Skip to content

පටුනට යන්න

අන් අයට සැලකිය යුතු ආකාරය

අන් අයට සැලකිය යුතු ආකාරය

යේසුස්ගෙන් ඉගෙනගනිමු

අන් අයට සැලකිය යුතු ආකාරය

කරුණාවන්ත විය යුත්තේ ඇයි?

ඔබට අකාරුණික ලෙස සලකන අයට පවා ඔබ කරුණාව දක්වනවාද? යේසුස්ව ආදර්ශයට ගන්න අපි කැමති නම් අපිට අකාරුණිකව සලකන අයටත් අපි කරුණාව දැක්විය යුතුයි. ඒ සම්බන්ධයෙන් යේසුස් පැවසුවේ මෙසේයි. ‘ඔබට ප්‍රේම කරන අයටම ඔබ ප්‍රේම කරනවා නම්, එයින් ඔබට කුමන ප්‍රශංසාවක්ද? මන්ද, පව්කාරයෝ පවා තමුන්ට ප්‍රේම කරන අයට ප්‍රේම කරති. නමුත් ඔබ නොකඩවා ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. තවද ඔබ මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මන්ද, ස්තුතිවන්ත නොවන්නන්ටද දුෂ්ටයන්ටද ඔහු කාරුණිකය.’—ලූක් 6:32-36; 10:25-37.

සමාව දිය යුත්තේ ඇයි?

අපේ වැරදිවලට දෙවි සමාව දෙනවාට අපි කැමතියි. යේසුස් අපට ඉගැන්වූයේ සමාව ඉල්ලා යාච්ඤා කරන්න කියායි. (මතෙව් 6:12) කොහොමවුණත් දෙවි අපට සමාව දෙන්නේ අපත් අන් අයගේ වැරදිවලට සමාව දෙනවා නම් පමණයි කියා යේසුස් පැවසුවා. “ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වැරදිවලට සමාව දෙනවා නම්, ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ද ඔබට සමාව දෙනවා ඇත. නමුත් ඔබ මිනිසුන්ගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම්, ඔබේ වැරදිවලටද ඔබේ පියාණන් සමාව දෙන්නේ නැත.”—මතෙව් 6:14, 15.

පවුල් ජීවිතය සන්තෝෂයෙන් ගත කළ හැක්කේ කෙසේද?

යේසුස් විවාහකයෙක් නොවුණත් සතුටින් පවුල් ජීවිතය ගත කළ හැකි ආකාරය ගැන අපට ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙනගත හැකියි. මේ සඳහා යේසුස් ඉගැන්වූ දේවල් හා ඔහු ක්‍රියා කළ ආකාරය සලකා බැලීම වැදගත්. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු තුන සලකා බලන්න.

1. ස්වාමිපුරුෂයෙක් තමන්ට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතුයි. යේසුස් ස්වාමිපුරුෂයන් සඳහා වටිනා ආදර්ශයක් තැබුවා. ඔහු තම ගෝලයන්ට පැවසුවේ “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න” කියායි. (යොහන් 13:34) එම ප්‍රතිපත්තිය ස්වාමිපුරුෂයන්ට අදාළ කරගත හැකි ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ස්වාමිපුරුෂයෙනි, ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්නාක් මෙන්, ඔබත් ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. එසේම ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය. තම භාර්යාවට ප්‍රේම කරන්නා තමාටම ප්‍රේම කරන්නේය. මන්ද, කිසි මිනිසෙක් කිසිදාක තමාගේම මාංසයට වෛර කළේ නැත. ඒ වෙනුවට, ක්‍රිස්තුස් සභාවට සලකන්නාක් මෙන් ඔහු එය පෝෂණය කර ඉතා ආදරයෙන් රැකබලා ගනියි.”—එෆීස 5:25, 28, 29.

2. විවාහ යුවළක් එකිනෙකාට විශ්වාසවන්ත විය යුතුයි. විවාහයෙන් පිට අනියම් සබඳතා පැවැත්වීම දෙවි හෙළා දකිනවා. එමගින් පවුල් ජීවිත දෙකඩ වී යනවා. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය කියාද, ඒ දෙදෙනා එක මාංසයක් වන්නෝය කියාද පැවසූ බවත් ඔබ කියවා නැද්ද? මෙසේ ඔවුහු එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා. වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න කවරෙක් නමුත් පරදාර සේවනයේ යෙදෙන්නේය.”—මතෙව් 19:4-9.

3. දරුවන් දෙමව්පියන්ට කීකරු විය යුතුයි. යේසුස් තමාව හදා වඩා ගත් දෙමව්පියන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණත් ඔහු තමන්ගේ දෙමව්පියන්ට කීකරුව සිටියා. අවුරුදු 12දී යේසුස් කටයුතු කළ ආකාරය ගැන බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “ඔහු ඔවුන් [දෙමව්පියන්] සමඟ ගොස් නාසරෙත්ට බැස ඇවිත්, ඔවුන්ට යටත්ව සිටියේය.”—ලූක් 2:51; එෆීස 6:1-3.

එම ප්‍රතිපත්ති අප අදාළ කරගත යුත්තේ ඇයි?

තමා ඉගැන්වූ දේවල් පිළිපැදීමේ ඇති වටිනාකම ගැන යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා. “ඔබ මේ දේවල් දන්නේ නම්, ඒවා පවත්වනවා නම් ඔබ සන්තෝෂවත්ය.” (යොහන් 13:17) සැබෑ ක්‍රිස්තියානියෙක් වීමට නම් අන් අයට සැලකිය යුතු ආකාරය ගැන යේසුස් දුන් ආඥාවන් අප පිළිපැදිය යුතුයි. ඔහු පැවසුවේ “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” කියායි.—යොහන් 13:35.

වැඩි විස්තර සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නම් පොතේ 14වෙනි පරිච්ඡේදය බලන්න. *

[පාදසටහන]

^ 14 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[16, 17වන පිටුවේ පින්තූරය]

නාස්තිකාර පුත්‍රයා ගැන යේසුස් පැවසූ උපමාවේ කරුණාව පෙන්වීමේ හා සමාව දීමේ ඇති වැදගත්කම කාවද්දනවා.—ලූක් 15:11-32

[17වන පිටුවේ පින්තූරය]

විවාහ යුවළක් එකිනෙකාට විශ්වාසවන්ත විය යුතුයි