Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගම වෙනස් කරන්න කියලා බල කරනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගම වෙනස් කරන්න කියලා බල කරනවාද?

 නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. ඒ ගැන අපේ ‘මුරටැඹ’ සඟරාවක කියන්නේ මෙහෙමයි. ‘ආගම් වෙනස් කරන්න කියලා මිනිසුන්ට අනිසි ලෙස බලපෑම් කිරීම වැරදියි.’ a අපි මිනිසුන්ට බල නොකරන්නේ මේ හේතු නිසයි.

  •   තමන් කියන දේ පිළිගන්න කියලා යේසුස් කවදාවත් මිනිසුන්ට බල කෙරුවේ නැහැ. ඔහුගේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ ටිකදෙනෙක් කියලා ඔහු දැනගෙන හිටියා. (මතෙව් 7:13, 14) ඔහු කිව්ව දේවලට අකමැති වුණ ඔහුගේ සමහර ගෝලයන්ට තමන් කියන දේ පිළිගන්න කියලා බල නොකර තමන්ව අතහැරලා යන්න ඔහු ඉඩහැරියා.—යොහන් 6:60-62, 66-68.

  •   අනිත් අයගේ විශ්වාසයන් බලෙන් වෙනස් කරන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුවේ නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ ශුභාරංචියට සවන් දෙන්න කැමති අයව හොයන්න කියලයි.—මතෙව් 10:7, 11-14.

  •   දෙවියන් පිළිගන්නේ මුළු හදවතින්ම ඔහුට නමස්කාර කරන අයව නිසා බලෙන් කාවවත් ආගමට හරවන එකේ කිසි තේරුමක් නැහැ.—ද්විතීය කතාව 6:4, 5; මතෙව් 22:37, 38.

අපි කරන්නේ ආගමට හරවගන්න එකද?

 බයිබලයේ දීලා තියෙන අණට එකඟව “ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට” ගිහින් “පොළොවේ දුර ඈත කෙළවර” දක්වා බයිබලයේ තියෙන පණිවිඩය අපි බෙදාහරින එක ඇත්තයි. (ක්‍රියා 1:8; 10:42; 20:20) ඒ වගේම නීති විරෝධීව ආගමට හරවනවා කියලා මුල් ක්‍රිස්තියානීන්ට වගේ අපිටත් සමහර අවස්ථාවලදී චෝදනා කරනවා. (ක්‍රියා 18:12, 13) ඒත් ඒවා බොරු චෝදනා. මොකද අපේ විශ්වාසයන් පිළිගන්න කියලා අපි අනිත් අයට බල කරන්නේ නැහැ. අනිත් අයට දැනුම ලබා දීලා ඔවුන් දන්න දේ අනුව ඔවුන්ටම තීරණයක් ගන්න අපි ඉඩහරිනවා.

 අපි ආගම වෙනස් කරන්න කියලා අනිත් අයට බල කරන්නේවත් ආගම දහමට ලැදිව ඉන්නවා කියලා පෙන්නමින් දේශපාලන කටයුතුවල නියැලෙන්නේවත් එක එක දේවල් දීලා අලුත් අයව ආගමට බන්දගන්නේවත් නැහැ. තමන් ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ගමන් මේ දේවල් කරකර ක්‍රිස්තුස්ට අගෞරව කරන අයට වඩා අපි වෙනස්. b

තමන්ගේ ආගම වෙනස් කරන්න කෙනෙකුට අයිතියක් තියෙනවාද?

අනාගතවක්තෘ ආබ්‍රහම් තමන්ගේ නෑදෑයන්ගේ ආගම අතහැරියා

 ඔව්, බයිබලයේ පෙන්වනවා තමන්ගේ ආගම වෙනස් කරන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා කියලා. තමන්ගේ නෑදෑයන්ගේ ආගම අතහැරලා සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න තීරණය කරපු හුඟදෙනෙක් ගැන බයිබලයේ තියෙනවා. ආබ්‍රහම්, රූත්, ඇතන්ස්වල හිටිය සමහර අය සහ යේසුස්ගේ නියෝජිතයෙක් වුණ පාවුල් ඒ අයගෙන් කීපදෙනෙක්. (යොෂුවා 24:2; රූත් 1:14-16; ක්‍රියා 17:22, 30-34; ගලාති 1:14, 23) ඒ විතරක් නෙමෙයි දෙවියන්ගේ අනුමැතිය තියෙන නමස්කාරය අත්හැරීමේ අනුවණ තීරණය වුණත් ගන්න කෙනෙක්ට අයිතියක් තියෙනවා කියලා බයිබලයේ පෙන්වනවා.—1 යොහන් 2:19.

 “ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය” පිහිටුවද්දී එක්සත් ජාතීන්, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙන් ආගම් වෙනස් කිරීමට තියෙන අයිතිය තහවුරු කළා. තහවුරු කරපු ඒ ලියවිල්ලේ “තම ආගම හෝ විශ්වාසයන් වෙනස් කිරීමේ නිදහසත් තොරතුරු හා ආගමික අදහස් ඇතුළු ඕනෑම අදහසක් සොයා බලන්න, පිළිගන්න, අනිත් අයට කියන්න” ඕනෑම කෙනෙකුට තියෙන අයිතිය ගැනත් සඳහන් වෙනවා. c මේ නීතිවලින් පේන්නේ තමන්ගේ ආගම අදහන්න වගේම තමන් එකඟ නොවෙන අදහස් ප්‍රතික්ෂේප කරන්න හැමෝටම තියෙන අයිතියට ගරු කරන්න කවුරුත් බැඳිලා ඉන්නවා කියන එකයි.

ආගම වෙනස් කරන එක පවුලේ සිරිත් විරිත්වලට අගෞරව කිරීමක්ද?

 නැහැ. බයිබලයේ දිරිගන්වන්නේ ආගම මොකක් වුණත් කාටත් ගරු කරන්න කියලයි. (1 පේතෘස් 2:17) දෙමව්පියන්ට ගරු කරන්න කියලත් බයිබලයේ කියනවා. දෙමව්පියන් වෙනත් ආගම්වල හිටියත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ අණට කීකරු වෙනවා.—එෆීස 6:2, 3.

 බයිබලයේ තියෙන ඒ අදහසට හැමෝම එකඟ වෙන්නේ නැහැ. සැම්බියාවේ කාන්තාවක් මෙහෙම කියනවා. “අපේ සමාජයේ කවුරු හරි ආගමක් වෙනස් කළොත් . . . ඒක එයාගේ පවුලටත් මුළු සමාජයටත් කරන ද්‍රෝහිකමක් හැටියටයි සැලකුවේ.” ඇය යෞවන කාලයේදී සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරලා ආගම වෙනස් කරන්න තීරණය කරපු අවස්ථාවේ මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා. ඇය මෙහෙම කියනවා. “මං කරපු දේට අකමැති වුණ මගේ දෙමව්පියන් කිව්වේ මම ඒගොල්ලන්ගේ බලාපොරොත්තු සුන් කෙරුවා කියලයි. ඒ තත්වෙට මුහුණ දෙන එක ලේසි වුණේ නැහැ. මොකද දෙමව්පියන්ගේ අනුමැතිය ලැබෙන එක මට ගොඩක් වැදගත්. . . . ඒත් ආගමික සම්ප්‍රදායන්ට වඩා යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න තීරණය කරපු එක මගේ පවුලේ අයට ද්‍රෝහි වීමක් නෙමෙයි.” d

a 2002 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ 12වෙනි පිටුවේ 15වෙනි ඡේදය බලන්න.

b ක්‍රිස්තියානීන් හැටියට බව්තීස්ම වෙන්න අකමැති සැක්සනිවල ජනයාට මරණ දණ්ඩනය නියම කරන්න කියලා ක්‍රිස්තු වර්ෂ 785දී විතර ෂාලිමේන් රජ නියෝගයක් පැනෙව්වා. ඊටපස්සේ ක්‍රි.ව. 1555දී පැවැත්තුව ඔග්ස්බර්ග් සම්මේලනයේදී ශුද්ධ රෝම අධිරාජ්‍යයේ බෙදිලා හිටිය කණ්ඩායම් සාම ගිවිසුමකට අත්සන් කළා. ඒ ගිවිසුමේ තිබුණේ රටේ පාලකයා වන කෙනා එක්කෝ රෝමානු කතෝලික එහෙම නැත්නම් ලූතරන් ආගම අදහන්න ඕන කියලයි. ඒ වගේම ඔහුගේ පාලනය යටතේ ඉන්න හැමෝම පාලකයාගේ ආගම අදහන්නත් ඕන වුණා. ඒකට විරුද්ධ වෙන ඕනම කෙනෙක් පිටුවහල් කරන්න නියම වුණා.

c මනුෂ්‍ය ප්‍රජාවගේ අයිතීන් පිළිබඳව වන අප්‍රිකානු කොමිසමේ, මානව හිමිකම් හා වගකීම් පිළිබඳ ඇමරිකානු ප්‍රකාශනයේ, 2004 මනුෂ්‍ය ප්‍රජාවගේ අයිතීන් පිළිබඳව වන අරාබි කොමිසමේ, අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ, මානව හිමිකම් ප්‍රකාශනයේ, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මතයේ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ඊට සමාන මානව අයිතිවාසිකම් ගැන සඳහන් කරලා තියෙනවා. ඒත් මානව අයිතිවාසිකම් ගැන නීති පනවන රටවල්ම ඒ නීති රකින විදිහ එකිනෙකට වෙනස්.

d සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.