Skip to content

යොවුන් සිතේ ගැටලු

අම්මලා සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම්?

අම්මලා සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම්?

 ඔයාගේ යාළුවෝ හැමෝම වගේ සෝෂල් මීඩියා පාවිච්චි කරනවා ඇති. එයාලා හැම වෙලේම කියවන්නෙත් ඒ ගැන වෙන්න ඇති. ඔයාට සෝෂල් මීඩියා එකවුන්ට් එකක් නැති නිසා එයාලා ඔයාව පල් කරනවත් ඇති. එහෙමනම් ඔයා තේරුම්ගන්න ඕන මොකක්ද? ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ඔයා තේරුම්ගන්න ඕන දේ

 සෝෂල් මීඩියා එකවුන්ට් එකක් නැති එකම කෙනා ඔයා නෙවෙයි. හුඟක් දෙමාපියන් එයාලාගේ දරුවන්ට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. මොකද එයාලා දන්නවා සෝෂල් මීඩියා පාවිච්චි කරන එක මේ වගේ අනතුරුවලට අත වැනීමක් කියලා.

  •   විෂාදය (ඩිප්‍රෙෂන්) සහ වෙනත් මානසික ගැටලුවලට.

  •   අසභ්‍ය දේවල් බලන එකට, ලිංගික හැඟීම් අවුස්සන ෆොටෝ සහ මෙසේජ් හුවමාරු කරගන්න එකට, ඉන්ටර්නෙට් එක හරහා වෙන හිරිහැරවලට.

  •   යාළුවෝ යාළුවෝ අතරේ වෙන අනවශ්‍ය ප්‍රශ්නවලට.

 සෝෂල් මීඩියා පාවිච්චි කරන එක නතර කරන්න හුඟක් යෞවනයන් තීරණය කරලා තියෙනවා. මොකද සෝෂල් මීඩියා පාවිච්චි කරන එකෙන් තියෙන ප්‍රයෝජනවලට වඩා ඒකෙන් වෙන හානිය වැඩියි කියලා එයාලම තේරුම් අරන් තියෙනවා. මේ අද්දැකීම් බලන්න.

  •   ප්‍රිසිලාට තේරුණා සෝෂල් මීඩියාවලට දෙන කාලේ ඊට වඩා හොඳ දේකට පාවිච්චි කරන්න පුළුවන් කියලා.

  •   ජෙරමිට තේරුණා සෝෂල් මීඩියා පාවිච්චි කරද්දී එච්චර හරි නැති දේවල් එයාගේ ෆෝන් එකට එන එක නවත්තන්න බැහැ කියලා. ඒක එයාට වධයක් වුණා.

  •   බෙතනිට තේරුණා සෝෂල් මීඩියා නිසා එයා ඕනාවට වඩා අනිත් අය කරන දේවල් ගැන හිතනවා කියලා.

 “මගේ සෝෂල් මීඩියා ඇප් එක මම ඩිලීට් කළා. ඒ තීරණේ ගැන මට සතුටුයි. ඒක නෑ කියලා මට කිසිම පාඩුවක් වෙලා නෑ. දැන් මට වැදගත් දේවල්වලට දෙන්න වැඩිපුරත් එක්ක වෙලාව තියෙනවා.”—සියෙරා.

 “මට හිතුණා මං සෝෂල් මීඩියාවලට ඇබ්බැහි වෙලා කියලා. මං දාන පෝස්ට්වලට අනිත් අය මොන වගේ රියැක්ෂන් දායිද කියලා හිතහිත මං වධ වුණා. ඒකත් මගේ හිතට ලොකු බරක් වුණා. මගේ එකවුන්ට් එක ඩිලීට් කරන එක මට ලේසි වුණේ නෑ. හැබැයි ඒක කරපු ගමන්ම මට පුදුම නිදහසක් දැනුණා. දැන් මගේ හිතට පුදුම සහනයක් දැනෙන්නේ.”—කේට්.

ඔයාට කරන්න පුළුවන් දේ

 අම්මලාගේ නීතිවලට ගරු කරන්න. නීති දැම්මාම කේන්ති ගන්නවත් ඒවා ප්‍රශ්න කරන්නවත් යන්න එපා. ඒකෙන් ඔයා අම්මලට පෙන්නනවා ඔයා වගකීමෙන් වැඩ කරන කෙනෙක් කියලා.

 බයිබල් ප්‍රතිපත්තිය: “මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි.”—හිතෝපදේශ 29:11.

 සමහරු ඔයාට කියයි අම්මලට හොරෙන් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් අඳුරගන්න බැරි විදිහට වෙන නමකින් එකවුන්ට් එකක් ඇරගන්න කියලා. හැබැයි එහෙම කළා කියලා ඔයාට හොඳක් නම් වෙන්නේ නැහැ. මොකද හොරෙන් දෙයක් කරන එක ඔයාට ලොකු පීඩනයක්. ඒ වගේම ඔයා කරන්නේ වැරදි දෙයක් කියලා ඔයාට හැම තිස්සේම හිතෙයි. අනික අම්මලා ඒක දැනගත්ත දවසට ඔයාට සෑහෙන ප්‍රශ්නවලට මූණ දෙන්න වෙයි. එයාලා ආයේ ඔයාව විශ්වාස කරන එකකුත් නැහැ.

 බයිබල් ප්‍රතිපත්තිය: “අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.”—හෙබ්‍රෙව් 13:18.

 අම්මලා කියන නිසා නෙවෙයි ඔයාම තීරණය කරන්න. කලින් කතා කරපු යෞවනයන් වගේ ඔයාටත් පුළුවන් වෙයි සෝෂල් මීඩියා පාවිච්චි නොකර ඉන්න තියෙන හේතු ගැන හිතන්න. සෝෂල් මීඩියා පාවිච්චි කරන එකෙන් ඔයාට ලොකු ප්‍රයෝජනයක් නැහැ කියලා තේරෙද්දී අම්මලා කියන නිසා නෙමෙයි, ඒක පාවිච්චි නොකර ඉන්න ඔයාටම තීරණය කරන්න පුළුවන්. එතකොට යාළුවෝ ඔයාගෙන් ඒ ගැන අහද්දී ඔයාට ලැජ්ජාවක් දැනෙන එකක් නැහැ. ඒ වගේම එයාලා ඔයාට විහිළු කරන එකත් අඩු වෙයි.

 මේක මතක තියාගන්න: අම්මලා දාන නීතිවලට ගරු කරන්න. සෝෂල් මීඩියා ගැන අම්මලා කියන දේවල්වලට ඔයාට එකඟ වෙන්න පුළුවන් හේතුවක් හොයාගන්න. එතකොට ඒක පාවිච්චි කරන්නේ නැතුව ඉන්න ගත්ත තීරණය ඔයාම ගත්ත තීරණයක් කියලා ඔයාට දැනෙයි. සෝෂල් මීඩියා නැතුව ජීවිතේ වැඩක් නැහැ කියලා හිතන එකෙන් ගොඩ එන්නත් ඒක ඔයාට උදව් වෙයි.