Skip to content

එන්න ඇවිත් බලන්න!

එන්න ඇවිත් බලන්න!

ලොව පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල 15ක මුද්‍රණාල තියෙනවා. එකක් තමයි මධ්‍යම යුරෝපීය ශාඛා කාර්යාලය. ඒක තියෙන්නේ ජර්මනියේ සෙල්ටර්ස්වල ස්ටේන්ෆෙල්ස් කියන ප්‍රදේශයේ.

2014 මැයි 23 සිට 25 දක්වා දිනවල මධ්‍යම යුරෝපීය ශාඛා කාර්යාලය නරඹන්න එන්න කියලා ඒ අවට ප්‍රදේශයේ ඉන්න අයටත්, ගනු දෙනු කරන ව්‍යාපාරිකයන්ටත්, ප්‍රදේශයේ නිලධාරීන්ටත් විවෘත ආරාධනාවක් කළා. ඒ අවස්ථාව නම් කරලා තිබුණේ “සෙල්ටර්ස්වල අවුරුදු 30ක්” කියලයි. මොකද මේ ශාඛා කාර්යාලය මුලින්ම පටන්ගත්තේ 1984 අප්‍රියෙල් 21 වෙනිදා.

3,000කට වැඩි පිරිසක් ආවා. එක් කෙනෙක් තමයි අවුරුදු 30කට ආසන්න කාලයක් නගරාධිපති හැටියට හිටපු කෙනා. ඔහු මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක් බලන්න එන හැම අවස්ථාවක්ම විශේෂයි. මේ ශාඛා කාර්යාලය මුලින්ම හැදුවේ 1979යි 1984යි අතර කාලයේදී. කෙටි කාලෙකින් ඒක ඉදි කරපු විදිහ මට තාමත් මතකයි.”

දකින්න ලැබුණු විශේෂ දේවල්

එකක් තමයි “මධ්‍යම යුරෝපයේ යෙහෝවා දෙවිගේ සෙනඟ” කියලා වෙන් කරලා තිබුණු කොටස. ඒ ප්‍රදේශයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අවුරුදු 120ක ඉතිහාසය දිගහැරෙන විදිහ අමුත්තන්ට දැකගන්න පුළුවන් වුණා. ඒක අදටත් ඒ ශාඛා කාර්යාලයේ තියෙනවා.

කලාතුරකින් දකින්න ලැබෙන විශේෂ බයිබල් ප්‍රදර්ශනය කරපු තැනකුත් තිබුණා. 1534 ජර්මන් භාෂාවෙන් සංස්කරණය කරපු බයිබලයකුත් 1599 සංස්කරණය කරපු එලියස් හටස්ගේ භාෂා 12ක් ඇතුළත් බයිබලයකුත් ප්‍රදර්ශනය කරලා තිබුණා. ඒ වගේම මේ කාලයේ ජීවත් වෙන අයටත් බයිබලයේ ප්‍රතිපත්ති කොච්චර වටිනවාද කියලා පෙන්වලා තිබුණ පුවරු, රූප සටහන්, වීඩියෝ දර්ශන බලන්නත් අවස්ථාව ලැබුණා.

නරඹද්දී අමුත්තන්ට ශාඛා කාර්යාලයේ නැවතිලා ඉන්න සහ වැඩ කරන 1,000කට වැඩිදෙනෙක්ගේ දිනපතා වැඩ කොටස ගැන දැනගන්න ලැබුණා. මුලින්ම නරඹන්න ලැබුණේ “අපේ ජීවිතය” කියන කොටසයි. ඒ අයට නේවාසික කාමර කීපයකුත් බලන්න අවස්ථාව ලැබුණා. කෑම කාමරයේ ආහාර වේලක් ගන්නත් උද්‍යානයක් බඳු වත්තේ පිටියේ ඇවිදින්නත් පුළුවන් වුණා. “මේ හැම දෙයක්ම හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි” කියලා අමුත්තෙක් කිව්වා.

ඊළඟට “නිෂ්පාදනය” කියලා කොටසක් තිබුණා. ඒකේ පොත් පත් මුද්‍රණ අංශය, පොත් බඳින අංශය සහ ප්‍රවාහණ අංශය දක්වලා තිබුණා. බලන්න ආව අයට පොත් පත් මුද්‍රණය කරන විදිහ, බඳින විදිහ, රටවල් 50කට වඩා බෙදාහරින විදිහ දැකගන්න පුළුවන් වුණා. අමුත්තෙක් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය ලෝක ව්‍යාප්ත එකක් කියලා නම් මම හිතුවේ නැහැ. ඒගොල්ලන්ගේ පොත් පත් අස්සක් මුල්ලක් නෑර ලෝකේ හැම තැනටම යනවා. මේ වගේ වැඩක් ස්වේච්ඡා සේවකයන්ගෙන් වෙන එක නම් අරුම පුදුමයක්!”

අමුත්තන් jw.org වෙබ් අඩවිය ගැන දැනගනියි

තවත් කැපී පෙනෙන අංගයක් වුණේ jw.org කියලා දක්වලා තිබුණ කොටසයි. ඒක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවියයි. බාල මහලු හැමෝටම ඒ ගැන විස්තරයක් දැනගන්නත් වීඩියෝ බලන්නත් අවස්ථාව ලැබුණා. ඔවුන්ට තිබුණ ප්‍රශ්නවලට උත්තර දැනගන්නත් පුළුවන් වුණා.

සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සේවය ගැන අලුතෙන් දැනගන්න ලැබුණ දේවල් නිසා හුඟදෙනෙක් ඒක බලලා ඉවර වෙද්දී සේවය අගය කළා. ඔවුන්ගේ මුහුණු සතුටින් පිරිලා තිබුණා. එක් කෙනෙක් මේ විදිහට කිව්වා. “සාක්ෂිකරුවන් ගැන මං අහලා තිබුණේ වැරදි විදිහටයි. මං හිතාගෙන හිටපු දේවල් ගැන ආයෙත් හිතලා බලන්න වෙනවා.” තවත් කාන්තාවක් මේ විදිහට කිව්වා. “වැරදි විදිහට හිතපු දේවල් අයින් කරන්න මේක හොඳ දවසක්.”

^ 17 ඡේ. 2014 ප්‍රමාණය

^ 21 ඡේ. 2014 ප්‍රමාණය

^ 24 ඡේ. 2014 ප්‍රමාණය