Skip to content

පටුනට යන්න

පවුල් බැඳීම් සහ මිතුදම්

පවුල් බැඳීම් සහ මිතුදම්

පවුලේ අය සහ මිතුරන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න එක හුඟක් අයට අභියෝගයක්. ඒක ජය ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් බලමු.

තමන් ගැන විතරක් හිතන්න එපා

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අනිත් අයත් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න නම් එයාලගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා වෙනුවට එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න ඕනේ. ඔයා ගැන විතරක් හිතන්න ගියොත් මිතුදම් කැඩෙන්න පුළුවන්. උදාහරණෙකට තමන් ගැන විතරක් හිතන කෙනෙක් විවාහ සහකරුට/සහකාරියට ද්‍රෝහි වෙන්න ඉඩ තියෙනවා. අනිත් අතට පුරසාරම් දොඩන කෙනෙක්ව යාළුවෙක් කරගන්න කවුරුත් කැමති නැහැ. එක පොතකත් කියනවා “ආත්මාර්ථකාමී අයට හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා” කියලා.—The Road to Character.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

  • අනිත් අයට උදව් කරන්න. හොඳ යාළුවන් එකිනෙකාව විශ්වාස කරනවා. ඕනෙම වෙලාවක උදව් කරන්න සූදානමින් ඉන්නවා. අනිත් අයට උදව් කරද්දී කෙනෙක්ට තමන් ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා කියලත් මානසික අවපීඩනය ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි කියලත් සමීක්ෂණවලින් හොයාගෙන තියෙනවා.

  • එක් එක් කෙනාගේ තත්වයන් තේරුම්ගන්න. අනිත් අයගේ තත්වයන් තේරුම්ගන්න කෙනෙක්ට එයාලගේ දුක, වේදනාව හොඳින් දැනෙනවා. ඒ වගේ කෙනෙක් කවදාවත් විහිළුවෙන්වත් අනිත් අයගේ හිත රිදෙන, කැපෙන වචන කියන්නේ නැහැ.

    අනිත් අයගේ තත්වයන් තේරුම්ගන්න කෙනෙක්ට එයාලගේ අඩුපාඩුකම් දරාගන්න පුළුවන් වෙනවා. ඕනම ජාතියක, පසුබිමක ඉන්න අයව යාළුවන් කරගන්නත් ඒක උදව් වෙනවා.

  • අනිත් අය වෙනුවෙන් කාලය දෙන්න. අනිත් අයත් එක්ක කාලය ගත කරද්දී එයාලව හොඳින් හඳුනගන්න පුළුවන්. එයාලා උනන්දු වෙන දේවල් ගැන කතා කරද්දී හොඳ යාළුවන්ව ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා හොඳින් ඇහුම්කන් දෙන්න. එයාලා සැලකිලිමත් වෙන දේවල් ගැන උනන්දු වෙන්න. “අර්ථවත් දේවල් ගැන කතා කරන එක සතුටින් ඉන්න උදව් වෙන්න පුළුවන්” කියලා අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා.

යාළුවන්ව තෝරගද්දී පරෙස්සම් වෙන්න

බයිබල් ප්‍රතිපත්තිය: “නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”—1 කොරින්ති 15:33.

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඔයා ආශ්‍රය කරන අය ඔයාගේ හොඳට හරි නරකට හරි බලපානවා. සමාජ විද්‍යාඥයනුත් කියන්නේ යාළුවන්ගේ ආශ්‍රයෙන් ජීවිතේට ලොකු බලපෑමක් වෙනවා කියලයි. උදාහරණෙකට දික්කසාද වෙන එක සාමාන්‍ය දෙයක් විදිහට සලකන අයව, සිගරට් බොන අයව ඔයා ආශ්‍රය කරනවා නම් ඔයාත් ඒ දේවල් කරන්න පෙලඹෙයි කියලා ඒ අය කියනවා.

ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඔයාට හොඳ ආදර්ශයක් වෙන, යහපත් ගතිගුණ තියෙන අයව යාළුවන් කරගන්න. උදාහරණෙකට අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන, අනිත් අයට ගෞරවයෙන් සලකන, ත්‍යාගශීලී, ආගන්තුක සත්කාරයට ළැදි අයව යාළුවන් කරගන්න.

තවත් බයිබල් ප්‍රතිපත්ති

පවුලේ සතුට වැඩි කරගන්න විවාහ යුවළයන්ට, යෞවනයන්ට සහ දරුවන්ට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මත පදනම් වීඩියෝ බලන්න

හිත රිදෙන කතා කියන්න එපා.

“නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි.”—හිතෝපදේශ 12:18.

ත්‍යාගශීලී වෙන්න.

“ත්‍යාගශීලී තැනැත්තා තෘප්තියට පත් වෙයි.”—හිතෝපදේශ 11:25.

අනිත් අය ඔයාට සලකනවාට කැමති විදිහටම ඔයාත් එයාලට සලකන්න.

“අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”—මතෙව් 7:12.