Skip to content

පටුනට යන්න

අරිමාතිය නම් නුවරේ උපන් යෝසෙප්

අරිමාතිය නම් නුවරේ උපන් යෝසෙප්

යේසුස් මිය ගිහින් වැඩි වෙලාවක් ගත වෙලා තිබුණේ නැහැ. ඔහුගේ දේහය සොහොනක තැන්පත් කරන්න නම් දේහය භාරගන්න පොන්තියුස් පිලාත්ගේ අවසරය ඕනේ. පිලාත් දැඩි තීරණ ගත්ත, හිතුවක්කාර පාලකයෙක්. එයා ඉදිරියට ගිහින් යේසුස්ගේ දේහය භාරගන්න අවසර ඉල්ලන එක ලේසි දෙයක් නෙමෙයි. ඒත් අරිමාතිය නුවරෙන් ආපු යෝසෙප් පිලාත් ඉදිරියට යනවා. යේසුස් මිය ගිහින් කියලා ස්ථිරව දැනගත්තාට පස්සේ පිලාත් ඒකට අවසර දෙනවා. එච්චර දෙයක් කරන්න තරම් ධෛර්යයක් තමන්ට තියෙනවා කියලා යෝසෙප් කලින් හිතලා තිබුණේ නැහැ. ලොකු වේදනාවකින් හිටපු යෝසෙප් ඉක්මනින්ම ආපහු යේසුස් මිය ගිය තැනට යනවා.—මාක් 15:42-45.

  • අරිමාතිය නම් නුවරින් ආපු යෝසෙප් කියන්නේ කවුද?

  • එයාට යේසුස් එක්ක තිබුණේ මොන වගේ බැඳීමක්ද?

  • එයා ගැන සඳහන් තොරතුරු ගැන අපි උනන්දු වෙන්න ඕනෙ ඇයි?

මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක්

මාක්ගේ සුවිශේෂයේ යෝසෙප්ව හඳුන්වන්නේ “මන්ත්‍රණ සභාවේ ප්‍රකට සාමාජිකයෙක්” කියලා. (මාක් 15:1, 43) මන්ත්‍රණ සභාව තමයි යුදෙව් මහාධිකරණය. යුදෙව්න්ගේ හැම පරිපාලන කටයුත්තක්ම කළේ ඒක යටතේ. ඒ නිසා යෝසෙප් යුදෙව්වන්ගේ නායකයෙක් වගේම ධනවත් කෙනෙක් කියලා කියන්න පුළුවන්. පිලාත්ව මුණගැහිලා කතා කරන්න එයාට පුළුවන් වුණේ එයාගේ තනතුර නිසයි.—මතෙ. 27:57.

යේසුස් ඔයාගේ රජ කියලා පිළිගන්න ධෛර්යයක් ඔයාට තියෙනවාද?

මන්ත්‍රණ සභාව යේසුස්ට හතුරුකම් කළා. ඔහුව මරන්න කුමන්ත්‍රණය කළා. ඒත් යෝසෙප් “යහපත් සහ ධර්මිෂ්ඨ තැනැත්තෙක්.” (ලූක් 23:50) මන්ත්‍රණ සභාවේ වැඩිදෙනෙක් වගේ නෙමෙයි එයා අවංක, සදාචාරය අතින් පවිත්‍ර ජීවිතයක් ගත කළා. දෙවිගේ ආඥාවලට කීකරු වුණා. එයා “දෙවිගේ රාජ්‍යය ගැන බලා සිටියා.” එයා යේසුස්ගේ ගෝලයෙක් වෙන්න ඇත්තෙත් ඒ නිසයි. (මාක් 15:43; මතෙ. 27:57) සත්‍යයට, යුක්තියට ඇලුම් කරපු නිසයි යෝසෙප්ගේ හිත යේසුස් දේශනා කරපු පණිවිඩයට ඇදිලා ගියේ.

රහසින් ගෝලයෙක්ව සිටියා

යොහන් 19:38 කියන්නේ යෝසෙප් “යුදෙව්වරුන්ට ඇති බිය නිසා රහසින් යේසුස්ගේ ගෝලයෙකුව සිටි කෙනෙකි” කියලයි. ඒත් ඇයි එයා බය වුණේ? යුදෙව්වන් යේසුස්ට වෛර කළා කියලත් යේසුස් ගැන විශ්වාසය තියන ඕනෙම කෙනෙක්ව සිනගෝගයෙන් නෙරපනවා කියලත් යෝසෙප් දැනගෙන හිටියා. (යොහ. 7:45-49; 9:22) කෙනෙක්ව සිනගෝගයෙන් නෙරපුවොත් යුදෙව්වන් එයාව කොන් කළා. යේසුස්ගේ ගෝලයෙක් කියලා ප්‍රසිද්ධියේ කියන්න යෝසෙප් අදිමදි කළේ ඒ නිසයි. එහෙම කළා නම් එයාට තිබුණ තනතුර, පිළිගැනීම නැති වෙන්න තිබුණා.

ඒ වගේ බයෙන් හිටියේ යෝසෙප් විතරක් නෙමෙයි. යොහන් 12:42 කියන්නේ ‘යුදෙව්වන්ගේ නායකයන් බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවා. නමුත් ඔවුන් ඒ ගැන ප්‍රසිද්ධියේ කිසිවක් නොපැවසුවේ, පරිසිවරුන් ඔවුන්ව සිනගෝගයෙන් නෙරපා දමයි කියා බිය වූ නිසා’ කියලයි. නිකදේමස් ඒ වගේ කෙනෙක්. එයාත් මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක්.—යොහ. 3:1-10; 7:50-52.

යෝසෙප් යේසුස්ගේ ගෝලයෙක් කියලා හංගපු එක සැහැල්ලුවට ගන්න බැහැ. මොකද යේසුස් මෙහෙම කියලා තිබුණා. “මාව පිළිගන්නවා කියා යමෙක් මිනිසුන් ඉදිරියේ පවසනවා නම් ස්වර්ගයෙහි සිටින මගේ පියාණන් ඉදිරියේ මමත් ඔහුව පිළිගන්නවා කියා පවසන්න කැමතියි. නමුත් යමෙක් මිනිසුන් ඉදිරියේ මාව ප්‍රතික්ෂේප කරනවා නම් ස්වර්ගයෙහි සිටින මගේ පියාණන් ඉදිරියේ මමත් ඔහුව ප්‍රතික්ෂේප කරනවා.” (මතෙ. 10:32, 33) යෝසෙප් යේසුස්ව ප්‍රතික්ෂේප කළේ නැහැ තමයි. ඒත් ඔහුගේ ගෝලයෙක් කියලා පිළිගන්න තරම් ධෛර්යක් තිබුණෙත් නැහැ. ඔයාට ඒ ධෛර්යය තියෙනවාද?

ප්‍රසිද්ධියේ යේසුස්ව පිළිගන්න ධෛර්යයක් යෝසෙප්ට තිබුණේ නැතත් යේසුස්ව මරන්න මන්ත්‍රණ සභාව කරපු කුමන්ත්‍රණයට එයා සහය දුන්නේ නැහැ. (ලූක් 23:51) සමහරවිට යේසුස්ට විරුද්ධව කරපු නඩු විභාගයේදී යෝසෙප් ඉන්න නැතුව ඇති. ඒ කොහොමවුණත් යේසුස්ට වුණ අයුක්තිය ගැන යෝසෙප් දුක් වෙන්න ඇති. ඒත් ඒ ගැන එයාට කරන්න පුළුවන් දෙයක් නැහැ.

දෙගිඩියාවෙන් හිටපු කාලේ ඉවරයි

යේසුස්ගේ මරණය සිද්ධ වෙද්දී යෝසෙප් බයෙන් ගොඩ ඇවිත් යේසුස්ගේ අනුගාමිකයන්ට සහය දෙන්න තීරණයක් අරගෙනයි හිටියේ. මාක් 15:43 සඳහන් මේ දෙයින් ඒක ඔප්පු වෙනවා. “යෝසෙප් ධෛර්යය උපදවාගෙන පිලාත් ඉදිරියට ගොස් යේසුස්ගේ දේහය භාරගැනීමට අවසර ඉල්ලුවා.”

පේන විදිහට යේසුස් මිය යද්දී යෝසෙප් එතන ඉඳලා තියෙනවා. යේසුස්ගේ දේහය භාරගන්න අවසර ඉල්ලන්න යෝසෙප් පිලාත් ළඟට යද්දී යේසුස් මිය ගිහින් කියලා පිලාත්වත් දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන පිලාත් නිලධාරියකුගෙන් ඇහුවේ ඒ නිසයි. (මාක් 15:44) වේදනා විඳලා යේසුස් මිය යනවා යෝසෙප් දැක්කා නම් එයාගේ හිත එයාට දොස් කියන්න ඇති. තමන් යේසුස්ගේ අනුගාමිකයෙක් කියලා ප්‍රසිද්ධියේ පිළිගන්න ඒකෙන් එයාට ධෛර්යයක් ලැබෙන්න ඇති. යේසුස් වෙනුවෙන් දෙයක් කරන්න එයා පෙලඹුණේ ඒ නිසයි. එදායින් පස්සේ නම් එයා රහසින් ගෝලයෙක්ව ඉන්න නැතුව ඇති.

යෝසෙප් යේසුස්ගේ දේහය තැන්පත් කළා

යුදෙව් නීතියට අනුව මරණ දඬුවම ලබපු අයගේ මළ සිරුරු ඉර බහින්න කලින් තැන්පත් කරන්න ඕනේ. (ද්වි. 21:22, 23) ඒත් රෝමවරු ඒ නීතිය ගණන් ගත්තේ නැහැ. එයාලා අපරාධකරුවන්ගේ මළ සිරුරු වධකණුවෙම කුණු වෙන්න ඇරියා. නැත්නම් පොදු තැනකට වීසි කළා. ඒත් යෝසෙප් කැමති වුණේ නැහැ යේසුස්ගේ දේහයට ඒ දේ වෙනවා දකින්න. යේසුස් මිය ගිය තැනට කිට්ටුවෙන් යෝසෙප්ට අයිති සොහොන් ගෙයක් තිබුණා. ඒක අලුත් එකක් නිසා යෝසෙප් අරිමාතිය * කියන නුවරේ ඉඳලා යෙරුසලමට ආවේ මෑතකදී වෙන්න ඕනේ. එයා ඒක පවුලේ සොහොන් ගෙය හැටියට පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න ඇති. (ලූක් 23:53; යොහ. 19:41) යේසුස්ගේ දේහය එතන තැන්පත් කරන්න තීරණය කරපු එකෙන් එයා ත්‍යාගශීලී කෙනෙක් කියලා පේනවා. ඒ වගේම ගැලවුම්කරුව තැන්පත් කරන්නේ “ධනවතුන් සමඟය” කියන අනාවැකියේ ඉටු වීමටත් ඒක දායක වුණා.—යෙසා. 53:5, 8, 9.

දෙවි එක්ක තියෙන බැඳීම දෙවෙනි තැනට දාන දෙයක් ඔයාගේ ජීවිතේ තියෙනවාද?

යේසුස්ගේ දේහය කණුවෙන් පහතට ගත්තාට පස්සේ යෝසෙප් දේහය අනර්ඝ ලිනන් රෙදිවලින් ඔතලා තමන්ට අයිති සොහොන් ගෙයක තැන්පත් කළා කියලා සුවිශේෂ 4ම සඳහන් වෙනවා. (මතෙ. 27:59-61; මාක් 15:46, 47; ලූක් 23:53, 55; යොහ. 19:38-40) ඒ වැඩකටයුතු කරන්න යෝසෙප්ට උදව් කළා කියලා විශේෂයෙන් සඳහන් වෙන්නේ නිකදේමස් ගැන විතරයි. එයා දේහයේ ගල්වන්න සුවඳ ද්‍රව්‍ය ගෙනාවා. එයාලා උසස් තනතුරු දරපු අය නිසා ඒ වැඩකටයුතු තනියම කරන්න නැතුව ඇති. ඒවා කරන්න ඇත්තේ මෙහෙකරුවන් ලවා. යේසුස්ගේ දේහය සොහොන් ගෙට ගෙනියන්න, තැන්පත් කරන්න මෙහෙකරුවන්ව පාවිච්චි කළාට එයාලා භාරගත්ත වැඩේ සුළු පටු එකක් නෙමෙයි. මොකද නීතියට අනුව මළ සිරුරක් අල්ලන කෙනෙක් දවස් 7ක් යන කල් අපවිත්‍රයි. එයා අල්ලන දේවලුත් අපවිත්‍රයි. (ගණන්. 19:11; හග්. 2:13) පාස්කු උත්සවය සමරපු ඒ කාලේ දවස් 7ක් අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න ඕනෙ නිසා ඒ උත්සවයේ කිසිම දේකට සහභාගි වෙන්න එයාලට අවස්ථාව ලැබෙන්නේ නැහැ. (ගණන්. 9:6) ඒ විතරක් නෙමෙයි යේසුස්ගේ දේහය තැන්පත් කරන්න භාරගත්ත නිසා යෝසෙප්ව මන්ත්‍රණ සභාවේ අයගේ සමච්චලයට ලක් වෙන්නත් ඉඩ තිබුණා. ඒ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න යෝසෙප් අදිටන් කරගෙනයි හිටියේ. ඒකයි එයා යේසුස්ගේ දේහය ගෞරවනීය විදිහට තැන්පත් කරන්නත් තමන් යේසුස්ගේ අනුගාමිකයෙක් කියලා ප්‍රසිද්ධියේ කියන්නත් පියවර ගත්තේ.

අවසානයේදී

ඒ සිද්ධියෙන් පස්සේ බයිබලයේ අරිමාතිය නුවරින් ආපු යෝසෙප් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඊටපස්සේ එයා මොනවා කරන්න ඇද්ද? අපි හරියටම දන්නේ නැහැ. ඒත් එයා යේසුස්ගේ අනුගාමිකයෙක් කියලා ප්‍රසිද්ධියේ කියන්න ඇති කියලා අපි බලපු තොරතුරුවලින් පැහැදිලියි. දැඩි පීඩාවලට, වේදනාකාරී දේවලට මුහුණ දෙන්න වුණ වෙලාවේ යෝසෙප්ගේ විශ්වාසය, නිර්භීතකම අඩු වුණේ නැහැ. තව වැඩි වුණා. ඊටපස්සෙත් එයා ඒ විදිහටම වැඩ කරන්න ඇති.

යෝසෙප්ගේ සිද්ධිය ගැන බලද්දී අපිත් හිතලා බලන්න ඕනෙ වැදගත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ තමයි අපේ තනතුර, රැකියාවේ ඉහළට යන්න තියෙන ආසාව, පවුල් බැඳීම්, පීඩාවලට තියෙන බය නිසා දෙවි එක්ක තියෙන බැඳීම අපි දෙවෙනි තැනට දානවාද කියන ප්‍රශ්නේ.

^ 18 ඡේ. අරිමාතිය කියන්නේ රාමා කියන නුවරට වෙන්න පුළුවන්. දැන් ඒක හඳුන්වන්නේ රෙන්ටිස් කියලා. අනාගතවක්තෘ සාමුවෙල් ඉපදුණේ එහේ. ඒක තියෙන්නේ යෙරුසලමට කි.මී. 35ක් විතර වයඹ දෙසින්.—1 සාමු. 1:19, 20.