Skip to content

පටුනට යන්න

බැබිලෝනිය ගැන බයිබල් වාර්තාව

බැබිලෝනිය ගැන බයිබල් වාර්තාව

බැබිලෝනිය ගැන බයිබල් වාර්තාව

බයිබල් ඉතිහාසයේ තිබූ විවිධ ලෝක අධිරාජ්‍යයන් හතෙන්, මෙහි කතා කරන්නේ තුන්වෙනි අධිරාජ්‍යය ගැනයි. මෙම එක් එක් අධිරාජ්‍යය ගැන සාකච්ඡා කරන ලිපි මාලාවේ අරමුණ වන්නේ, බයිබලය දෙවිගෙන් ලැබුණු විශ්වසනීය පොතක් බව පෙන්වීම හා මිනිසුන්ගේ අනිසි පාලනය නිසා ඇති වී තිබෙන දුක් වේදනා අවසන් වන බවට බලාපොරොත්තුවක් අප තුළ ඇති කිරීමයි.

පුරාණයේදී බැබිලෝනිය ඉතාමත් තේජාන්විත නගරයක්. එහි තිබුණු දැවැන්ත දේවාල, අලංකාර එල්ලෙන උයන් හා විශාල කුලුනු එහි තේජාන්විත බව මනාවට කියාපෑවා. නගරය වටාම ඉදි කර තිබූ දැවැන්ත පවුරු හා විශාල දිය අගල එයට කදිම ආරක්ෂකයෙක් වුණා. අද මෙම නගරය පිහිටා තිබෙන්නේ ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ සිට කිලෝමීටර් 80ක් පමණ දුරකිනුයි.

බයිබලයේ සඳහන් වන ඉතිහාසයට අනුව තුන්වන අධිරාජ්‍යය වුණේ බැබිලෝනියයි. බයිබලයේ එය “සියලු රාජ්‍යයන්වල රැජින” ලෙස හඳුන්වනවා. (යෙසායා 47:5) මෙම අධිරාජ්‍යය ගැන බයිබලයේ පවසන දේ ඉතිහාසයෙන් සොයාගෙන තිබෙන දේවලට එකඟද? දැන් අපි ඒ ගැන සලකා බලමු.

විශ්වාස කළ හැකි තොරතුරු

බැබිලෝනියේ සිටි එක් රජෙකුගේ නම බෙල්ෂසර් බව බයිබලයේ සඳහන් වෙනවා. (දානියෙල් 5:1) නමුත් කාලයක් පුරා විද්වතුන් පැවසුවේ බෙල්ෂසර් ලෙස රාජ්‍ය නිලධාරියෙක් සිටියත් ඔහු රජ කෙනෙකු නොවූ බවයි. එසේනම් බයිබලයේ සඳහන් දෙය වැරදිද? මෙසපොතේමියාවේ ඌර් නගරයේ කළ කැණීම්වලින් පුරාවිද්‍යාඥයන් සිලිණ්ඩරාකාර මැටි පුවරු බොහොමයක් සොයාගෙන තිබෙනවා. ඉන් එක් පුවරුවක නැබොනිඩස් රජ තම “වැඩිමහල් පුතා වන බෙල්-සාර්-උස්සුර්” හෙවත් බෙල්ෂසර් වෙනුවෙන් කළ යාතිකාවක් සඳහන් වුණා. “පියා රජ වී සිටි සමය තුළ වැඩි කාලයක් පාලනය කළේ බෙල්ෂසර්” බව පසු කාලයේදී සොයාගත්තා කියා එක් පොතක සඳහන් වුණා.—New Bible Dictionary.

එක් අවස්ථාවක බැබිලෝනියේ රජ ‘සතෙකුගේ අක්මාව මගින් නිමිති බලුවා’ කියා බයිබලයේ වාර්තා වෙනවා. (එසකියෙල් 21:21) ඇත්තටම මෙම වාර්තාව නිවැරදිද? පුරා විද්‍යාඥයන් එක් ස්ථානයකින් පමණක් “[මැටිවලින් සෑදූ] අක්මාවල ආකෘති 32ක් සොයාගත්” බවත් ඒ සෑම එකකම සුබ අසුබ නිමිති කොටා තිබුණු බවත් පොතක සඳහන් වුණා. එමෙන්ම ඉතිහාස වාර්තාවල පෙන්නුම් කරන්නේ බැබිලෝනිවරුන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රය හා සම්බන්ධ ක්‍රියාවල බහුල ලෙස යෙදුණු බවයි.—එම පොත Mesopotamian Astrology.

ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයෙක් වන නෙල්සන් ග්ලුවෙක් මෙසේ පැවසුවා. “මම අවුරුදු 30ක් පුරා මේ වෘත්තියේ යෙදෙනවා. මම සොයාගෙන තියෙන තොරතුරු බයිබලයේ සඳහන් වන තොරතුරු එක්ක සන්සන්දනය කරනකොට මම දැක්කේ ඉතිහාසය ගැන බයිබලයේ සඳහන් සෑම දෙයක්ම ඉතා නිවැරදි බවයි.”

“මම අවුරුදු 30ක් පුරා මේ වෘත්තියේ යෙදෙනවා. මම දැක්කේ ඉතිහාසය ගැන බයිබලයේ සඳහන් සෑම දෙයක්ම ඉතා නිවැරදි බවයි.”—පුරාවිද්‍යාඥ නෙල්සන් ග්ලුවෙක්

විශ්වාස කළ හැකි අනාවැකි

බීජිං, මොස්කව් හා වොෂිංටන් වැනි දියුණු නගරයක් කිසිම කෙනෙක් ජීවත් නොවන පාළු තැනක් වෙනවා කියා යම් කෙනෙක් පැවසුවොත් ඔබට එය පිළිගන්න පුළුවන්ද? සමහරවිට ඔබ එය විශ්වාස කරන එකක් නැහැ. බැබිලෝනි නගරය සම්බන්ධයෙන්ද සිදු වුණේ ඒ හා සමාන දෙයක්. ක්‍රිස්තු පූර්ව 732දී එනම් බැබිලෝනියේ විනාශයට වසර 200කට පෙර යෙහෝවා දෙවි තම අනාගතවක්තෘවරයෙකු වූ යෙසායා මාර්ගයෙන් තේජාන්විත බැබිලෝනිය ගැන මෙවැනි අනාවැකියක් පැවසුවා. ‘අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ, බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව යන නුවරවලට සිදු කළ දේමයි. නැවත කෙදිනකවත් කිසි කෙනෙකුට බැබිලෝනියේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.’—යෙසායා 13:19, 20.

එවැනි විනාශයක් දෙවි නියම කළේ ඇයි? ඊට හේතුව ක්‍රි.පූ. 607දී බැබිලෝනි හමුදාව යෙරුසලම විනාශ කර එහි වැසියන්ව වහලුන් ලෙස ගෙන ගොස් ඔවුන්ට ඉතා කෲර ලෙස සැලකූ නිසයි. (ගීතාවලිය 137:8, 9) ඊශ්‍රායෙල්වරුන් කළ වැරදි ක්‍රියා නිසා වසර 70ක් මේ ආකාරයට ඔවුන් දුක් විඳින බවත් ඉන්පසු නැවතත් ඔවුන්ගේ මව්බිමට පැමිණෙන බවත් දෙවි පොරොන්දු වුණා.—යෙරෙමියා 25:11; 29:10.

දෙවි පැවසූ ආකාරයටම ක්‍රි.පූ. 539දී බලවත් මේදීය හා පර්සියානු හමුදාවන් බැබිලෝනිය පරාජයට පත් කළා. පසුව ඊශ්‍රායෙල්වරුන්ටද නැවත තම මව්බිමට පැමිණීමට අවස්ථාව ලැබුණු අතර කාලයත් සමඟ තේජාන්විත බැබිලෝනිය නටබුන් ගොඩක් බවට පත් වුණා. එතරම් නිවැරදිව අනාවැකි පැවසීමේ හැකියාව තිබෙන්නේ බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවිට පමණයි.—යෙසායා 46:9, 10.

විශ්වාස කළ හැකි බලාපොරොත්තුවක්

මේ කාලයේදී ඉටු වීමට නියමිත තවත් අනාවැකියක් තිබෙනවා. එය නම් නෙබුකද්නෙෂර් රජ දුටු විශාල මිනිස් රූපයක සිහිනයයි. එම රූපයේ හිස සිට දෙපතුල් දක්වා කොටස් පහකට බෙදී තිබුණ අතර ඒ එක් එක් කොටස් සෑදී තිබුණේ විවිධ ලෝහවලිනුයි. (දානියෙල් 2:31-33) ඒ ලෝහවලින් නියෝජනය වුණේ බැබිලෝනියේ සිට එංගලන්ත ඇමරිකානු අධිරාජ්‍යය දක්වා පිළිවෙළින් බලයට පැමිණි ලෝක අධිරාජ්‍යයනුයි.—දානියෙල් 2:36-41.

එම රූපයේ පාද සෑදී තිබුණේ මැටි මිශ්‍ර යකඩවලිනුයි. නෙබුකද්නෙෂර් රජට අනාගතවක්තෘවරයෙක් වූ දානියෙල් ඒ ගැන මෙසේ විස්තර කළා. “යකඩ සමඟ මැටි කලවම් වී තිබෙන නිසා එම රාජ්‍යයට සාමාන්‍ය ජනයාද සම්බන්ධයි. නමුත් යකඩ සමඟ මැටි මිශ්‍ර නොවන්නාක් මෙන් ඒ රාජ්‍යය තුළ කිසි එකමුතුකමක් නොතිබෙයි.” (දානියෙල් 2:43) අද පවතින බෙදුණු රාජ්‍යයන්ට එය මොන තරම් හොඳින් ගැළපෙනවාද!

ඒ විශාල රූපයට සිදු වුණේ කුමක්ද? “අතින් නොකැපූ ගලක් වේගයෙන් ඇවිත් යකඩවලින් හා මැටිවලින් සෑදී තිබුණු ඒ රූපයේ පාද සුනුවිසුනු කර” දමනවා නෙබුකද්නෙෂර් රජ දුටුවා. (දානියෙල් 2:34) දානියෙල් එය මෙලෙස තේරුම් කළා. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.” (දානියෙල් 2:44) එම අනාවැකියෙන් පෙන්නුම් කරන්නේ අනාගතයේදී දෙවිගේ රාජ්‍යය මගින් ඉටු වන දෙයයි. එම රාජ්‍යයේ රජු වන්නේ යේසුස් ක්‍රිස්තුස්. ඔහු සාතන්වත් සාතන්ගේ පැත්ත ගන්නා සියලුදෙනාවත් විනාශ කර මුළු පොළොව පුරාම සාමය ඇති කරනවා.—1 කොරින්ති 15:25.