දේශනාකාරයා 7:1-29

7  හොඳ නමක් අනර්ඝ තෙල්වලට වඩා වටින්නේය.+ උපන් දවසට වඩා මිය යන දවස හොඳය.+  උත්සව ගෙදරට යෑමට වඩා මරණ ගෙදරට යෑම හොඳය.+ මන්ද අවසානයේදී සෑම මිනිසෙකුම මිය යන බව ජීවත්ව සිටින අය හොඳින් සිතට ගත යුතුය.  සිනාසීමට වඩා දුකින් සිටීම හොඳය.+ මන්ද දුකක් දැනෙන විට සිත ශක්තිමත් වෙයි.+  ප්‍රඥාවන්තයා මරණ ගෙදරට ගිය පසු ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරයි.+ එහෙත් මෝඩයා නිතරම සිතන්නේ විනෝද වීම ගැනයි.+  මෝඩයෙකුගේ ගීතයකට ඇහුම්කන් දෙනවාට වඩා+ ප්‍රඥාවන්තයෙකුගේ තරවටුවට ඇහුම්කන් දීම හොඳය.+  මන්ද මෝඩයාගේ සිනහව ලිපේ දැවෙමින් තිබෙන කටු දර පුපුරන ශබ්දය මෙනි.+ එයද ඉතා නිෂ්ඵල දෙයකි.  දුක් කරදරවලින් මිරිකී සිටින ප්‍රඥාවන්තයෙකු පවා මෝඩයෙකු සේ හැසිරීමට ඉඩ තිබේ.+ අල්ලසකින්+ කෙනෙකුගේ සිත දූෂ්‍ය විය හැක.+  පටන්ගැන්මට වඩා අවසානය හොඳය.+ උඩඟු ලෙස හැසිරෙන කෙනෙකුට වඩා ඉවසිලිවන්ත කෙනෙකු හොඳය.+  අමනාප වීමට ඉක්මන් නොවන්න.+ මන්ද සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය.+ 10  “අතීතයේ මම මීට වඩා සතුටින් සිටියෙමි”+ යයි නොකියන්න. මන්ද එලෙස කල්පනා කිරීම ප්‍රඥාවන්ත දෙයක් නොවේ.+ 11  ප්‍රඥාවන්තයෙකුට උරුමයක් ලැබීම ආශීර්වාදයකි. ජීවත්ව සිටින අන් අයටද* එයින් ප්‍රයෝජන අත් වෙයි.+ 12  මුදල ආරක්ෂාවක්+ වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි.+ නමුත් දැනුම සමඟ ප්‍රඥාව අත් කරගැනීම මුදලට වඩා වටින්නේය. මන්ද ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙයි.+ 13  සැබෑ දෙවිගේ ක්‍රියා දෙස බලන්න.+ ඔහු ඇද කළ දෙයක් කෙළින් කළ හැක්කේ කාටද?+ 14  කරදර නැති දවසක සතුටින් සිටින්න.+ එහෙත් කරදර ඇති වූ විට, සතුට මෙන්ම දුක් කරදර ඇති වීමට ඉඩහැර තිබෙන්නේ සැබෑ දෙවි බව සිතට ගන්න.+ ඔහු එසේ කරන්නේ අනාගතය ගැන මිනිසාට නිශ්චිතව දැනගැනීමට නොහැකි වන පිණිසය.+ 15  මාගේ මේ නිෂ්ඵල ජීවිතයේදී මම තවත් දෙයක් දුටුවෙමි.+ ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන යහපත් මිනිසා විනාශ වී යන+ නමුත් නපුරු දේ කරන දුෂ්ටයා බොහෝ කල් ජීවත් වන්නේය.+ 16  පමණට වඩා ධර්මිෂ්ඨ වීමට+ හෝ පමණට වඩා ප්‍රඥාවන්ත වීමට හෝ වෑයම් නොකරන්න.+ ඔබ එසේ කර ඔබටම හානි කරගන්නේ මන්ද?+ 17  පමණට වඩා සැහැල්ලුවට සිතා දුෂ්ටයෙකු ලෙසවත්+ මෝඩයෙකු ලෙසවත් නොහැසිරෙන්න.+ ඔබ එලෙස හැසිර අකලට මිය යන්නේ මන්ද?+ 18  ඉහත කී මුල් අවවාදය සිතට ගන්න. දෙවන අවවාදයත් සිතට ගන්න.+ මන්ද දෙවිට ගරුබිය දක්වන අය මේ කාරණා සම්බන්ධයෙන් අන්තයට යන්නේ නැත.+ 19  නුවරක සිටින බලවතුන් දසදෙනෙකුට වඩා මිනිසෙකු සතු ප්‍රඥාව බලවත්ය.+ 20  කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක.+ 21  මිනිසුන් කියන සෑම දෙයක්ම සිතට නොගන්න.+ ඔබ එසේ කළොත් ඔබේ සේවකයා ඔබ ගැන නපුරු දේ කියන බවත් ඔබට අසන්න ලැබේවි.+ 22  මන්ද ඔබම අන් අය ගැන නපුරු දේ කී වතාවක් කියා ඇද්දැයි ඔබ හොඳින් දන්නෙහිය.+ 23  මම මේ සියල්ල මා සතු ප්‍රඥාවෙන් සෝදිසි කර බැලුවෙමි. “මම ප්‍රඥාවන්තයෙකු වන්නෙමි” යයි සිතුවත් මට එය අත් කරගැනීමට නොහැකි විය.+ 24  මුල පටන් සිදු වූ සෑම දෙයක්ම තේරුම්ගත නොහැකිය. මන්ද ඒ කාරණා ඉතා ගැඹුරුය. ඒ සියලු කාරණා අවබෝධ කරගත හැකි කෙනෙකු සිටීද?+ 25  මමත් මේ කාරණා සම්බන්ධයෙන් තේරුම්ගැනීමට උත්සාහ කළෙමි.+ මම ප්‍රඥාව ගැනත්+ යම් දේවල් සිදු වීමට හේතුව ගැනත් සොයා බැලුවෙමි.+ මෝඩකමට හේතුව දුෂ්ටකම බවත් සිහිකල්පනාව නොමැතිව හැසිරීමට හේතුව අඥානකම බවත් මම තේරුම්ගත්තෙමි.+ 26  මම මේ කාරණයත් වටහාගත්තෙමි. ගොදුරක් හසු කරගැනීමට එළන දැලක් හා සමාන වූ ස්ත්‍රියක මම දුටිමි. ඇගේ සිත මාදැලක් මෙනි. ඇගේ දෑත් විලංගු මෙනි.+ ඇයට හසු වීම මිය යෑමටත් වඩා වේදනාකාරී අද්දැකීමකි.+ යමෙකු ඇගෙන් ගැලවුණොත් ඔහුට සැබෑ දෙවිගේ අනුමැතිය ලැබෙයි. එහෙත් ඇයට හසු වන අය පාපයට වැටෙනු ඇත.+ 27  උපදේශකයා මෙසේද කීවේය.+ “මම සෑම කාරණයක්ම හොඳින් සොයා බලා යමක් තේරුම්ගත්තෙමි.+ 28  මට එක් දෙයක් සොයාගැනීමට නොහැකි විය. පුරුෂයන් දහසක් අතරින් එක් ධර්මිෂ්ඨ පුරුෂයෙකු සොයාගත්+ නමුත් ස්ත්‍රීන් අතරින් එක් ධර්මිෂ්ඨ ස්ත්‍රියකවත් මට සොයාගැනීමට නොහැකි විය.+ 29  සැබෑ දෙවි මිනිසාව කිසි දෝෂයක් නැතුව සෑදූ+ නමුත් මිනිසා විවිධාකාර සැලසුම් යොදා වෙනත් මඟක ගමන් කිරීමට තෝරාගෙන ඇත.”+

පාදසටහන්

මූ.අ., “හිරු දකින අයට.”