Skip to content

පටුනට යන්න

දහවෙනි පරිච්ඡේදය

සැබෑ නමස්කාරය වෙනුවෙන් නිර්භීතව ක්‍රියා කළා

සැබෑ නමස්කාරය වෙනුවෙන් නිර්භීතව ක්‍රියා කළා

1, 2. (අ) ඊශ්‍රායෙල් සෙනඟ මුහුණ දී තිබෙන්නේ මොන වගේ දුෂ්කර තත්වයකටද? (ආ) එලියා මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගයකටද?

එලියා හිමිදිරි උදෑසනින්ම කර්මෙල් කන්ද වෙත නැඟ එන සෙනඟ දෙස බලා සිටින්නේ මහත් ඕනෑකමකින්. අරුණලු නැඟ එන මේ මොහොතේදී වුණත් ඔවුන්ගේ මුහුණුවල කිසිම ප්‍රබෝධයක් නැහැ. ඔවුන් එතරම් පීඩාවකින් සිටින්නේ ඇයි? ඊට හේතුව වසර තුනහමාරක් පුරාම ඊශ්‍රායෙල් දේශයට බලපෑ නියඟයෙන් ඔවුන් බැටකෑ නිසයි.

2 උඩඟුකමින් හිස උදුම්මාගෙන සිටින බාල්ගේ අනාගතවක්තෘවරුන් 450දෙනාද මේ අතරේ සිටිනවා. එපමණක් නෙවෙයි දුෂ්ට යෙසබෙල් රැජිනගේ පුරුෂයා වන ආහබ් රජුත් තම රාජකීය රථයෙන් මෙතැනට පැමිණෙනවා. මේ වන විටත් දෙවිගේ අනාගතවක්තෘවරුන් බොහෝදෙනෙක්ව යෙසබෙල් රැජින මරා දමා තිබුණා. නමුත් එලියා තවමත් නිර්භීත ලෙස බාල් නමස්කාරයට විරුද්ධ වෙනවා. ඒත් මේ තරම් විශාල සෙනඟකට විරුද්ධ වෙන්න එලියා සමත් වෙයි කියා බාල්ගේ අනාගතවක්තෘවරුන් සිතන්නේ නැහැ. (1 රාජා. 18:4, 19, 20) නමුත් එලියා කුමක් කරයිද?

3, 4. (අ) එලියා මහත් ඕනෑකමින් බලා සිටි ඒ දවස උදා වෙද්දී ඔහුට බියක් දැනුණේ ඇයි? (ආ) අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?

3 දැන් පසුබිම සකස් වෙමින් තිබෙන්නේ සත්‍ය අසත්‍ය කුමක්ද කියා පැහැදිලිව හඳුනාගැනීමේ අවස්ථාවටයි. මෙය එලියාගේ ජීවිතේ අමතක නොවන දවසක් වන බවට සැකයක් නැහැ. මේ දවස උදා වන තුරු එලියා බලා සිටියේ මහත් ඕනෑකමකින් වුණත් ‘අප හා සමාන හැඟීම් ඇති මිනිසෙකු’ වූ ඔහුට යම් බියක් දැනෙන්න ඇති. (යාකොබ් 5:17 කියවන්න.) යෙහෝවා දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය අත්හැර දමා තිබෙන සෙනඟ සහ ආහබ් රජ මෙන්ම බාල්ගේ අනාගතවක්තෘවරුන් අතරේ සිටිද්දී එලියාට ලොකු තනිකමක් දැනෙනවා.—1 රාජා. 18:22.

4 මෙවන් තත්වයකට මුහුණ දීමට ඊශ්‍රායෙල් සෙනඟට සිදු වී තිබෙන්නේ ඇයි? ඒ ගැන සලකා බැලීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? එලියාට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය ගැන සලකා බැලීම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? අපි මේ ප්‍රශ්නවලට පිළිතුරු බලමු.

බොරු නමස්කාරය ප්‍රචලිත වෙයි

5, 6. (අ) ඊශ්‍රායෙල්වරුන් මොන වගේ උගුලකටද අසු වුණේ? (අ) ආහබ් රජු යෙහෝවා දෙවිව උදහසට පත් කළේ කොහොමද?

5 ඊශ්‍රායෙල් සෙනඟ සත්‍ය නමස්කාරයෙන් ටිකෙන් ටික ඈත් වන ආකාරය කාලයක් තිස්සේ එලියා බලා සිටියේ මහත් දුකකින්. මේ වෙද්දී ඊශ්‍රායෙල් සෙනඟ අතරින් බොහෝදෙනෙක්ද අවට ජාතීන් මෙන් බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගෙන තිබෙනවා. දැන් මේ තත්වය වෙන කවරදාකටත් වඩා උත්සන්න වෙලා.

6 යෙහෝවා දෙවිව උදහස් කරමින් ආහබ් රජ සීදොන්හි රජුගේ දියණිය වන යෙසබෙල් සමඟ විවාහ වෙනවා. යෙසබෙල් රැජිනට වුවමනා වෙන්නේ සත්‍ය නමස්කාරය මුලින් උපුටා දමා බාල් නමස්කාරය ඊශ්‍රායෙල් දේශය පුරා ප්‍රචලිත කිරීමටයි. වැඩි කාලයක් ගත වෙන්න කලින් ඇය ඒ දෙය කරවාගැනීමට ආහබ් රජුව කැමති කරගන්නවා. මේ දුෂ්ට රැජිනට අවනත වන ආහබ් රජු ඊශ්‍රායෙල් දේශයේ බාල් දෙවියාට දේවාලයක් ගොඩනඟා එහි පූජාසනයක්ද සාදනවා. එපමණක් නෙවෙයි බාල් දෙවියාට නමස්කාර කරන්නත් ඔහු පෙලඹෙනවා.—1 රාජා. 16:30-33.

7. (අ) බාල් නමස්කාරය දෙවිගේ සෙනඟට බලපෑවේ කොහොමද? (ආ) එලියාගේ කාලයේ පැවති නියඟය ගැන බයිබලයේ සඳහන් වාර්තා පරස්පර විරෝධී නැහැ කියා පවසන්න පුළුවන් ඇයි? ( කොටුව බලන්න.)

7 දෙවිගේ සේවකයන් අතරින් බොහෝදෙනෙක්ද යෙහෝවා දෙවිව අත්හැර බාල් දෙවියාට නමස්කාර කරන්න පටන්ගන්නවා. ඇත්තෙන්ම බාල් නමස්කාරය නින්දිත වත්පිළිවෙත්වලින් පිරුණු ඉතා පහත් ආගමක්. දේවාලවල මුදලට සමලිංගික සේවනයේ යෙදුණු ස්ත්‍රීන් හා පුරුෂයන් සමඟ අනාචාරයේ යෙදීම, දරුවන්ව පූජා කිරීම වැනි පිළිකුල් ක්‍රියාවන් ඊට අයත් වුණා. තම සෙනඟ එවැනි නමස්කාරයකට හවුල් වීම නිසා යෙහෝවා දෙවි නැවත තමන්ගේ අනාගතවක්තෘවරයා මාර්ගයෙන් දැනුම් දෙන තුරු ඊශ්‍රායෙල් දේශයට වැසිවත් පිනිවත් ඇති වෙන්නේ නැති බව එලියා ආහබ් රජුට දැනුම් දුන්නා. (1 රාජා. 17:1) එලියා නැවතත් ආහබ් රජුව මුණගැසීමට යන්නේ වසර ගණනාවක් ගත වූ පසුවයි. ඊශ්‍රායෙල් සෙනඟවත් බාල්ගේ අනාගතවක්තෘවරුන්වත් කර්මෙල් කන්දට රැස් කරන්න කියා ඔහු මේ අවස්ථාවේදී ආහබ් රජුට පවසනවා. *

යෙහෝවා දෙවිට කරන නමස්කාරයට දිය යුතු ස්ථානය වෙනත් දේවලට ලබා දීම බාල් නමස්කාරයට සමාන වෙනවා

8. මේ සිද්ධියෙන් අපට ඉගෙනගන්න පුළුවන් පාඩම කුමක්ද?

8 අද සිටින කිසිම කෙනෙක් බාල් නමස්කාරයේ නියැලෙන්නේ නැති නිසා ඒ ගැන කතා කිරීමෙන් පලක් නැහැ කියා සමහරුන්ට සිතෙන්න පුළුවන්. කොහොමවුණත් අතීතයේ සිදු වූ දේවලින් අපිට පාඩම් ඉගෙනගන්න පුළුවන්. (රෝම 15:4) “බාල්” යන නමේ අර්ථය “අයිතිකරු” හෝ “ස්වාමියා” යන්නයි. යෙහෝවා දෙවි තමන්ව “ස්වාමිපුරුෂයා” ලෙස එනම් අයිතිකරු (බාල්) ලෙස තෝරාගන්න කියා ඊශ්‍රායෙල් සෙනඟට පැවසුවා. (යෙසා. 54:5) දෙවි ඔවුන්ට පැවසූ ඒ දෙය අද අපිටත් අදාළයි. අපි සියලුදෙනාත් අපේ ස්වාමියා ලෙස තෝරාගත යුත්තේ යෙහෝවා දෙවිව. නමුත් අද සිටින බොහෝ අය මුදලට, රැකියාවට, විනෝදයට සහ ලිංගික ආශාවන්ට මුල් තැන දෙමින් ඒවා ඔවුන්ගේ ස්වාමියා ලෙස තෝරාගෙන තිබෙන අයුරු ඔබ දකිනවා ඇති. (මතෙ. 6:24; රෝම 6:16 කියවන්න.) යෙහෝවා දෙවි සහ බාල් නමස්කාරකයන් අතර සිදු වූ සිද්ධිය සලකා බැලීමෙන් අපේ නමස්කාරය දිය යුත්තේ කාටද කියා බුද්ධිමත්ව තෝරාගැනීමට හැකි වෙනවා.

“තව කොපමණ කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ?”

9. (අ) බාල් නමස්කාරය බොරුවක් කියා ඔප්පු කිරීමට කර්මෙල් කන්ද තෝරාගැනීම සුදුසු වුණේ ඇයි? (පාදසටහනද බලන්න.) (ආ) එලියා සෙනඟට පැවසුවේ මොනවාද?

9 කර්මෙල් කඳු මුදුනේ සිට බලද්දී මහ මුහුද (මධ්‍යධරණී මුහුද) සහ කීෂොන් මිටියාවතත්, ඈත උතුරුකරයේ පිහිටි ලෙබනොන් කඳුකරයත් දිස් වෙන්නේ ඉතා දැකුම්කලු ලෙසයි. * යෙහෝවා දෙවි ආබ්‍රහම්ට ලබා දී තිබුණු එම ප්‍රදේශය ඉතා සශ්‍රීකව තිබුණා. නමුත් ඊශ්‍රායෙල් සෙනඟට යෙහෝවා දෙවි ලබා දුන් එම සරුසාර දේශය නියඟය නිසා වියළි දේශයක් බවට පත් වී තිබුණා. එම තත්වය උදා වුණේ දෙවිගේම සෙනඟ අඥාන ලෙස ක්‍රියා කළ නිසයි. ජනයා එක් රැස් වූ විට එලියා ඔවුන්ට මෙසේ පවසනවා. “ඔබ තව කොපමණ කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ? යෙහෝවා සැබෑ දෙවි බව ඔබට විශ්වාස නම් ඔහුට පමණක් සේවය කරන්න. නමුත් බාල් සැබෑ දෙවි කියා ඔබ සිතනවා නම් ඔබ ඔහුට සේවය කරන්න.”—1 රාජා. 18:21.

10. එලියාගේ කාලයේ සිටි සෙනඟ දෙගිඩියාවෙන් ක්‍රියා කළේ කොහොමද? ඔවුන්ට අමතක වී තිබුණේ කුමක්ද?

10 “තව කොපමණ කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ” කියා එලියා සෙනඟගෙන් අසන්නේ ඇයි? නමස්කාර කිරීම සඳහා යෙහෝවා දෙවිව හෝ බාල්ව තෝරාගත යුතු බව ඔවුන් වටහාගෙන තිබුණේ නැහැ. ඔවුන් සිතුවේ බාල්ව සතුටු කරමින් අතිශයින් පිළිකුල්සහගත ආගමික වතාවත් කරන ගමන්ම යෙහෝවා දෙවිගේ උපකාරයත් ලැබිය හැකියි කියායි. තම වගාවන්ට සහ සත්වයින්ට බාල්ගේ ආශීර්වාද ලබාගන්නා අතරතුරේදී යුද්ධවලට “සේනාවල අධිපති වන යෙහෝවා” දෙවිගෙන් ආරක්ෂාව ලැබිය හැකියි කියා ඔවුන් සිතන්න ඇති. (1 සාමු. 17:45) තනි භක්තිය ඉල්ලා සිටින යෙහෝවා දෙවි වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීම දැඩි ලෙස හෙළා දකින බව ඔවුන්ට අමතක වී තිබුණා. (නික්මයාම 20:5 කියවන්න.) අද සිටින බොහෝ අයටත් එය අමතක වී තිබෙනවා.

11. එලියා කර්මෙල් කන්දේදී සෙනඟට පැවසූ දේවලින් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 දෙගිඩියාවෙන් සිටි එම සෙනඟ උත්සාහ කළේ එකම අවස්ථාවේදී මාවත් දෙකක ගමන් කිරීමටයි. ඒ වරදම අද සිටින බොහෝ අයත් කරනවා. තමන් කැමති දේවලට මුල් තැන දෙන විට නොදැනුවත්වම ඔවුන් දෙවිගෙන් ඈත් වෙනවා. එලියා එදා සෙනඟගෙන් ඇසූ ප්‍රශ්නය අද අපේ ජීවිතේ මුල් තැන දිය යුත්තේ කුමකටද කියා වටහාගන්න අපටත් උපකාරවත් වෙනවා.

තීරණාත්මක දවසක්

12, 13. (අ) එලියා සැලසුම් කළ සරල පරීක්ෂණය කුමක්ද? (ආ) අපිටත් එලියාට මෙන් විශ්වාසයක් තිබෙන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

12 සත්‍ය අසත්‍ය පැහැදිලිව හඳුනාගැනීම සඳහා සරල පරීක්ෂණයක් කිරීමට එලියා සැලසුම් කරනවා. ඔහු බාල්ගේ අනාගතවක්තෘවරුන්ට පවසන්නේ පූජාසනයක් ගොඩනඟා එහි සතෙකුව තබා එය ගින්නෙන් දවා දමන ලෙස බාල්ගෙන් ඉල්ලන්න කියායි. ඉන්පසු තමන්ද එලෙසම තම දෙවිගෙන් ඉල්ලන බවත් පූජාව ‘ගින්නක් එවා දවා දමන දෙවි සැබෑ දෙවි’ කියාත් එලියා පවසනවා. සැබෑ දෙවි කවුද කියා හොඳින්ම දැන සිටි එලියා ඒ සඳහා මුල්ම අවස්ථාව ඔවුන්ට ලබා දෙනවා. තමන් කැමති වස්සාව තෝරාගත් බාල්ගේ අනාගතවක්තෘවරුන් දැන් සූදානම් වෙන්නේ බාල් දෙවියාට පූජාව ඔප්පු කිරීමටයි. *1 රාජා. 18:24, 25.

13 අද කාලයේ එවැනි ආශ්චර්යයන් සිදු නොවන බව ඇත්තයි. නමුත් යෙහෝවා දෙවි වෙනස් නොවන දෙවි කෙනෙක් නිසා එලියා මෙන් අපිටත් ඔහු කෙරෙහි විශ්වාසය තබන්න පුළුවන්. උදාහරණයකට බයිබලයේ සඳහන් ඉගැන්වීමක් ගැන කතා කරන විට වෙනත් අය ඊට එකඟ නොවන අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩහැරිය යුතුයි. එලියා වගේ අපිත් අපේ හැකියාවන් මත රඳා නොසිට දෙවි මත රඳා සිටීම ඉතා වැදගත්. අපිට එය කළ හැක්කේ ‘කාරණා නිවැරදි කිරීමට’දෙවිගේ බලයෙන් ලියැවී තිබෙන බයිබලය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමෙනුයි.—2 තිමෝ. 3:16.

බාල් නමස්කාරය මොන තරම් ප්‍රෝඩාවක්ද කියා දැන සිටි එලියාට අවශ්‍ය වුණේ ඒ බව දෙවිගේ සෙනඟට වටහා දීමටයි

14. එලියා බාල් අනාගතවක්තෘවරුන්ට සමච්චල් කළේ කොහොමද? ඒ ඇයි?

14 බාල්ගේ අනාගතවක්තෘවරුන් තමන්ගේ පූජාව සූදානම් කර, “අනේ බාල්, අපිට පිළිතුරක් දෙන්න” කියා හඬ නඟමින් දිගින් දිගටම කන්නලව් කරනවා. පැය ගණනාවක් ඔවුන් එසේ කළත් ‘ඔවුන්ට කිසි පිළිතුරක් ලැබෙන්නේ නැහැ.’ එලියා ඔවුන්ට සමච්චල් කරමින් බාල් දෙවියා වැදගත් දේකට යන්න ඇති, නැත්නම් ඔහු වැසිකිළියට ගිහින් ඇති, එහෙමත් නැත්නම් ඔහු නිදි ඇති, ඔහුව කූද්දන්න “තව හයියෙන් කෑගහන්න” කියා පවසනවා. බාල් නමස්කාරය මොන තරම් ප්‍රෝඩාවක්ද කියා දැන සිටි එලියාට අවශ්‍ය වුණේ ඒ බව දෙවිගේ සෙනඟට වටහා දීමටයි.—1 රාජා. 18:26, 27.

15. යෙහෝවා දෙවිව හැර වෙන කෙනෙකුව ස්වාමියා ලෙස තෝරාගැනීම නිෂ්ඵල වෙන්නේ ඇයි?

15 කේන්තිය ඉහවහ ගිය බාල්ගේ අනාගතවක්තෘවරුන් ‘හැකි තරම් ශබ්ද නඟා කෑගසමින් තමන්ගේ සිරිතට අනුව ලේ වැගිරෙන තෙක්ම කිනිසිවලින් හා පිහිවලින් තමන්ගේ ශරීර කපාගත්තා.’ ඒත් ‘කිසිවෙක් ඔවුන්ට පිළිතුරු දුන්නේ නැහැ.’ (1 රාජා. 18:28, 29) ඇත්තෙන්ම බාල් කියා දෙවියෙක් සිටියේ නැහැ. බාල් කියන්නේ මිනිසුන්ව යෙහෝවා දෙවිගෙන් ඈත් කිරීමට සාතන් යොදාගත් මනඃකල්පිත දෙවියෙක්. එදා මෙන් අදත් යෙහෝවා දෙවිව හැර වෙනත් කෙනෙකුව තම ස්වාමියා කරගන්නා අයට ඉතිරි වෙන්නේ කලකිරීම හා ලැජ්ජාව පමණයි.ගීතාවලිය 25:3; 115:4-8 කියවන්න.

සත්‍ය හෙළි වෙයි

16. (අ) කඩා දමා තිබුණු පූජාසනය එලියා නැවතත් සකස් කිරීමෙන් ඊශ්‍රායෙල් සෙනඟට කුමක් සිහිගැන්වෙන්න ඇතිද? (ආ) යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙන බව එලියා පෙන්නුවේ කොහොමද?

16 දැන් පැමිණ ඇත්තේ එලියාගේ වාරයයි. කඩා දමා තිබුණු යෙහෝවා දෙවිගේ පූජාසනය ඔහු නැවතත් සකස් කරනවා. ඔහු ඒ සඳහා ගල් දොළොසක් යොදාගන්නවා. සමහරවිට ඔහු එසේ කරන්න ඇත්තේ ඊශ්‍රායෙලයේ ගෝත්‍ර 12ටම දුන් නීතිය පැවැත්වීමට තවමත් ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දහයට අයත් රාජ්‍යයේ සෙනඟ බැඳී සිටින බව සිහිගැන්වීමට විය හැකියි. ඉන්පසු පූජාසනය මත පූජාව තබා එයත් මුළු පූජාසනයත් පෙඟෙන තරමටම වතුර වත් කරන එලියා පූජාසනය වටා අගලක්ද කපා එයත් වතුරෙන් පුරවනවා. එලියා වතුර ලබාගන්න ඇත්තේ අසල පිහිටි මධ්‍යධරණී මුහුදෙන් විය හැකියි. බලා සිටි අයට සිතෙන්නේ එලියා කළ දෙයින් බාල් අනාගතවක්තෘවරුන්ට වාසියක් හා යෙහෝවා දෙවිට අවාසියක් වුණා කියායි. එසේනම් එලියා එවැනි දෙයක් කළේ ඇයි? පූජාව මොන තරම් වතුරෙන් පෙඟිලා තිබුණත් එය ගින්නෙන් දවා දැමීමට යෙහෝවා දෙවිට හැකි බවට ඔහු තුළ ස්ථිර විශ්වාසයක් තිබුණු නිසයි.—1 රාජා. 18:30-35.

‘සිත් ඔබ වෙතට හරවන්න’ කියා එලියා යාච්ඤා කළේ සෙනඟ ගැන ලොකු අනුකම්පාවක් තිබුණු නිසයි

17. එලියාගේ යාච්ඤාවට ඇතුළත් කළ කාරණා මොනවාද? එය අපිටත් ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

17 සියල්ල එලෙස සකස් කළ එලියා දැන් යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. එම යාච්ඤාව ඉතා බලපෑමෙන් යුක්ත එකක් වුණා. ඒ ඇයි? “මුළු ඊශ්‍රායෙල්හිම දෙවි” බාල් නොව යෙහෝවා දෙවි බව ඔහු මුලින්ම සඳහන් කරනවා. පසුව ඔහු, තමා දෙවිගේ සේවකයෙකු පමණක් බවත් සියලු ගෞරවය හා ප්‍රශංසාව ලැබිය යුත්තේ යෙහෝවා දෙවිට පමණක් බවත් සඳහන් කරනවා. අවසානයේදී ඔහු දෙවිගෙන් ඉල්ලා සිටින්නේ මේ සෙනඟගේ ‘සිත් ඔබ වෙතට හරවන්න’ කියායි. (1 රාජා. 18:36, 37) මේ සෙනඟ මුරණ්ඩු ලෙස දෙවිට අකීකරු වී තිබුණත් එලියාට ඔවුන් ගැන ලොකු අනුකම්පාවක් තිබුණු බව ඉන් පැහැදිලි වෙනවා. අපිත් යාච්ඤා කිරීමේදී දෙවිගේ නම ගැන සැලකිලිමත් බව පෙන්වනවාද? නිහතමානී වෙනවාද? ඒ වගේම දෙවිගේ උපකාරය අවශ්‍ය අය ගැන සඳහන් කරනවාද? එසේනම් අපිත් එලියාව ආදර්ශයට ගන්නවා කියා පවසන්න පුළුවන්.

18, 19. (අ) යෙහෝවා දෙවි එලියාගේ යාච්ඤාවට පිළිතුරු දුන්නේ කොහොමද? (ආ) එලියා සෙනඟට පැවසුවේ මොනවාද? බාල් අනාගතවක්තෘවරුන් කිසිම දයාවක් ලබන්න වටින්නේ නැත්තේ ඇයි?

18 ගින්නක් එවා පූජාව දවන්න බාල් අසමත් වුණා හා සමානව යෙහෝවා දෙවිත් එය කිරීමට අසමත් වෙයිද කියා සමහරවිට එලියාගේ යාච්ඤාවට කලින් සෙනඟ සිතන්න ඇති. නමුත් එලියාගේ යාච්ඤාව අවසන් වූ විගසම “යෙහෝවා දෙවි වෙතින් ගින්නක් නික්ම ඇවිත් පූජාවද දරද මුළුමනින්ම පුලුස්සා දැමුවේය. ගල්ද ඒ අවට තිබූ සෑම අංශුමාත්‍රයක්ද ගින්නෙන් දැවී ගියේය. අගලේ තිබුණු වතුරද වියළී ගියේය.” (1 රාජා. 18:38) එලියාගේ යාච්ඤාවට ලැබුණේ මොන තරම් ප්‍රබල පිළිතුරක්ද! එය දැකීමෙන් පුදුමයට පත් වෙන සෙනඟ ඊට කෙසේ ප්‍රතිචාරය දක්වයිද?

‘එකෙණෙහිම යෙහෝවා දෙවි වෙතින් ගින්නක් නික්ම ආවා’

19 “යෙහෝවා දෙවි සැබෑ දෙවිය! යෙහෝවා දෙවි සැබෑ දෙවිය” කියා ඔවුන් මහත් හඬින් පවසනවා. (1 රාජා. 18:39) සැබෑ දෙවි කවුද කියා ඔවුන්ට හොඳින්ම පැහැදිලි වුණා. නමුත් එය පිළිගැනීමෙන් පමණක් දෙවි කෙරෙහි ඔවුන්ට පූර්ණ විශ්වාසයක් තිබෙනවා කියා පවසන්න බැහැ. ඔවුන්ගේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්විය යුතු වුණා. ඒ නිසා ඔවුන් මුල සිටම කළ යුතුව තිබුණු දේ කරන්න කියා එලියා ඔවුන්ට පවසනවා. එනම් දෙවි ලබා දුන් නීතියට කීකරු වීමයි. දෙවි ලබා දුන් නීතියේ සඳහන් වුණේ බොරු අනාගතවක්තෘවරුන්ව සහ රූපවලට නමස්කාර කරන අයව මරා දැමිය යුතු බවයි. (ද්වි. 13:5-9) බාල්ගේ අනාගතවක්තෘවරුන් යෙහෝවා දෙවිට අකීකරු වුණේ හිතාමතාමයි. අන් අයට කිසිම දයාවක් නොපෙන්වූ ඔවුන් දයාවක් ලබන්න වටින්නේ නැහැ. ඔවුන් කුඩා දරුවන්ව ගින්නෙන් දවා පූජා කළේ කිසිම හිතක් පපුවක් නැතුවයි. (හිතෝපදේශ 21:13 කියවන්න; යෙරෙ. 19:5) ඒ නිසා ඔවුන් එක් කෙනෙකුටවත් බේරෙන්න ඉඩ නොදී සියලුදෙනාවම මරා දමන්න කියා එලියා සෙනඟට පවසනවා.—1 රාජා. 18:40.

20. එලියා, බාල් අනාගතවක්තෘවරුන්ව මරා දැමීම විවේචනය කිරීම සුදුසු නොවන්නේ ඇයි?

20 එලියා, බාල් අනාගතවක්තෘවරුන්ව මරා දැමීම අද සිටින බොහෝ අය විවේචනය කරනවා. ආගමික අන්තවාදීන් එය අතකොළුවක් කරගෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියා කරයි කියා සමහර අයට සිතෙන්න පුළුවන්. ඇත්තෙන්ම අද ආගමික අන්තවාදීන් බොහෝදෙනෙක් සිටීම කනගාටුවට කරුණක්. ඒත් එලියා ක්‍රියා කළේ අද සිටින ආගමික අන්තවාදීන් ලෙස නම් නෙවෙයි. ඔහු කළේ යෙහෝවා දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීම පමණයි. එලියා කළා හා සමානව දුෂ්ටයන්ව විනාශ කිරීමට කඩු කිනිසි අතට ගන්න බැරි බව සැබෑ ක්‍රිස්තියානීන් දන්නවා. ඔවුන් අනුගමනය කරන්නේ යේසුස් දුන් මෙම උපදෙසයි. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.” (මතෙ. 26:52) ළඟදීම යෙහෝවා දෙවි තම පුත්‍රයාව යොදාගෙන යුක්තිය ඉටු කරන තෙක් ඔවුන් බලා සිටින්නේ මහත් ආශාවකින්.

21. එලියා අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?

21 සැබෑ ක්‍රිස්තියානීන් ලෙස අපි දෙවිට විශ්වාසවන්තව ජීවත් විය යුතුයි. (යොහ. 3:16) එය කළ හැකි එක් ක්‍රමයක් වෙන්නේ දෙවිට විශ්වාසවන්තව සිටි එලියා වැනි අයගේ ආදර්ශයන් අනුගමනය කිරීමයි. මුළු හදවතින්ම යෙහෝවා දෙවිට තනි භක්තිය පිරිනැමූ ඔහු අන් අයවත් ඒ දේ කිරීමට දිරිගැන්නුවා. බාල් නමස්කාරය යෙහෝවා දෙවිගෙන් මිනිසුන්ව ඈත් කිරීමට සාතන් යොදාගත් උපායක් බව ඔහු නිර්භීතව පැවසුවා. කොහොමවුණත් තමන්ගේ හැකියාවෙන් කාරණා නිවැරදි කිරීමට ඔහු උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට දෙවි නියමිත කාලයේදී කාරණා විසඳන තුරු ඔහු ඉවසීමෙන් බලා සිටියා. සැබෑ නමස්කාරය වෙනුවෙන් නිර්භීතව ක්‍රියා කළ එලියා අපිට කදිම ආදර්ශයක් නෙවෙයිද!

^ 9 ඡේ. මුහුදු සුළං නොමදව ලැබුණු කර්මෙල් කඳුකරයට වර්ෂාවෙන් සහ පින්නෙන් අඩුවක් තිබුණේ නැහැ. මිනිසුන් වර්ෂාවට අධිපති දෙවියා ලෙස බාල්ව සැලකූ නිසා මෙය බාල් නමස්කාරයට වැදගත් ස්ථානයක් වුණා. නමුත් වසර ගණනාවක් පුරා මෙහි වැහි පොදක්වත් වැටී තිබුණේ නැහැ. ඒ නිසා බාල් සැබෑ දෙවිද නැද්ද කියා ඔප්පු කිරීමට මෙය කදිම ස්ථානයක් වුණා.

^ 12 ඡේ. “ඊට ගිනි අවුළන්න එපා” කියා එලියා ඔවුන්ට පැවසුවා. විද්වතුන් පවසන්නේ රූප නමස්කාරකයන් සමහර අවස්ථාවලදී ආශ්චර්යවත් ලෙස ගින්නක් ඇති වුණා කියා මිනිසුන්ට පෙන්වීමට රහසින් එයට ගිනි ඇවිළූ බවයි.