Skip to content

පටුනට යන්න

බයිබලය විශ්වාස කිරීමට හේතු

3. අදහස් ගැටෙන්නේ නැහැ

3. අදහස් ගැටෙන්නේ නැහැ

විවිධ පසුබිම්වලට අයත් පුද්ගලයින් 40දෙනෙකුට එක පොතක් ලියන්න දුන්නා කියා සිතන්න. ඔවුන් විවිධ ප්‍රදේශවල ජීවත් වන අයයි. මේ අය එකිනෙකාව හඳුනන්නේ නැහැ. ඒ වගේම අනික් අය ලියා තිබෙන්නේ මොනවාද කියාත් ඔවුන් දන්නේ නැහැ. මේ ආකාරයට ලියූ පොතක අදහස් එකිනෙකට ගැටෙන්නේ නැති බව ඔබට විශ්වාස කරන්න පුළුවන්ද?

බයිබලය සම්බන්ධයෙන්ද එය සැබෑවක්. * නමුත් බයිබලය ලියූ සමහර ලේඛකයන් එය ලියනු ලැබුවේ ඉහත සඳහන් කළ තත්වයන්ට වඩා දුෂ්කර තත්වයන් යටතේයි. ඒත් එහි අදහස්වල කිසිම ගැටීමක් නැහැ. එමෙන්ම එය උසස් කෘතියක් ලෙස සැලකිය හැකියි.

යේසුස්ගේ සළුව දම් පාටද තද රතු පාටද?

කාලය හා වෙනස් පසුබිම්.

බයිබලය ලිවීමට අවුරුදු 1,600කට වඩා වැඩි කාලයක් ගතවුණා. එය ලියනු ලැබුවේ ක්‍රිස්තු පූර්ව 1513 සිට ක්‍රිස්තු වර්ෂ 98 අතර කාලය තුළදීයි. මෙහි ලේඛකයන් 40දෙනාගෙන් සමහරුන් ජීවත් වූයේ එකිනෙකට වෙනස් සියවස්වලදීයි. ඔවුන් විවිධ රැකියාවන්වල නිරත වූ අයයි. මේ අය අතර මසුන් අල්ලන්නන්, එඬේරුන්, රජවරුන් හා එක් වෛද්‍යවරයෙක්ද සිටියා.

එකම පණිවිඩයක්.

බයිබලයේ ලේඛකයන් එය එකම තේමාවක් ඔස්සේ ලියා තිබෙනවා. එම තේමාව නම් මුළු විශ්වයම පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය තහවුරු කිරීම හා ඔහු තම රාජ්‍ය මගින් ඔහුගේ අරමුණ ඉටු කිරීම යන්නයි. මෙම තේමාව බයිබලයේ පළමුවෙනි පොත වන උත්පත්ති පොතේ හඳුන්වා දී තිබෙන අතර එතැන් සිට ඒ පිළිබඳ තවත් තොරතුරු අනිකුත් පොත්වල සඳහන් වෙනවා. එමෙන්ම අවසාන පොත වන එළිදරව් පොතේ එය ඉටු වන ආකාරය ගැන කතා කරනවා.—19වන පිටුවේ ඇති “බයිබලය ලිවීමේ අරමුණ කුමක්ද” යන ලිපිය බලන්න.

තොරතුරුවල එකඟතාව.

බයිබල් ලේඛකයන් එහි සෑම තොරතුරක්ම එකඟ කිරීමේ අරමුණකින් ලියා නැතත් කුඩා කාරණයකදී පවා එහි තොරතුරුවල එකඟතාවක් දක්නට ලැබෙනවා. නිදසුනකට මෙය සලකා බලන්න. යේසුස්ගේ ඉගැන්වීම්වලට සවන් දීමට පැමිණි පිරිසකට කෑමට රොටි මිල දී ගත හැක්කේ කොහෙන්දැයි කියා යේසුස් ෆිලිප්ගෙන් ඇසූ බව යොහන් වාර්තා කළා. (යොහන් 6:1-5) මෙය බෙත්සයිදා නම් නුවර අසල සිදු වූ බව ලූක් පවසනවා. යොහන් කලින් අවස්ථාවකදී ෆිලිප් බෙත්සයිදා නුවර වැසියෙක් බව සඳහන් කර තිබුණා. (ලූක් 9:10; යොහන් 1:44) එමනිසා ප්‍රදේශය ගැන දන්නා පුද්ගලයෙකුගෙන් යේසුස් එවැනි දෙයක් විමසීම සාධාරණයි. බයිබල් ලේඛකයන් ඒ තොරතුරු එකිනෙකට එකඟ කිරීමේ අරමුණින් ලියා නොතිබුණද ඒවා අතර ගැටීමක් නැති බව පැහැදිලියි. *

විවිධ කෝණයෙන් දේවල් දෙස බැලීම.

සමහර වාර්තා අතර සුළු සුළු වෙනස්කම් දක්නට තිබෙනවා. එවැනි වෙනස්කම් සිදුවීම සාධාරණ නොවෙයිද? උදාහරණයකට එක් කණ්ඩායමක් එක් අපරාධයක් පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කරනවා කියා සිතන්න. ඔවුන් සෑම කෙනෙක්ම එකම තොරතුර එකම වචනවලින් පවසනවා නම් ඒ සාක්ෂි ගැන ඔබට සැකයක් ඇති වෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් කෙනෙකු පවසන දෙයක් ඔවුන් බලන කෝණය අනුව වෙනස් වෙනවා. බයිබල් ලේඛකයන් අතරත් එය සැබෑවක්.

උදාහරණයකට යොහන් හා මාක් වාර්තා කරන ආකාරයට යේසුස් මිය ගිය රාත්‍රියේ ඔහු ඇඳ සිටියේ දම් පැහැති සළුවක්ද? (මාක් 15:17; යොහන් 19:2) එසේත් නැත්නම් මතෙව් පවසන ආකාරයට තද රතු සළුවක්ද? (මතෙව් 27:28) මේ තොරතුරු දෙකම නිවැරදි වෙන්න පුළුවන්. දම් පැහැය තුළ රතු පාටද අඩංගු වෙනවා. යම් දෙයක් දෙස පුද්ගලයෙකු බලන දිශාව, ආලෝක තත්වය හා පසුබිම අනුව සමහර පාටවල වෙනසක් දිස් විය හැකියි. මේ අනුව සළුව දම් හෝ තද රතු පැහැයෙන් දිස් වුණා විය හැකියි.  *

බයිබල් ලේඛකයන් එහි සඳහන් තොරතුරු එකිනෙකට ගැළපීමේ අරමුණින් ලියා නැතත් ඒවායේ දැකිය හැකි එකඟතාව ඒ කෙරෙහි අපේ විශ්වාසය ගොඩනැඟීමට උපකාරවත් වෙන්නේ නැද්ද?

^ 4 ඡේ. බයිබලයේ කුඩා පොත් 66ක් තිබෙනවා. මෙහි මුල් පොත උත්පත්ති වන අතර අවසාන පොත එළිදරව් පොතයි.

^ 7 ඡේ. බයිබල් වාර්තාවල එකඟතාව ගැන තවත් තොරතුරු දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත සියලුම ජනයා සඳහා පොතක් යන ප්‍රකාශනයේ 16 හා 17වන පිටු බලන්න.

^ 9 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත The Bible—God’s Word or Man’s? යන පොතෙහි හත්වන පරිච්ඡේදය බලන්න.