ලෙවී කතාව 15:1-33

15  යෙහෝවා දෙවි මෝසෙස්ටත් ආරොන්ටත් මෙසේ කීවේය.  “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘යමෙකුගේ ලිංගේන්ද්‍රියෙන් ශ්‍රාවයක් ගලනවා නම්+ එම තැනැත්තා සිටින්නේ අපවිත්‍ර තත්වයකයි.  එම ශ්‍රාවය ඔහුගේ ලිංගේන්ද්‍රියෙන් පිටතට ගලා ගියත් නැතත් ඔහු අපවිත්‍රය.  “‘එවැනි තැනැත්තෙකු යහනක හාන්සි වේ නම් එම යහන අපවිත්‍ර වන්නේය. ඔහු යම් තැනක හිඳගන්නේද එතැනද අපවිත්‍ර වන්නේය.  යමෙකු ඔහුගේ යහන ස්පර්ශ කළොත් එම තැනැත්තා තම වස්ත්‍ර සෝදාගෙන නාගත යුතුයි. ඔහු සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.+  ලිංගේන්ද්‍රියෙන් ශ්‍රාවයක් ගලන කෙනෙකු හිඳගත් තැනක යමෙකු හිඳගත්තොත් ඔහු තම වස්ත්‍ර සෝදාගෙන+ නාගත යුතුයි. ඔහු සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.  ශ්‍රාවයක් ගලන කෙනෙකුව ස්පර්ශ කරන+ කවුරු නමුත් තම වස්ත්‍ර සෝදාගෙන නාගත යුතුයි. ඔහු සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.+  ශ්‍රාවයක් ගලන තැනැත්තාගේ කෙළ පවිත්‍ර කෙනෙකුගේ ඇඟේ වැදුණොත් ඔහු තම වස්ත්‍ර සෝදාගෙන නාගත යුතුයි. ඔහු සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.  ශ්‍රාවයක් ගලන කෙනා සෑදලයක්+ පිට හිඳගත්තොත් එයද අපවිත්‍ර වන්නේය. 10  ඔහු යම් දෙයක් මත හිඳගත් පසු ඒ දේ ස්පර්ශ කරන තැනැත්තා සවස් වන තුරු අපවිත්‍ර වන්නේය. යමෙකු ඔහු හිඳගත් දේ රැගෙන ගියොත් එම තැනැත්තා තම වස්ත්‍ර සෝදාගෙන නාගත යුතුයි. ඔහු සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි. 11  ශ්‍රාවයක් ගලන+ කෙනා තම අත් සෝදන්නේ නැතුව යමෙකුව ස්පර්ශ කළොත් එම තැනැත්තා තම වස්ත්‍ර සෝදාගෙන නාගත යුතුයි. ඔහු සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි. 12  ශ්‍රාවයක් ගලන කෙනා මැටි භාජනයක් ස්පර්ශ කළොත් එය බිඳ දැමිය යුතුයි.+ ඔහු ලී භාණ්ඩයක්+ ස්පර්ශ කළොත් එය වතුරෙන් සේදිය යුතුයි. 13  “‘එම තැනැත්තාගේ ශරීරයෙන් ශ්‍රාවය ගලා යෑම නතර වුණොත් එය නතර වී දවස් හතක්+ ගෙවුණු පසු ඔහු තම වස්ත්‍ර සෝදාගෙන පිරිසිදු වතුරෙන් නාගත යුතුයි.+ එවිට ඔහු පවිත්‍ර වන්නේය. 14  අටවන දවසේදී ඔහු පරෙවියන් දෙදෙනෙකු හෝ කොබෙයි පැටවුන්+ දෙදෙනෙකු හෝ රැගෙන සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ යෙහෝවා දෙවි වන මා ඉදිරියට පැමිණ පූජකයාට උන්ව දිය යුතුයි. 15  පූජකයා උන්ගෙන් එකෙකුව පාප පූජාවක් ලෙසද අනිකාව දවන පූජාවක්+ ලෙසද ඔප්පු කළ යුතුයි. ඉන්පසු පූජකයා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ එම තැනැත්තාගේ පව්කාර තත්වය වෙනුවෙන් සමාව ලබාගත යුතුයි. 16  “‘පුරුෂයෙකුගෙන් ශුක්‍රාණු+ පිට වුණොත් ඔහු නාගත යුතුයි. ඉන්පසු ඔහු සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි. 17  යම් වස්ත්‍රයක හෝ සමෙන් සෑදූ ඕනෑම දෙයක හෝ ශුක්‍රාණු වැදුණොත් එය වතුරෙන් සේදිය යුතුයි. එය සවස් වන තුරු අපවිත්‍ර දෙයක් ලෙස වෙන් කර තැබිය යුතුයි.+ 18  “‘පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කළ විට ශුක්‍රාණු පිට වීමක් සිදු වන බැවින් ඔවුහු දෙදෙනා අපවිත්‍ර තත්වයකට පත් වනු ඇත.+ ඒ නිසා ඔවුන් දෙදෙනාම නාගෙන සවස් වන තුරු වෙන්ව සිටිය යුතුයි. 19  “‘ස්ත්‍රියකගේ ශරීරයෙන් ලේ+ ගලනවා නම් එය ඇගේ ඔසප් දවස් වේ. ඔසප් වීම නිසා ඇය අපවිත්‍ර+ තත්වයක සිටින්නීය. එබැවින් ඇය දවස් හතක්+ වෙන්ව සිටිය යුතුයි. ඇයව ස්පර්ශ කරන කවුරු නමුත් සවස් වන තුරු අපවිත්‍ර වන්නේය. 20  ඇය අපවිත්‍රව සිටින ඔසප් කාලයේදී යමක් මත හාන්සි වුණොත් හෝ හිඳගත්තොත් හෝ ඒ දේ අපවිත්‍ර වන්නේය.+ 21  ඇගේ යහන ස්පර්ශ කරන කවුරු නමුත් තම වස්ත්‍ර සෝදාගෙන නාගත යුතුයි. ඒ තැනැත්තා අපවිත්‍ර තත්වයක සිටින බැවින් සවස් වන තුරු වෙන්ව සිටිය යුතුයි.+ 22  කවරෙකු හෝ ඇය හිඳගත් තැන ස්පර්ශ කළොත් ඔහුද තම වස්ත්‍ර සෝදාගෙන නාගත යුතුයි. ඔහු සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි.+ 23  ඇය හිඳගත් යහන හෝ වෙන ඕනෑම දෙයක් හෝ ස්පර්ශ+ කරන යමෙකු සවස් වන තුරු අපවිත්‍ර වන්නේය. 24  ඇගේ ඔසප් දවස්වලදී පුරුෂයෙකු ඇය සමඟ සයනය කළොත්+ ඔහු දවස් හතක් යන තුරු අපවිත්‍ර තත්වයක සිටින්නේය. ඔහු ඒ කාලයේදී යහනක හාන්සි වුණොත් එයද අපවිත්‍ර වන්නේය. 25  “‘ස්ත්‍රියකගේ ඔසප් දවස් හැර වෙනත් දවස්වලදීත්+ දවස් ගණනාවක්+ පුරා ඇගේ ශරීරයෙන් ලේ ගලනවා නම් හෝ ඔසප් වීම සාමාන්‍ය දින ගණනට වඩා දිගු කාලයක් පුරා පවතිනවා නම් හෝ එම අපවිත්‍ර ශ්‍රාවය ගලන සියලු දවස්වලදී ඇගේ ඔසප් දිනවලදී මෙන් ඇය අපවිත්‍ර තත්වයක සිටින්නීය. 26  ඇගේ ඔසප් වීම සිදු වන දවස්වලදී මෙන් මෙම කාලයේදීද ඇය යහනක හාන්සි වුණොත් හෝ යමක හිඳගත්තොත් හෝ එය අපවිත්‍ර+ වන්නේය. 27  එම දේවල් ස්පර්ශ+ කරන කවුරු නමුත් තම වස්ත්‍ර සෝදාගෙන නාගත යුතුයි. ඔහු සවස් වන තුරු අපවිත්‍ර කෙනෙකු ලෙස වෙන්ව සිටිය යුතුයි. 28  “‘එහෙත් ඇගේ ශරීරයෙන් ගලා ගිය ශ්‍රාවය නැවතුණොත් ශ්‍රාවය නතර වී දවස් හතක් ගෙවුණු පසු ඇය පවිත්‍ර වන්නීය.+ 29  අටවන දවසේදී ඇය පරෙවියන් දෙදෙනෙකු හෝ කොබෙයි පැටවුන්+ දෙදෙනෙකු හෝ සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට ගෙනැවිත් පූජකයාට දිය යුතුයි.+ 30  පූජකයා උන්ගෙන් එකෙකුව පාප පූජාවක් ලෙසද අනිකාව දවන පූජාවක් ලෙසද+ ඔප්පු කළ යුතුයි. ඉන්පසු පූජකයා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ එම තැනැත්තියගේ පව්කාර තත්වය වෙනුවෙන් සමාව+ ලබාගත යුතුයි. 31  “‘ඔබ ඊශ්‍රායෙල් සෙනඟව අපවිත්‍ර දේවලින් වෙන් කර තැබිය යුතුයි. මන්ද ඔවුන් අපවිත්‍ර තත්වයකට පත් වුණොත් ඔවුන් අතරේ තිබෙන මගේ ශුද්ධ කූඩාරමද+ දූෂ්‍ය වන්නේය. එසේවුවහොත් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වෙයි. 32  “‘ලිංගේන්ද්‍රියෙන් ශ්‍රාවයක්+ ගැලීම නිසා හෝ ශුක්‍රාණු+ පිට වීම නිසා හෝ අපවිත්‍ර වන පුරුෂයෙකු විසින් පිළිපැදිය යුතු නීතිය එයයි. 33  ඔසප්+ දවස්වලදී අපවිත්‍ර වන ස්ත්‍රියක විසින්ද ශ්‍රාවයක්+ ගලන පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ විසින්ද අපවිත්‍රව සිටින ස්ත්‍රියක සමඟ සයනය කරන පුරුෂයෙකු විසින්ද පිළිපැදිය යුතු නීතිය එයයි.’”

පාදසටහන්