Skip to content

පටුනට යන්න

දැවැන්ත ආර්ථික අර්බුදයක්!

දැවැන්ත ආර්ථික අර්බුදයක්!

දැවැන්ත ආර්ථික අර්බුදයක්!

මෑත කාලයේදී ලෝකයේ රටවල් බොහොමයකට බලපෑ ආර්ථික බිඳ වැටීම ආරම්භ වුණේ 2007දී එක්සත් ජනපදයෙනුයි. එතැනින් පටන්ගත් මෙම ප්‍රශ්නය ටිකෙන් ටික ලොව පුරාම දරුණු වසංගතයක් මෙන් පැතිර ගියා. එක් විශ්වකෝෂයක සඳහන් වුණේ “මෑත දශකවල සිදු වූ දැවැන්තම ආර්ථික බිඳ වැටීම” මෙය බවයි.—Encyclopædia Britannica Online.

එසේ වීමට හේතු වුණේ “දුරදිග නොබලා ණයට ගැනීම” කියා නිව්ස්වීක් සඟරාවේ සඳහන් වුණා. නමුත් ප්‍රශ්නය වන්නේ ‘ණය ගෙවීමට නොහැකි නම් ණය වන්නේ ඇයි’ යන්නයි.

අද ලෝක ආර්ථික ක්‍රමය මිනිසුන්ව දිරිගන්වන්නේ ‘අතේ සතේ නැතත් හිතේ හැටියට බඩු ගන්න’ කියායි. එක් ආර්ථික විද්‍යාඥයෙක් වන ක්‍රිස් ෆැරල් මෙසේ පැවසුවා. “ප්‍රමාණය ඉක්මවා ණයට ගැනීමේ අනිසි ප්‍රතිඵලවලට අද සෑම කෙනෙකුටම මුහුණ දීමට සිදු වෙලා.”

දකුණු අප්‍රිකාවේ මිනිසුන් මුහුණ දෙන තත්වය ගැන එහි එක් පුවත්පතක මුල් පිටුවේ මෙවැනි දෙයක් සඳහන් වුණා. ‘ආර්ථික දියුණුව ගැන කතා කළත් දිනෙන් දින සිදු වන්නේ ආර්ථික පරිහානියයි. ලක්ෂ 30කට අධික සංඛ්‍යාවකට, තමන්ට ලැබෙන මුදල් ආහාරවලටවත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඔවුන්ට බිල්පත් පවා ගෙවීමට නොහැකි වී තිබෙනවා. ඊට අමතරව පසුගිය වසර දෙක ඇතුළතදී 2,50,000කට පමණ රැකියා අහිමි වී තිබෙනවා.’ අප්‍රිකාවේ පමණක් නොව තවත් සමහර රටවල මිලියන ගණන්දෙනාට තම රැකියා අහිමි වී තිබෙනවා.—එම පුවත්පත Sunday Times.

එක්සත් ජනපදයේ එක් පුවත්පතක සඳහන් වුණේ “ආර්ථිකය බිඳ වැටීමෙන් ගොඩ ඒමට 2009 ජූනි මාසයේ සිට දරූ ප්‍රයත්නයන්ගෙන් කිසිම ප්‍රයෝජනයක් නොලැබුණු” බවයි. එහි තවදුරටත් මෙසේද සඳහන් වුණා. “ණය ගෙවීමට සම්පූර්ණ අවධානය දීමට සිදු වී තිබෙන නිසා නැවත ආර්ථිකය ගොඩනැඟීමට තව වසර ගණනාවක් ගත වෙයි කියා ආර්ථික විද්‍යාඥයන් පවසනවා.”—Financial Times.

තවත් කර්තෘවරයෙක් මෙසේද සඳහන් කළා. “ලෝකයේ තිබෙන ආර්ථික අර්බුදය ගැන බොහෝ අය සාකච්ඡා කළත් තවමත් මේ ප්‍රශ්නයට හරි හැටි පිළිතුරක් සොයාගෙන නැහැ.”

ලොව පුරා මෙවැනි තත්වයක් තිබෙන නිසා මුදල් නිසි ලෙස පරිහරණය කරන්නේ කෙසේද යන්න අද බොහෝදෙනෙකුට ගැටලුවක් වී තිබෙනවා. මෙම සඟරාවේ ඉදිරි ලිපිවල සාකච්ඡා කරන්නේ ඒ ගැනයි. එනම් මුදල් ඉතිරි කිරීම, ණය වීමෙන් වැළකීම සහ අරපිරිමැස්මෙන් යුතුව මුදල් පරිහරණය කිරීම ගැනයි.