ක්‍රියා 24:1-27

24  දින පහකට පසුව උත්තම පූජක අනනියස්ද+ සමහර වැඩිමහල්ලන්ද ටෙර්ටුලස් නම් නීතිඥයෙක්ද පැමිණ පාවුල්ට විරුද්ධව ආණ්ඩුකාරයා ඉදිරියේ+ චෝදනා ඉදිරිපත් කළෝය.+  ටෙර්ටුලස්ව කැඳවනු ලැබූ විට ඔහු පාවුල්ට විරුද්ධව තිබූ චෝදනා ඉදිරිපත් කරමින් මෙසේ කීවේය. “අතිගරු ෆීලික්ස් ආණ්ඩුකාරතුමනි, ඔබේ පාලනය යටතේ අපි මහත් සාමයක් අද්දකින බව+ මා මෙහිදී සඳහන් කරන්න කැමතියි. මීට අමතරව ඔබේ දුර දක්නා නුවණ නිසා මේ ජාතිය වෙනුවෙන් බොහෝ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වන බවත් අපට පෙනී යනවා.  අතිගරු+ ආණ්ඩුකාරතුමනි, ඒ දේවල් කවදා කොතැනක සිදු වුණත් අප ඒවා පිළිගන්නේ හද පිරි කෘතඥතාවකිනුයි.  කෙසේනමුත් ඔබේ වටිනා කාලය තවත් නාස්ති කිරීමට මා තුළ කැමැත්තක් නැහැ. එමනිසා මම බැගෑපත්ව ඉල්ලා සිටින්නේ අපට කෙටි වේලාවකට ඉවසිලිවන්තව සවන් දෙන්න කියායි.  මේ මිනිසා මහ කරදරකාරයෙක්+ බව අපට පෙනී ගියා. ඔහු ලොව පුරා සිටින සියලුම යුදෙව්වරුන් අතර ආරවුල් සහ භේද ඇති කරනවා.+ ඔහු නාසරෙත් නුවරෙන් බිහි වුණු නිකායේ ප්‍රධාන නියෝජිතයෙක්.+  ඔහු දේවමාලිගාව අපවිත්‍ර කරන්නත් උත්සාහ කළා.+ ඒ අවස්ථාවේදී තමයි අපි ඔහුව අත්අඩංගුවට ගත්තේ.  ——  අප ඔහුට විරුද්ධව එල්ල කරන සියලු චෝදනාවල ඇත්ත නැත්ත ඔහුව විභාග කිරීමෙන් ඔබතුමන්ටත් දැනගන්න පුළුවන්.”  ඔහු එසේ පැවසූ පසු අනික් යුදෙව්වරුද එකතු වී එම චෝදනාවලට පදනමක් ඇති බව කියන්න පටන්ගත්තෝය. 10  එවිට ආණ්ඩුකාරයා පාවුල් දෙස බලා ඔහුට කතා කරන්න කියා තම හිසෙන් සංඥා කළ විට පාවුල් මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබතුමන් මේ දේශයේ අවුරුදු ගණනාවක් පුරා විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කර ඇති බව මම හොඳින් දන්නවා. ඒ නිසා මගේ පැත්තෙනුත් තොරතුරු ඉදිරිපත් කරන්න මම ඉතාමත් සතුටුයි.+ 11  මම නමස්කාරය සඳහා+ යෙරුසලමට පැමිණියේ දවස් දොළහකට ඉහතදී බව ඔබතුමන්ට දැනගන්න පුළුවන්. 12  මේ අය මාව දේවමාලිගාවේ+ දකින අවස්ථාවේදී මම කිසි කෙනෙකු සමඟ වාද කරමින් සිටියේවත් නුවරේ හා සිනගෝගවල සිටි සෙනඟව උසිගන්වමින්+ සිටියේවත් නැහැ. 13  ඒ විතරක් නොවෙයි, ඔවුන් දැන් මට විරුද්ධව එල්ල කරන චෝදනා ඔප්පු කරන්නත් ඔවුන්ට බැහැ.+ 14  නමුත් මම එක දෙයක් පිළිගන්න කැමතියි. එනම් මම දැන් ජීවත් වන්නේ ඔවුන් ‘ආගමික නිකායක්’ කියා හඳුන්වන කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසයි. මගේ මුතුන්මිත්තන්ගේ දෙවිට+ මම නමස්කාර කරන්නේ ඒ විදිහටයි. ඒ වගේම අපේ නීතියේ සහ අනාගතවක්තෘවරුන් විසින් ලියූ සෑම දෙයක්ම මම විශ්වාස කරනවා.+ 15  ධර්මිෂ්ඨ අය+ වගේම අධර්මිෂ්ඨ අයත්+ නැවත නැඟිටින බව+ මට විශ්වාසයි.+ දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා. මට විතරක් නොවෙයි මෙහි සිටින සියලුදෙනාටත් ඒ බලාපොරොත්තුව තිබෙනවා. 16  ඒ නිසා මා නිතරම උත්සාහ කරන්නේ දෙවිට හා මිනිසාට විරුද්ධව කිසි වරදක් නොකිරීමටයි. මා එවැනි කිසි වරදක් කර නැති බව මට දෙවි ඉදිරියේ කියන්න පුළුවන්.+ 17  ඉතින් අවුරුදු ගණනාවකට පසු මම ආවේ මගේ ජාතියේ අයට සහනාධාර ලබා දෙන්න සහ දෙවිට පූජා ඔප්පු කරන්නයි.+ 18  ඔවුන් මාව සොයාගත්තේ මම චාරිත්‍රානුකූලව පවිත්‍ර වී දේවමාලිගාවේ කටයුතු කරමින් සිටින විටයි.+ මම සිටියේ සමූහයක් සමඟවත් කෝලහලයක් ඇති කරමින්වත් නොවෙයි. නමුත් ආසියා පළාතෙන් පැමිණි යුදෙව්වන් පිරිසක් එහි සිටියා. 19  ඇත්තෙන්ම ඔවුන් ඔබතුමන් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. එවිට මට විරුද්ධව යම් චෝදනාවක් ඇතොත් එය ඔබට ඉදිරිපත් කරන්න ඔවුන්ට පුළුවන්.+ 20  එසේ නැත්නම් මම මන්ත්‍රණ සභාව ඉදිරියේ පෙනී සිටි විට මට කළ චෝදනාවලින් ඔප්පු කළේ කුමන එකද කියා මෙහි සිටින අයට දැන් සඳහන් කරන්න පුළුවන්. 21  ඔවුන්ට මා ගැන කියන්න තිබෙන්නේ එක දෙයක් විතරයි. ඒ මම ඔවුන් අතරේ සිටියදී පැවසූ දෙයක් ගැනයි. එනම්, ‘අද ඔබ මාව වැරදිකරුවෙක් කරන්න හදන්නේ මම නැවත නැඟිටීම ගැන විශ්වාස කරන නිසයි’+ කියා මම ඔවුන්ට පැවසූ දේ ගැනයි.” 22  නමුත් ‘ස්වාමීන්ගේ මාර්ගය’+ ගැන ෆීලික්ස්ට+ සෑහෙන අවබෝධයක් තිබුණු නිසා ඔහු නඩුව කල් දමා, “හමුදාපති ලිසියස්+ පැමිණි විට මේ කාරණය ගැන මම තීන්දුවක් දෙන්නම්” කියා පැවසුවේය. 23  එසේම මේ මිනිසාව නැවත සිරගෙට දැම්මත් ඔහුට තරමක නිදහසක් ලබා දෙන්න කියාත් ඔහුගේ මිතුරන්ට ඇවිත් ඔහුට යම් උපකාර ලබා දීමට නිදහස ලබා දෙන්න කියාත්+ ෆීලික්ස් හමුදා නිලධාරියාට අණ කළේය. 24  දවස් කිහිපයකට පසු ෆීලික්ස්,+ තම යුදෙව් ජාතික+ භාර්යාව වූ දෘසිලා සමඟ පැමිණියේය. එහෙයින් ඔහු පාවුල්ව කැඳවා, ක්‍රිස්තුස් යේසුස්ව විශ්වාස කිරීම ගැන ඔහු පැවසූ දේවලට සවන් දුන්නේය.+ 25  පාවුල් ඔවුන් සමඟ කතා කළේ ධර්මිෂ්ඨකම,+ තමාව පාලනය කරගැනීම+ සහ මතු පැමිණෙන විනිශ්චය+ ගැනය. ඒ දේවල් අසා ෆීලික්ස් තුළ යම් බියක් ඇති වූ නිසා, “දැන් යන්න. නැවත පැමිණිය යුතු දවස මම ඔබට පසුව දන්වන්නම්” කියා ඔහු පැවසුවේය. 26  මේ අතර පාවුල් තමාට යම් මුදලක් ලබා දෙයි කියා ෆීලික්ස් බලාපොරොත්තු විය.+ ඒ අදහසින් ඔහු නිතර පාවුල්ව කැඳවා ඔහු සමඟ කතාබහේ යෙදී සිටියේය.+ 27  අවුරුදු දෙකක් ගත වූ පසු ෆීලික්ස්ගේ නිලයට පෝර්ෂස් ෆෙස්ටස් පත් විය. ඒ වන විටත් පාවුල් සිටියේ සිරභාරයේය. මන්ද ෆීලික්ස් යුදෙව්වරුන්ගේ ප්‍රසාදය ලබාගැනීමට කැමති වූ නිසා+ ඔහු තම නිලයෙන් ඉවත්ව යන තුරුත් පාවුල්ව සිරභාරයේ තබාගත්තේය.

පාදසටහන්