Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

2 තිමෝති 1:7 – ‘දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයේ ආත්මයක්ය’

2 තිමෝති 1:7 – ‘දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයේ ආත්මයක්ය’

 “දෙවි තම බලය අපට ලබා දුන් විට අප තුළ ඇති වූයේ බියගුලුකමක් නොවේ. ඒ වෙනුවට මහත් ශක්තියක් හා ප්‍රේමයක් මෙන්ම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කිරීමේ හැකියාවද අපට ලැබිණ.”—2 තිමෝති 1:7, ‘නව ලොව පරිවර්තනය.’

 “දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.”—2 තිමෝති 1:7, ‘පැරණි අනුවාදය.’

2 තිමෝති 1:7 අදහස

 ධෛර්යයවන්තව හරි දේ කරන්න දෙවියන් අපිට උදව් කරනවා. අපි ‘බයෙන්’ යටපත් වෙනවාට ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද එහෙම වුණොත් දෙවියන් සතුටු වෙන විදිහට දේවල් කරන්න අපිට බැරි වෙනවා.

 ‘බියගුලුකමෙන්’ යටපත් වෙන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන දේවල් තුනක් ගැන මේ බයිබල් පදේ කතා කරනවා. දැන් අපි ඒ ගැන බලමු.

 “ශක්තිය.” දෙවියන්ගේ සතුරන් කොච්චර පීඩා කළත් මොන තරම් අමාරු තත්වයන්වලට මුහුණ දුන්නත් අතීතයේ හිටපු ක්‍රිස්තියානීන් ධෛර්යවන්තව දෙවියන්ට සේවය කරලා තියෙනවා. එයාලා බයෙන් යටපත් වෙලා දෙවියන්ව අත්හැරලා ගියේ නැහැ. (2 කොරින්ති 11:23-27) එයාලට එච්චර ධෛර්යයක් ලැබුණේ කොහොමද? ඒ ගැන පාවුල් මෙහෙම කියනවා. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.” (ෆිලිප්පි 4:13) එදා හිටපු ක්‍රිස්තියානීන්ට වගේ අද අපිටත් මොන අභියෝග ආවත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න දෙවියන් “සාමාන්‍යය ඉක්මවූ බලය” දෙනවා.—2 කොරින්ති 4:7.

 “ප්‍රේමය.” කෙනෙක් මුළු හදවතින්ම දෙවියන්ට ආදරෙයි නම් ඒක එයාට උදව් වෙනවා ධෛර්යවන්තව හරි දේ කරන්න. ඒ වගේම කෙනෙක් අනිත් අයට අවංකවම ආදරෙයි නම් තමන්ගේ අවශ්‍යතාවන් පැත්තකට දාලා වුණත් එයාලා වෙනුවෙන් දේවල් කරන්න පෙලඹෙනවා. කොච්චර විරුද්ධවාදිකම් ආවත් භයානක දේවල්වලට මුහුණ දුන්නත් ඒ ආදරේ නම් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ.—යොහන් 13:34; 15:13.

 “සිහිකල්පනාව.” බයිබලේ හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙක් විදිහට හඳුන්වලා තියෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීම් අධ්‍යයනය කරලා ඒවාට අනුව හොඳ තීරණ ගන්න පුළුවන් කෙනෙක්ව. ඒ වගේ කෙනෙක් කොච්චර අමාරු තත්වයන්වලට මුහුණ දුන්නත් හැම කාරණයක්ම හොයලා බලලා සාධාරණව දේවල් කරනවා. ඒ වගේම එයා තීරණයක් ගන්න කලින් දෙවියන් ඒ ගැන හිතන විදිහ තේරුම්ගන්න උත්සාහ කරනවා. මොකද අනිත් අය මොන දේ කිව්වත් එයාට වැඩියෙන්ම වැදගත් වෙන්නේ යෙහෝවා එක්ක එයාට තියෙන බැඳීමයි.

2 තිමෝති 1:7 අවට පද

 පාවුල් මේ ලිපිය ලියන්නේ එයාත් එක්ක එකට වැඩ කරපු එයාගේ කිට්ටු යාළුවෙක් වුණ තිමෝතිට. දෙවියන් වෙනුවෙන් කරන සේවය තව උද්‍යෝගයෙන් කරන්න කියලා පාවුල් තරුණ තිමෝතිව මේ ලිපියෙන් දිරිගැන්නුවා. (2 තිමෝති 1:1, 2) පේන විදිහට තිමෝති කියන්නේ ටිකක් පැත්තකට වෙලා හිටපු ලැජ්ජාශීලී කෙනෙක්. සමහරවිට දෙවියන්ට කරන සේවය තව උපරිමයෙන් කරන්න එයාට ඒක බාධාවක් වෙන්න ඇති. (1 තිමෝති 4:12) හැබැයි පාවුල් එයාට මතක් කළා සභාව වෙනුවෙන් සේවය කරන්න එයාට විශේෂ පැවරුමක් ලැබිලා තියෙනවා කියලා. ඒ නිසා සහෝදරයන්ට උපදෙස් සහ මඟ පෙන්වීම් දෙන්න, ශුභාරංචිය දේශනා කරන්න සහ ඒ වෙනුවෙන් ඕනෙම පීඩාවක් විඳින්න බය වෙන්න එපා කියලා පාවුල් තිමෝතිව දිරිගැන්නුවා.—2 තිමෝති 1:6-8.

 මොන අභියෝග ආවත් බයෙන් යටපත් වෙන්නේ නැතුව දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න දෙවියන් අපිටත් උදව් කරනවා. ඒ නිසැකකම ඇති කරගන්න පාවුල් තිමෝතිට ලියපු මේ ලිපිය අපිටත් උදව් වෙනවා.