Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

හිතෝපදේශ 3:5, 6 - “නුඹේම නුවණෙහි නොපිහිටන්න”

හිතෝපදේශ 3:5, 6 - “නුඹේම නුවණෙහි නොපිහිටන්න”

 “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”—හිතෝපදේශ 3:5, 6, ‘නව ලොව පරිවර්තනය.’

 “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.”—හිතෝපදේශ 3:5, 6, ‘පැරණි අනුවාදය.’

හිතෝපදේශ 3:5, 6 අදහස

 අපි අපිට හරියි කියලා හිතෙන විදිහට ජීවිතේ තීරණ ගන්නේ නැතුව යෙහෝවා a දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් ගැන හොයලා බලන්න ඕනේ.

 “මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.” අපි දෙවියන් කියලා තියෙන විදිහට වැඩ කරද්දී ඒකෙන් පේන්නේ අපි දෙවියන්ව විශ්වාස කරනවා කියලයි. අපි ඔහුව මුළු හදවතින්ම ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න ඕනේ. බයිබලේ හදවත කියලා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ කෙනෙක් ඇත්තටම කොයි වගේ කෙනෙක්ද කියන එකයි. ඒකට කෙනෙක්ගේ හැඟීම්, එයා ආස දේවල්, එයා හිතන විදිහ සහ එයාගේ ආකල්ප ඇතුළත් වෙනවා. ඒ නිසා දෙවියන්ව මුළු හදවතින්ම විශ්වාස කරනවා කියලා කියන්නේ නිකම්ම හැඟීමක් විතරක් නෙවෙයි. ඒක අපි ගන්න බුද්ධිමත් තීරණයක්. අපි ඒ වගේ තීරණයක් ගන්නේ අපිට හොඳම මඟ පෙන්වීම් දෙන්න පුළුවන් අපේ නිර්මාතෘ වන දෙවියන්ටයි කියලා අපිට සීයට සීයක්ම විශ්වාස නිසයි.—රෝම 12:1.

 “ඔබේම නුවණෙහි රඳා නොසිටින්න.” අපිට පාපය උරුම වෙලා තියෙන නිසා අපි ගැන විතරක් විශ්වාසය තියලා වැඩ කරන්න අපිට බැහැ. අපි දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඕනේ. අපේම හැකියාවන් ගැන විශ්වාසය තියලා, හැඟීම්වලට වහල් වෙලා අපි තීරණ ගත්තොත් මුලදී අපේ තීරණ හොඳයි වගේ පෙනෙයි. හැබැයි අන්තිමේදී අපිට හුඟක් නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙයි. (හිතෝපදේශ 14:12; යෙරෙමියා 17:9) දෙවියන් හිතන විදිහ අපි හිතන විදිහට වඩා හුඟක් උසස්. (යෙසායා 55:8, 9) ඉතින් අපි දෙවියන් හිතන විදිහට හිතන්න උත්සාහ කරද්දී අපේ ජීවිතේ සාර්ථක කරගන්න අපිට පුළුවන්.—ගීතාවලිය 1:1-3; හිතෝපදේශ 2:6-9; 16:20.

 “ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න.” අපේ ජීවිතේ හැම පුංචි කාරණයකදීම, අපි ගන්න හැම තීරණයකදීම අපි දෙවියන් හිතන විදිහ තේරුම් අරන් ඒ විදිහට වැඩ කරන්න ඕනේ. අපි නිතරම දෙවියන්ගේ මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කරනවා නම්, ඔහුගේ වචනය වන බයිබලේ තියෙන මඟ පෙන්වීම් හොයලා බලනවා නම් අපිට ඒ දේ කරන්න පුළුවන්.—ගීතාවලිය 25:4; 2 තිමෝති 3:16, 17.

 “ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.” දෙවියන් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න අපිට උදව් කරන එකෙන් අපි යන්න ඕනෙ හරි මඟ අපිට පෙන්නලා දෙනවා. (හිතෝපදේශ 11:5) ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ගැටලු ඇති වෙන එක වළක්වගන්නත් ජීවිතය සතුටින් ගත කරන්නත් අපිට පුළුවන් වෙනවා.—ගීතාවලිය 19:7, 8; යෙසායා 48:17, 18.

හිතෝපදේශ 3:5, 6 අවට පද

 දෙවියන් සතුටු වෙන විදිහේ සාර්ථක ජීවිතයක් ගත කරන්න උදව් වෙන හොඳ ප්‍රතිපත්ති බයිබලේ හිතෝපදේශ පොතේ තියෙනවා. ඒ පොතේ පළවෙනි පරිච්ඡේද නවය ලියලා තියෙන්නේ තාත්තා කෙනෙක් එයාගේ ආදරණීය පුතාට උපදෙස් දෙන විදිහටයි. තුන්වෙනි පරිච්ඡේදයේ විශේෂයෙන්ම සඳහන් වෙන්නේ අපේ නිර්මාතෘ වන දෙවියන් දීලා තියෙන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් අදාළ කරගන්න අයට ලැබෙන ප්‍රයෝජන ගැනයි.—හිතෝපදේශ 3:13-26.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.