන් 14:27 අවට පද

 යේසුස් තමන්ගේ විශ්වාසවන්ත ගෝලයන්ට ඒ වචන කියන්නේ මැරෙන්න කලින් දවසේ රෑ. එදා ඔහු එයාලට කිව්වා ටික වෙලාවකින් එයාලගෙන් වෙන් වෙන්න ඔහුට සිද්ධ වෙනවා කියලා. (යොහන් 13:33, 36) ඒක ගෝලයන්ට ලොකු වේදනාවක් වුණා. (යොහන් 16:6) තමන්ගේ වෙන් වීම ගැන ඕනාවට වඩා දුක් වෙන්නේ නැතුව ශක්තිමත්ව ඉන්න කියලා කියන්නයි යේසුස් ඒ වචන කිව්වේ.

 යේසුස්ගේ වචන අද ඉන්න අපිටත් ලොකු දිරිගැන්වීමක්. අපිටත් පුළුවන් ඔහු කිව්වා වගේ දිගටම හිතේ සාමයෙන් ඉන්න. (2 තෙසලෝනික 3:16) අපි යේසුස්ගේ ගෝලයන් වෙද්දී ඉගෙනගත්තා යෙහෝවා දෙවියන්ගේ, යේසුස්ගේ ආදරේ සහ අනුමැතිය අපිට තියෙනවා කියලා. (කොලොස්සි 3:15; 1 යොහන් 4:16) ඒ නිසා මොන දේ වුණත් අපිත් ඕනාවට වඩා කනස්සලු වෙන්න ඕනෙ නැහැ. මොකද අපි දන්නවා යෙහෝවා දෙවියන් අපිත් එක්ක ඉන්නවා කියලා.—ගීතාවලිය 118:6; ෆිලිප්පි 4:6, 7; 2 පේතෘස් 1:2.

 යොහන් පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

b බයිබලේ සමහර තැන්වල “ලෝකය” කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ දෙවියන්ගෙන් ඈත් වුණ මිනිස්සුන්ව විස්තර කරන්න.