Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් සාකච්ඡාවන් කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් සාකච්ඡාවන් කරන්නේ කොහොමද?

 බයිබලේ තියෙන වටිනා තොරතුරු ගැන ඉගෙනගන්න ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගොඩක් කැමතියි. බයිබලේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරද්දී ඔයාට මේ දේවල් දැනගන්න පුළුවන්.

  •   සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදිහ

  •   දෙවියන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් විදිහ

  •   අනාගතය ගැන බයිබලේ කියලා තියෙන දේවල්

මේ පිටුවෙන්

 බයිබල් පාඩමක් කරන්නේ කොහොමද?

 ඔයාට බයිබලේ තියෙන දේවල් ගැන උගන්වන කෙනා බයිබලේ තියෙන තොරතුරු විෂයෙන් විෂය කියලා දෙයි. බයිබලේ තියෙන තොරතුරු ගැනත් ඒවායින් ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැනත් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශනයෙන් ඉගෙනගන්න පුළුවන්. ඒ ගැන තව දැනගන්න මේ වීඩියෝ එක බලන්න.

 බයිබල් පාඩමක් කරන්න මං සල්ලි ගෙවන්න ඕනෙද?

 නැහැ. යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. ‘ඔබට ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න.’ (මතෙව් 10:8) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ මඟ පෙන්වීම අදාළ කරගන්නවා. බයිබල් පාඩම කරන්න පාවිච්චි කරන ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශනයටවත් බයිබලයටවත් සල්ලි අය කරන්නේ නැහැ.

 බයිබල් පාඩම සම්පූර්ණ කරන්න කොච්චර කාලයක් යයිද?

 ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ පාඩම් 60ක් තියෙනවා. සතියකට කීපාරක් සාකච්ඡාව කරනවාද, ඒකට කොච්චර වෙලාවක් ගන්නවාද කියලා තීරණය කරන්න ඔයාට පුළුවන්. සතියකට එක පාඩමක් හරි ඊට වැඩියෙන් හරි කරන්න හුඟක් අය කැමති වෙලා තියෙනවා.

 බයිබල් පාඩමක් කරන්න කැමති නම් මං මොනවාද කරන්න ඕනේ?

  1.  1. ඔන්ලයින් අයදුම්පත පුරවන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔයා එවන පෞද්ගලික තොරතුරු පාවිච්චි කරන්නේ ඔයාගේ පාඩම සැලසුම් කරන්න විතරයි.

  2.  2. ඔයාගේ පාඩම කරන කෙනා ඔයාට කතා කරයි. බයිබල් පාඩම කරන විදිහ ගැන එයා ඔයාට විස්තර කරයි. ඒ වගේම ඔයාට තියෙන ප්‍රශ්නවලටත් උත්තර දෙයි.

  3.  3. පාඩම කරන විදිහ ගැන සැලසුම් කරගන්න. ඔයාව මුණගැහිලා පාඩම කරනවාට ඔයා කැමති නම් එහෙම කරන්න පුළුවන්. නැත්නම් ෆෝන් එකෙන්, වීඩියෝ කෝල් එකකින්, ලියුම්වලින් නැත්නම් ඊමේල්වලින් පාඩම කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාඩමක් කරන්න පැයක් විතර යනවා. හැබැයි ඒකට ඔයා කොච්චර වෙලාවක් දෙන්න කැමතිද කියලා ඔයාටම තීරණය කරන්න පුළුවන්.

 මට මුලින්ම සති දෙක තුනකට විතරක් පාඩමක් කරලා බලන්න පුළුවන්ද?

 ඔව්, පුළුවන්. ඒකට ඔන්ලයින් අයදුම්පත පුරවන්න. පාඩම කරන කෙනා ඔයාට කතා කළාම ඔයා මුලින්ම ඒ ගැන එයාට කියන්න. එතකොට එයා පාඩම් තුනක් විතරක් තියෙන ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන සඟරාවෙන් ඔයාට පාඩමක් කරයි. පාඩම දිගටම කරන්න කැමතිද කියලා තීරණය කරන්න ඒක ඔයාට උදව් වෙයි.

 මං බයිබල් පාඩමක් කෙරුවොත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්නම ඕනෙද?

 නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලේ තියෙන තොරතුරු මිනිසුන්ට උගන්වනවා. හැබැයි අපේ ආගමට එන්න කියලා අපි කිසිම කෙනෙක්ට බල කරන්නේ නැහැ. මොකද අපි දන්නවා තමන් කැමති ආගමක් අදහන්න හැමෝටම නිදහස තියෙනවා කියලා.—1 පේතෘස් 3:15.

 මං මගේම බයිබලේ පාවිච්චි කළාට කමක් නැද්ද?

 ඔව්. ඔයා කැමති බයිබලයක් පාවිච්චි කරන්න පුළුවන්. තොරතුරු පැහැදිලිව, නිවැරදිව තියෙන ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ අපි පාවිච්චි කළත් අපි දන්නවා හුඟක් අය කැමති එයාලගෙම බයිබලය පාවිච්චි කරන්න කියලා.

 පාඩමට තව අයටත් එන්න කියන්න පුළුවන්ද?

 ඔව්. ඔයාගේ මුළු පවුලටම හරි ඔයාගේ යාළුවන්ට හරි එන්න කියන්න පුළුවන්.

 මං කලින් සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් කරලා තියෙනවා. මට ආයෙත් පාඩමක් කරන්න පුළුවන්ද?

 ඔව්. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතෙන් පාඩම කරන්න ඔයා කැමති වෙයි. මොකද ඒක හදලා තියෙන්නේ මේ කාලෙට ගැළපෙන විදිහට. ඒ වගේම ඒකේ හුඟක් පින්තූර සහ වීඩියෝ තියෙනවා.

 බයිබලය ගැන තනියම ඉගෙනගන්න පුළුවන් විදිහක් තියෙනවාද?

 ඔව්, තියෙනවා. හුඟක් අය තව කෙනෙක්ගේ උදව්වෙන් බයිබලය ගැන ඉගෙනගන්න කැමති වුණත් තවත් අය මුලදී තනියම ඉගෙනගන්න කැමතියි. බයිබල් අධ්‍යයනය සඳහා කියන පිටුවෙන් තනියම බයිබලය අධ්‍යයනය කරන්න උදව් වෙන හුඟක් දේවල් ඔයාට හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒවායින් කීපයක්.