Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

අනාචාරය

අනාචාරය

විවාහක යුවළක් එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න ඕනේ කියලා පොදුවේ පිළිගත්තත් අනාචාරය කියන උගුලට හසු වීම නිසා අද හුඟක් අයගේ විවාහයන් දෙකඩ වෙනවා.

අනාචාරය කියන්නේ මොකක්ද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පවත්වන එකේ වරදක් නැහැ කියලා සමහරු හිතනවා. විශේෂයෙන්ම පිරිමි එහෙම කළාට වරදක් නැහැ කියලා හිතනවා. තවත් අය හිතන්නේ හැමදාම එක් කෙනෙක් එක්කම ජීවත් වෙන්න ඕනේ නැහැ කියලයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

සාමාන්‍යයෙන් අනාචාරය කියන වචනයෙන් අදහස් කරන්නේ තමන්ගේ බිරිඳ හෝ සැමියා නොවන කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමයි. (යෝබ් 24:15; හිතෝපදේශ 30:20) දෙවියන් එවැනි අයව පිළිකුල් කරනවා. ඒ නිසා ඒ වගේ අයව ගල් ගහලා මරන්න කියලා අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් අණ කළා. (ලෙවී කතාව 18:20, 22, 29) යේසුස් පවා ඔහුගේ අනුගාමිකයන්ට අනාචාරයෙන් වළකින්න කියලා උපදෙස් දුන්නා.—මතෙව් 5:27, 28; ලූක් 18:18-20.

පිළිතුර දැනගැනීමේ වැදගත්කම.

විවාහ වූ දා තම සහකරුට හෝ සහකාරියට දුන්න පොරොන්දුව, අනාචාරයේ යෙදෙන කෙනෙක් කඩ කරනවා. ඒ වගේම ‘දෙවියන්ට විරුද්ධවත් පව් කරනවා.’ (උත්පත්ති 39:7-9) ඒ විතරක් නෙමෙයි පවුල් දෙකඩ වෙන නිසා දරුවන් සීසීකඩ යනවා. ‘අනාචාරයේ යෙදෙන සියලුදෙනාවම දෙවියන් විනිශ්චය’ කරනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා.—හෙබ්‍රෙව් 13:4.

“විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි.”හෙබ්‍රෙව් 13:4.

අනාචාරයේ යෙදුණු කෙනෙක්ව දික්කසාද කරන්න පුළුවන්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

තම බිරිඳ හෝ සැමියා අනාචාරයේ යෙදුණොත් ඔහුව හෝ ඇයව දික්කසාද කරන්න බයිබලයේ අවසර දීලා තියෙනවා. (මතෙව් 19:9) හැබැයි දික්කසාද නොවී දිගටම ජීවත් වෙනවාද නැද්ද කියන තීරණය තියෙන්නේ වරද නොකරපු කෙනාගෙ අතෙයි. ඒක එයාගේ පෞද්ගලික තීරණයක්.—ගලාති 6:5.

විවාහය දිවි ඇති තුරා රැකගන්න ඕන දෙයක් විදිහටයි දෙවියන් දකින්නේ. (1 කොරින්ති 7:39) ඒ නිසා සැමියාගේ හෝ බිරිඳගේ පුංචි පුංචි අඩුපාඩුකම් නිසා දික්කසාද කරන එක දෙවියන් කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. දික්කසාදය සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—මලාකි 2:16; මතෙව් 19:3-6.

“මා ඔබට කියන්නේ, වේශ්‍යාකමේ යෙදීම නිසා මිස අන් හේතුවක් නිසා තම බිරිඳව දික්කසාද කරන සෑම කෙනෙක්ම, ඇයව අනාචාරයට පොලඹවන බවයි.”මතෙව් 5:32.

අනාචාරයේ යෙදීම සමාව නොලැබෙන වරදක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

තමන් කරපු වැරදි ගැන පසුතැවෙන අයට දෙවියන් සමාව දෙනවා. අනාචාරයේ යෙදුණු කෙනෙක්ට වුණත් දෙවියන්ගේ දයාව ලබාගන්න පුළුවන්. (ක්‍රියා 3:19; ගලාති 5:19-21) අනාචාර ජීවිතය අත්හැරලා දෙවියන්ගේ දයාව ලබාගත්ත අය ගැන බයිබලයේ සඳහන් වෙනවා.—1 කොරින්ති 6:9-11.

අතීත ඊශ්‍රායෙලයේ හිටිය දාවිත් රජත් ඒ වගේ කෙනෙක්. තමන්ගේ හමුදාවේ හිටිය නිලධාරියෙක්ගේ භාර්යාව සමඟ ඔහු අනාචාරයේ යෙදුණා. (2 සාමුවෙල් 11:2-4) “දාවිත් කළ දේ යෙහෝවා දෙවි සැලකුවේ ඉතා දුෂ්ට ක්‍රියාවක්” හැටියටයි. (2 සාමුවෙල් 11:27) ඒත් දාවිත්ට හික්මවීමක් ලැබුණාම ඔහු ඒක පිළිගෙන පසුතැවිලි වුණ නිසා දෙවියන් ඔහුට සමාව දුන්නා. හැබැයි ඔහු කළ වරදේ ප්‍රතිඵල නම් ඔහුට විඳින්න සිද්ධ වුණා. (2 සාමුවෙල් 12:13, 14) පසු කාලයකදී ප්‍රඥාවන්ත සලමොන් රජ මෙහෙම කිව්වා. “වෙනත් පුරුෂයෙකුගේ බිරිඳ සමඟ අනාචාරයේ යෙදෙන තැනැත්තා අඥානයෙකි.”—හිතෝපදේශ 6:32.

ඔබට කළ හැකි දේ.

ඔයාගේ අතින් ඒ වගේ වැරැද්දක් වෙලා තියෙනවා නම් දෙවියන්ගෙන් හා ඔයාගේ බිරිඳගෙන් හෝ සැමියාගෙන් සමාව ඉල්ලන්න. (ගීතාවලිය 51:1-5) දෙවියන් වගේ ඔයාත් අනාචාරය පිළිකුල් කරන්න. (ගීතාවලිය 97:10) වෙන කෙනෙක් ගැන ලිංගික හැඟීම් ඇති වෙන්න පුළුවන් හැම දෙයකින්ම වළකින්න. ඒ කියන්නේ අසභ්‍ය දර්ශන බැලීම, ලිංගික ක්‍රියා ගැන සිතීම, අනිත් අය තුළ වැරදි පෙලඹීමක් ඇති වන විදිහට හැසිරීම වගේ දේවල්වලින් වළකින්න.—මතෙව් 5:27, 28; යාකොබ් 1:14, 15.

ඔයා, සැමියා හෝ බිරිඳ ද්‍රෝහි වුණු නිසා දුක් විඳින කෙනෙක්ද? සමාව දීලා දිගටම ඔහු හෝ ඇය එක්ක ජීවත් වෙන්න තීරණය කරනවා නම් ආයෙත් බැඳීම ශක්තිමත් කරගන්න දෙන්නටම ලොකු වෑයමක් දරන්න වෙයි. (එෆීස 4:32) හැබැයි ඔයාගේ හැඟීම් දෙවියන්ට තේරෙනවා කියලා අමතක කරන්න එපා. (මලාකි 2:13, 14) ඔයා දෙවියන්ගෙන් සහනය හා මඟ පෙන්වීම් පතනවා නම් දෙවියන් ඔයාව “ශක්තිමත් කරයි.”—ගීතාවලිය 55:22.

දාවිත් වැරැද්ද ගැන පසුතැවිලි වුණාම අනාගතවක්තෘ නාතන් දාවිත්ට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි ඔබේ පාපයට සමාව දෙනවා.”2 සාමුවෙල් 12:13.