මතෙව් 4:1-25

4  ඉන්පසු දෙවි තම බලයෙන් පාළුකරයට+ යන්න යේසුස්ට මඟ පෙන්වූවේය. එහිදී යක්ෂයා ඔහුව වරදකට හසු කරගන්න+ උත්සාහ කළේය.  දින හතළිහක් පුරා දිවා රෑ දෙකේම නිරාහාරව+ සිටි ඔහුට බඩගින්නක් දැනිණ.  වරදට පොලඹවන්නා+ ඇවිත්, “ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම්+ මේ ගල් රොටි කරන්න” කියා ඔහුට කීවේය.  නමුත් ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතම’+ බව ලියා තිබෙනවා.”  එවිට යක්ෂයා ඔහුව ශුද්ධ නුවරට+ රැගෙන ගියේය. එහිදී ඔහුව දේවමාලිගාවේ පවුර මුදුනට ගෙන ගොස්,  “ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම් පහතට පනින්න.+ මන්ද ‘ඔහු තම දූතයන්ට ඔබව ආරක්ෂා කිරීමට අණ දෙන්නේය. ඔබේ පය කිසිවිටකත් ගලක නොවදින පිණිස ඔවුහු සිය අත්වලින් ඔබව උසුලනවා ඇත’+ කියා ලියා තිබෙනවා” යයි ඔහුට කීවේය.  එවිට යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබ වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා පරීක්ෂා නොකළ යුතුයි’+ කියාද ලියා තිබෙනවා.”  නැවතත් යක්ෂයා ඔහුව ඉතා උස් කන්දකට ගෙන ගොස් ඔහුට ලෝකයේ සියලු රාජ්‍යයන්ද+ ඒවායේ තේජසද පෙන්වා,  “ඔබ වැඳ වැටී මට එක් වරක් නමස්කාර කළොත්+ මම මේ සියල්ල ඔබට දෙනවා”+ කියා ඔහුට කීවේය. 10  එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “සාතන්, අහකට යන්න! මන්ද ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබේ පරිශුද්ධ සේවය+ පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’+ කියා ලියා තිබෙනවා.” 11  එවිට යක්ෂයා ඔහු වෙතින් අහක්ව ගියේය.+ එසැණින්ම දේවදූතයෝ ඇවිත් යේසුස්ට උපස්ථාන කළෝය.+ 12  යොහන්ව අත්අඩංගුවට ගෙන ඇති බව+ යේසුස්ට ආරංචි වූ විට ඔහු ගලීලයට පිටත්ව ගියේය.+ 13  ඔහු නාසරෙත් නුවරින් පිටත් වී, සෙබ්‍යූලන් සහ නෆ්තලී ප්‍රදේශයන්ට+ අයත් ගලීල මුහුද අසල පිහිටි කපර්ණවුමට ගොස්+ එහි නැවතී සිටියේය. 14  එසේ කළේ අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් කියන ලද අනාවැකිය ඉටු වීම සඳහාය. එම අනාවැකිය නම්, 15  ‘යොර්දාන් ගඟෙන් එතෙර මුහුදු මාර්ගයේ පිහිටි සෙබ්‍යූලන් පළාතේ වැසියෙනි, නෆ්තලී පළාතේ වැසියෙනි, ගලීලයේ+ වෙසෙන සියලු ජාතීන්ට අයත් වැසියෙනි, ඔබට ආශීර්වාද ලැබේවා! 16  අඳුරෙහි සිටි ජනයා+ මහත් ආලෝකයක් දුටුවෝය.+ මරණය ගෙන දෙන ඝනාන්ධකාරයකින් වැසී ගිය දේශයේ වැසියන්ට ආලෝකය+ උදා විය’+ යන්නයි. 17  එතැන් පටන් යේසුස්, “ජනයෙනි, පසුතැවිලි වන්න.+ මන්ද ස්වර්ග රාජ්‍යය+ ළං වී ඇත” කියා පවසමින් දේශනා කරන්න පටන්ගත්තේය. 18  ඔහු ගලීල මුහුද අසල ඇවිදිමින් සිටියදී ධීවරයන් වූ පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන්+ සහ ඔහුගේ සහෝදරයා වූ අන්දෘ මාළු දැලක් දියට හෙළමින් සිටින ආකාරය දුටුවේය. 19  එවිට ඔහු, “මා පසුපස එන්න. මම ඔබව මසුන් අල්ලන්නන් වෙනුවට මිනිසුන් අල්ලන්නන් කරනවා”+ කියා ඔවුන්ට කීවේය. 20  ඔවුහු ඒ මොහොතේම දැල් පසෙක තබා+ ඔහු අනුව* ගියෝය. 21  ඔහු තවත් ඈතට ගිය විට තවත් සහෝදරයන් දෙදෙනෙකු වූ+ සෙබදීගේ පුතුන් වන+ යාකොබ් සහ යොහන්ව දුටුවේය. ඔවුහු ඔරුවක ඉඳ තම පියා වූ සෙබදී සමඟ තම දැල්වල ඉරුම් සකසමින් සිටියෝය. ඔහු ඔවුන්ටත් අඬගැසුවේය. 22  ඔවුහුද එසැණින්ම ඔරුවෙන් බැස තම පියාගෙන් සමුගෙන ඔහු අනුව ගියෝය. 23  ඉන්පසු යේසුස් සිනගෝගවල+ උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කරමින්ද ජනයාට වැලඳී තිබූ සියලු ආකාර රෝග+ සහ ආබාධ සුව කරමින්ද මුළු ගලීලය පුරාම+ සංචාරය කළේය.+ 24  ඔහු ගැන ආරංචිය මුළු සිරියාව පුරාම+ පැතිරිණ. එවිට අසනීපව සිටි සියල්ලන්ව එනම්, විවිධාකාර රෝගවලින් හා වේදනාවලින් පීඩිතව සිටි+ අයවද භූතයන් ආවේශ වූ අයවද මීමැස්මොර රෝගීන්වද+ අංශභාග රෝගීන්වද ඔහු වෙතට ගෙනෙන ලදි. ඔහු ඔවුන් සියල්ලන්වම සුව කළේය. 25  එහෙයින් ගලීලයෙන්ද+ දෙකපොලිසයෙන්ද* යෙරුසලමෙන්ද+ යුදයෙන්ද යොර්දාන් ගඟ එගොඩින්ද පැමිණි මහත් ජන සමූහයක් ඔහුගේ අනුගාමිකයෝ වූවෝය.

පාදසටහන්

“අනුව” යන්න භාවිත කර තිබෙන්නේ ඔවුන් ඔහුගේ අනුගාමිකයන් වූ බව දැක්වීමටයි.
හෝ, “නුවරවල් දසයෙන්ද.”