Skip to content

පටුනට යන්න

මෙහෙමත් ගස්!

මෙහෙමත් ගස්!

මෙහෙමත් ගස්!

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්

ඕස්ට්‍රේලියානු බෝඇබ් ගස ගැන ඔබ දැන සිටියාද? පෙනුමෙන් බෝතලයක හැඩයක් ගන්නා මෙම ගස බෝතල් ගස කියාද හඳුන්වනවා. වියළි බිම්වල වැවෙන මෙම ගස එතරම් ආකර්ෂණීය නැහැ. වියළි කාලයේදී මෙහි සියලු කොළ හැළෙන අතර එය ඈතට දිස්වෙන්නේ හරියට අඬු දික් කරගෙන සිටින බූවල්ලෙක් වගෙයි. මෙම ගස්වලට එවැනි හැඩයක් ලැබී තිබෙන්නේ ශාපයකින් කියා ආදිවාසීන් අතර මතයක්ද තිබෙනවා.

මේ ගස් ළපටි කාලයේ යම් ලස්සනක් දක්නට තිබුණද මෝරන විට එහි පොත්ත අළු පැහැ ගැන්වී තැනින් තැන පලුදු වූ ස්වරූපයක් ගනියි. මේ ස්වරූපය ගැන 1837දී ගවේෂකයෙක් වන ජෝර්ජ් ග්‍රේ පැවසුවේ “එහි පෙනුම හරියට යම් රෝගයක් වැලඳිලා වගේයි” කියායි. මෙම ගසේ වෙනසට වෙනසට හේතුව කුමක්ද? එමෙන්ම පිටිසර ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් මෙන්ම ආදිවාසීන් මෙම ගස් ඉතා අගය කොට සලකන්නේ මන්ද?

කෙටි නමකින් හඳුන්වයි

අප්‍රිකාවේ, මැඩගස්කරයේ හා ඕස්ට්‍රේලියාවේ වයඹදිග ප්‍රදේශයේ බෝඇබ් ගස් බෙහෙවින් දක්නට තිබෙනවා. බොහෝ රටවල මෙම ගස බාඕබැබ් ලෙස හැඳින්වූවද ඕස්ට්‍රේලියානුවන් කාලයක සිට එය හඳුන්වන්නේ බෝඇබ් කියායි. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ ගම්වාසීන් නම් කෙටි කර භාවිත කිරීමට ප්‍රිය කරනවා. ඊට හේතුව වැඩි වේලාවක් කට ඇරගෙන සිටීමෙන් මැස්සෝ කටට යා හැකියි කියා ඔවුන් අතර හාස්‍යය කියමනක් තිබෙන නිසයි. ඒ නිසා ඔවුන් බාඕබැබ් යන නම බෝඇබ් ලෙස කෙටි කර කීමට පටන්ගත්තා. පසු කාලයකදී එම නම ප්‍රසිද්ධ වුණා.

බෝඇබ් ගස් මළ මී ගස් කියාද හඳුන්වනවා. එසේ හඳුන්වන්නේ ඈත සිට මේ දෙස බලන කෙනෙකුට එහි කරල් මැරුණු මීයන්ව නැට්ටෙන් එල්ලා තිබෙනවා වගේ පෙනෙන නිසයි. ඒ වගේම මලක් පොඩි කළ විට එයින් නිකුත් වෙන්නේ මහත් දුඟදක්. ඒත් සාමාන්‍යයෙන් සුවඳැති මේ සුදු පැහැති මල් විශාලයි.

කටුක දේශගුණයට ඔරොත්තු දෙයි

ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි කිම්බර්ලිවල මෙන්ම ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශයේ බෝඇබ් ගස් බහුලව වැඩෙනවා. මෙහි අවුරුද්දේ වැඩි කාලයක් වියළිව පවතින අතර වැසි ලැබෙන්නේ ඉතා ටික කාලයකට පමණයි.

බෝඇබ් ගස් සියවස් ගණනාවක් පුරා පවතින බව කවුරුත් පිළිගන්නා සත්‍යයක්. එක් අවස්ථාවකදී වෙනත් රටකට යැවීම සඳහා ලෑලි පෙට්ටියක සූදානම් කර තිබූ බෝඇබ් ගසක් එම ලෑලිවල හිඩැස් අතරින් පොළොවට මුල් ඇද තිබුණා! උද්භිද විද්‍යාඥයෙක් වන ඩී. ඒ. හර්න් ඒ ගස ගැන මෙවැනි දෙයක් පැවසුවා. “ගසට පිටින් ගිනි තැබුවද කඳ වටා පොතු හැරියද ඒ ගස ලෙහෙසියෙන් මරන්න බැහැ. මේ ගස කොතරම් ශක්තිමත්ද කියනවා නම් එහි වැඩීම නැවැත්විය හැක්කේ එය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් පමණයි.”

කඳු බෑවුම්වල හෝ වැලි කතරවල වැඩෙන මේ ගස්වල උස නිසා අනික් ගස් අතරින් කැපීපෙනෙනවා. කිම්බර්ලි උස්බිම්වල වැඩෙන මෙම ගස් අතරින් සමහර ගස් අඩි 80ක් හෝ ඊට වඩා උස වන අතර එහි කඳේ වට ප්‍රමාණයත් ඒ හා සමානයි.

සාමාන්‍යයෙන් බෝඇබ් ගස්වල කඳන් මෙතරම් විශාල වීමට හේතුව එහි තිබෙන ජලයයි. එහි කඳ මෙලෙක් මෙන්ම කෙඳි සහිත නිසා මෙයට විශාල ජල ප්‍රමාණයක් රඳවාගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසා වැසි කාලයේදී මෙම ගස්වල කඳන් තවත් විශාල වෙන අතර වියළි කාලය ආරම්භයත් සමඟම මෙම කඳන් නැවතත් පළමු ප්‍රමාණයටම පත් වෙනවා.

තද ශීත කාලයේදී එම දේශගුණයට ඔරොත්තු දීම සඳහා සාමාන්‍යයෙන් ගස්වල කොළ හැලෙනවා. නමුත් බෝඇබ් ගස්වල කොළ හැලෙන්නේ දිගු කාලයක් පුරා පවතින වියළි කාලයේදීයි. වියළි කාලය අවසානය කරා එළඹෙනවාත් සමඟම දලු දමා මල් පිපෙන්න පටන්ගන්නේ ඊළඟට පැමිණෙන වැසි කාලය ගැන දන්වා සිටිනවා වගෙයි. මේ නිසා සමහර ප්‍රදේශවාසීන් මෙම ගස හඳුන්වන්නේ කාලය මතක් කර දෙන ගසක් ලෙසයි.

බෝඇබ් ගස්වල මල් පිපෙන්නේ රාත්‍රි කාලයේදීයි. එමෙන්ම හිරු උදා වෙනවාත් සමඟම මෙම මල් පර වී වැටෙනවා. මෙහි හැදෙන කරල් විශාල වූ පසු බිමට වැටී පැලී එහි ඇට සෑම තැනටම විසිරී යනවා.

ගසේ ප්‍රයෝජන

බෝඇබ් ඇට, කොළ හා මුල් කිම්බර්ලි ප්‍රදේශයේ වෙසෙන ආදිවාසීන්ගේ ආහාරවල ප්‍රධාන තැනක් ගන්නවා. කරල් වියළෙන්න පෙර එහි තිබෙන සුදු පාටට හුරු මදය කෑමට ඔවුන් ඉතා ප්‍රිය කරනවා. වියළි කාලයේදී ආදිවාසීන් මෙම ගසේ කුඩා කෝටු හා මුල් හපන්නේ එහි ජලය අඩංගු වී තිබෙන නිසයි. දිගටම වැසි වසින කාලවලදී ගස් බෙනවල හා දෙබල්වල ජලය රැඳී තිබෙනවා ආදිවාසීන් දැක තිබෙනවා.

වර්ෂ 1856දී ඔගස්ටස් ග්‍රෙගරි හා ඔහුගේ කණ්ඩායම කිම්බර්ලි ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ඔවුන්ට විටමින් C ඌනතාව නිසා ශීතාදරෝගය වැලඳුණා. මෙයට ප්‍රතිකාරයක් ලෙස ඔවුන් බෝඇබ් ඇට තම්බා සෑදූ ජෑම් කෑමට ගැනීම නිසා ඔවුන් සුවය ලැබුවා.

අතීතය දෙස බැල්මක්

අතීතයේදී ආදිවාසීන් මෙන්ම යුරෝපීය ජාතිකයන්ද මෙම ගස් යම් යම් තොරතුරු කොටා තැබීම සඳහා භාවිත කළා. වර්ෂ 1820දී ගවේෂක පිලිප් පාකර් කිං නමැති කපිතාන්වරයා ඇතුළු පිරිස කිම්බර්ලි වෙරළට පැමිණියා. ඊට හේතුව ඔවුන් පැමිණි මර්මේඩ් නම් නෞකාවේ ඇති වූ යම් දෝෂයක් හරිගස්වා ගැනීමටයි. මෙම නෞකාව කිම්බර්ලි වෙරළට පැමිණි බවට නිවැරදි සාක්ෂි සැපයීමක් වශයෙන් කපිතාන්වරයා එහි විශාල බෝඇබ් ගසක “HMC මර්මේඩ් 1820” කියා කෙටුවා.

පසු කාලයකදී එම ගස මර්මේඩ් ගස කියා හඳුන්වනු ලැබුවා. ඒ කාලයේදී එම ගසේ වට ප්‍රමාණය අඩි 29ක් වූ අතර අද එම ගසේ වට ප්‍රමාණය අඩි 40ක් දක්වා විශාල වී තිබෙනවා. අද එහි කොටා තිබූ අකුරු එතරම් පැහැදිලි නොවූවද එය අදටත් එම ගවේෂකයන් පැමිණි බවට සාක්ෂි සපයනවා. මෙලෙස පැරණි බෝඇබ් ගස්වල තදින් කාවදින සේ කෙටූ සමහර පණිවිඩ අදටත් දැකිය හැකියි. මෙවැනි ගස් සංචාරකයන්ගේ උනන්දුව ඇති කිරීමට සමත් වී තිබෙනවා.

යුරෝපීය ජාතිකයන් කිම්බර්ලි උස් බිමෙහි පදිංචි වීමට පැමිණි විට විශාල බෝඇබ් ගස් මඟ සලකුණු ලෙසත්, හමුවන ස්ථාන ලෙසත් කූඩාරම් ගසාගැනීමට කදිම ස්ථාන ලෙසත් භාවිත කළා. තැනින් තැනට ගව රැළවල් ගෙන යන ගොපල්ලන් තම සතුන්ව මෙම ගස් යටට රැගෙන ගියේ උන්ගේ විඩා නිවාලීම සඳහායි. මෙලෙස සෙවණ ලබා දෙන ගස් ඔවුන් හැඳින්වූයේ ඕරියෙන්ටල් හොටෙල්, ක්ලබ් හොටෙල් හා රෝයල් හොටෙල් යන නම්වලිනුයි.

ආදිවාසීන් කණ්ඩායමක් 1886දී ජර්මන් ජාතික පදිංචිකරුවෙක් වූ ඕගස්ට් ලූකානස් ඇතුළු පිරිස පැමිණි බෝට්ටුව සොරකම් කළා. ඕගස්ට් සමඟ පැමිණි කණ්ඩායමට වින්ඩ්හැම් නගරයට යෑම සඳහා සැතපුම් 60ක දුෂ්කර ගමනක් යෑමට සිදු වුණේ කිඹුල්ලුන්ගෙන් ගහන ගංගා තරණය කරගෙනයි. ඊට පෙර එහි පැමිණි ගවේෂකයෙකුගේ දින පොතකින් ලබාගත් යම් තොරතුරු ඔහුට හා ඔහුගේ කණ්ඩායමට ප්‍රයෝජනවත් වූ අයුරු ඕගස්ට් ලියා තිබුණා. “එම ගවේෂකයා ඔහු සතුව තිබුණු සමහර වඩු උපකරණ දිය උල්පතක් අසල පිහිටි විශාල බෝඇබ් ගසක් යට වළලා තිබෙන බවත් එම ගසේ ඔහුගේ නමේ අකුරු කොටා තිබෙන බවත් සඳහන් කර තිබුණා.” මේ තොරතුරු නිසා ඕගස්ට් සමඟ ගිය අයට එම උපකරණ සොයාගැනීමට අපහසු වුණේ නැහැ. ඉන්පසු ඔවුන්ට දින පහක් වැනි කෙටි කාලයක් තුළදී බෝඇබ් ගසක් කපා ඉන් බෝට්ටුවක් සාදාගැනීමට හැකි වුණා. එම බෝට්ටුව ඔවුන්ව ආරක්ෂිතව නිවෙස් කරා ගෙන ගියා.

බෝඇබ් ගස් අතරින් ඉතා ප්‍රසිද්ධ ගස් දෙකක් තිබෙනවා. මේවා නම් වින්ඩ්හැම් සහ ඩර්බි යන නගරවල නම්වලින් හඳුන්වන ගස් දෙකයි. මෙම ගස් සිරගෙවල් ලෙස යොදාගෙන තිබුණා. බොහෝදෙනෙක් පවසන්නේ 19වන සියවසේදී මෙම විශාල ගස්වල කඳ ප්‍රදේශය හෑරූ විට එහි කිහිපදෙනෙකු සිර කර තැබීමට තරම් ප්‍රමාණවත් වූ බවයි. කෙසේවෙතත් නවීන දින ඉතිහාසඥයන් මෙහි සත්‍යතාව ගැන ප්‍රශ්න කරනවා. මෙම ගස් සංචාරකයන් අතරද ඉතා ජනප්‍රියයි.

චිත්‍ර කලාව

එක් කාලයකදී බෝඇබ් ගස්වල අලංකාර ලෙස චිත්‍ර ඇන්ද අතර පණිවිඩද ලියා තැබුවා. ඒත් දැන් චිත්‍ර ශිල්පීන් චිත්‍ර අඳින්නේ බිත්තරයක හැඩයෙන් යුත් බෝඇබ් ඇටවලයි. සමහර ඇට අඟල් 10ක් තරම් දිග වන අතර පළල අඟල් 6ක් පමණ වෙනවා.

චිත්‍ර ඇඳීමට සුදුසු ඇටයක් සොයාගත් විට කුඩා පිහියක් භාවිත කරමින් එය කැටයම් කරනවා. මෙම කැටයම්වලට ආදිවාසීන් දඩයම් කරන ආකාරය, සතුන් හා මිනිස් රූප වැනි දේ ඇතුළත් වෙනවා. මේවා සංචාරකයන් මෙන්ම එහි වැසියන්ද ලබාගැනීමට දක්වන්නේ දැඩි ආශාවක්. සමහර අය විනෝදාංශයක් ලෙස මෙවැනි කැටයම් එකතු කිරීමට ආශා කරනවා.

බෝඇබ් ගස සෙකුවා ගස තරම්ම පෙනුමක් නොතිබුණද එයටම ආවේණික වූ ලක්ෂණ කිහිපයක් තිබෙනවා. කටුක දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව ඇති මෙම ගස ඕස්ට්‍රේලියාවේ ගම්වැසියන් ඉතා අගය කොට සලකනවා. මෙහි ගෞරවය හිමි විය යුත්තේ එහි නිර්මාතෘටයි. බෝඇබ් ගස දකින කෙනෙකුට නම් එය නිර්මාණය කළ දෙවි හාස්‍යයට කැමති දෙවි කෙනෙක් බව මනාව පැහැදිලි වෙයි.

[17වන පිටුවේ පින්තූරය]

රාත්‍රි කාලයේ පිපී පර වී යන මල්

[18වන පිටුවේ පින්තූරය]

කටුස්සෙක්ව චිත්‍රයට නඟා ඇති බෝඇබ් ඇටයක්