Skip to content

පටුනට යන්න

දෙවිට දුක දැනෙනවාද?

දෙවිට දුක දැනෙනවාද?

දෙවිට ළං වෙන්න

දෙවිට දුක දැනෙනවාද?

විනිශ්චයකරුවෝ 2:11-18

මිනිසුන් හැටියට අපි සියලුදෙනාම දුක් වෙන අවස්ථාවන් තිබෙනවා. උදාහරණයකට අපේ අතින් වරදක් සිදු වූ විට අපි ඒ ගැන දුක් වෙනවා. බයිබලයේ සඳහන් වෙන ආකාරයට යෙහෝවා දෙවිටත් දුක දැනෙනවා. නමුත් දෙවි මිනිසුන්ට වඩා උසස් කෙනෙක් නිසාත් ඔහු කවදාවත් වැරදි නොකරන නිසාත් ඔහුට දුකක් දැනෙන්නේ කොහොමද කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. එයට පිළිතුර සලකා බැලීමෙන් අපට වැදගත් කාරණයක් ඉගෙනගත හැකියි. එනම් අපි කටයුතු කරන ආකාරය නිසා සමහරවිට දෙවිට දුකක් හෝ සතුටක් ඇති වීමට ඉඩ තිබෙන බවයි. එය තවත් හොඳින් තේරුම්ගැනීමට බයිබලයේ විනිශ්චයකරුවෝ පොතේ 2:11-18 දක්වා තොරතුරු සලකා බලමු.

කාලයක් පුරා ඊශ්‍රායෙල්වරුන් අතර පැවති නොසන්සුන්කාරී වාතාවරණය එහි මනාව විස්තර කර තිබෙනවා. ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් සිටියේ කානාන් දේශයේයි. බොහෝ අවස්ථාවලදී ඔවුන් දෙවිට අකීකරු වුණා. ඒ නිසා දෙවි ඔවුන්ට දඬුවම් කළා. නමුත් ඒ දඬුවම දරන්න නොහැකි වූ විට ඔවුන් දෙවිට කන්නලව් කළා. එවිට දෙවි ඔවුන්ට සමාව දී ඔවුන්ව ගලවාගත්තා. * සියවස් ගණනාවක් පුරා ඊශ්‍රායෙල් ජාතිය නැවත නැවතත් මෙය අද්දැක්කා.

අකීකරු වීම. ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවාගත්තේ යෙහෝවා දෙවියි. ඒ වුණත් ඊශ්‍රායෙල්වරුන් කානානිවරුන්ගේ ඇසුරට වැටුණු පසු “යෙහෝවා දෙවිව අත්හැර” කානානිවරුන්ගේ “බාල් හා අෂ්ටොරෙත් යන දෙවි දේවතාවන්ගේ රූපවලට නමස්කාර” කිරීමට පටන්ගත්තා. * ඒ ගැන යෙහෝවා දෙවි උදහස් වීම පුදුමයක් නොවෙයි.—විනිශ්චයකරුවෝ 2:1, 11-13.

දඬුවම් ලැබීම. ඊශ්‍රායෙල්වරුන්ගේ අකීකරු ක්‍රියා පිළිවෙත නිසා ඔවුන්ට යෙහෝවා දෙවිගේ රැකවරණය අහිමි වුණා. ඒ නිසා ‘ඔවුන්ව යටත් කරගැනීමට අවට ජාතීන්ට දෙවි ඉඩහැරියා.’ ඒ ජාතීන් ඊශ්‍රායෙල්වරුන්ව මුළුමනින්ම කොල්ල කෑවා.—විනිශ්චයකරුවෝ 2:14.

කන්නලව් කිරීම. සතුරු ජාතීන්ගේ පීඩාවලට මැදි වූ ඊශ්‍රායෙල්වරුන් තම වැරදිවලට සමාව ඉල්ලා දෙවිට කන්නලව් කළා. (විනිශ්චයකරුවෝ 2:18) ඊශ්‍රායෙල්වරුන් එලෙස තම වැරදිවලට සමාව ඉල්ලා දෙවිට කන්නලව් කළ අවස්ථා කිහිපයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (විනිශ්චයකරුවෝ 3:9, 15; 4:3; 6:6, 7; 10:10) ඔවුන්ගේ කන්නලව්වට දෙවි ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

ගලවාගැනීම. ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිට කන්නලව් කළ විට “දෙවිට ඔවුන් ගැන මහත් දුකක්” ඇති වූ බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට දඬුවම් කිරීමට ගෙන තිබූ තීරණය දෙවි වෙනස් කර ඔවුන්ව ගලවාගත්තා. ඔහු එය කළේ සතුරන් අතින් ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගැනීමට විනිශ්චයකරුවන්ව පත් කිරීමෙනුයි.—විනිශ්චයකරුවෝ 2:18.

යෙහෝවා දෙවිට ඊශ්‍රායෙල්වරුන් ගැන දුකක් ඇති වුණේ ඇයි? එමෙන්ම ඔවුන්ට දඬුවම් කිරීමට ගෙන තිබූ තීරණය ඔහු වෙනස් කළේ ඇයි? ඔහු එසේ කළේ ඊශ්‍රායෙල්වරුන් තම වැරදි ගැන පසුතැවිලි වී ඔවුන්ගේ ආකල්ප වෙනස් කරගත් නිසයි. එය තේරුම්ගැනීමට මේ උදාහරණය ගැන සිතන්න. දරුවෙක් වරදක් කළ විට ඔහුගේ පියා දඬුවමක් ලෙස ඒ දරුවා කැමති දෙයක් නොදී සිටීමට තීරණය කළ හැකියි. නමුත් ඒ දරුවා වරද පිළිගෙන පසුතැවිලි වූ විට පියා තම තීරණය වෙනස් කරමින් දරුවා කැමති දෙය ලබා දීමට එකඟ විය හැකියි. යෙහෝවා දෙවිත් කළේ ඒ හා සමාන දෙයක්.

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ කටයුතු කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? දිගින් දිගටම වැරදි කරන අයට යෙහෝවා දෙවි දඬුවම් කරන බවත් වැරදි හදාගන්නා අයට දෙවි සමාව දෙන බවත් අපට ඉන් පැහැදිලි වෙනවා. ඊට අමතරව අපි කරන කියන දේවලින් යෙහෝවා දෙවිට දුකක් ඇති විය හැකි බවත් අප අමතක නොකළ යුතුයි. අපි නිතරම උත්සාහ කළ යුත්තේ යෙහෝවා දෙවිගේ ‘සිත සතුටු කරන’ අයුරින් ජීවත් වීමටයි. (හිතෝපදේශ 27:11) එසේ කළොත් අපට කිසිදාක දුක් වීමට හේතුවක් නැහැ.

[පාදසටහන්වල]

^ 5 ඡේ. විනිශ්චයකරුවෝ 2:11-18 දක්වා ඡේදවල ඊශ්‍රායෙල්වරුන් අතර දකින්න ලැබූ එම තත්වය පිළිබඳ හැඳින්වීමක් කර තිබෙනවා.

^ 6 ඡේ. බාල් කියා හඳුන්වන්නේ කානානිවරුන් නමස්කාර කළ ප්‍රධාන දෙවියාවයි. ඔහුගේ බිරිඳ ලෙස සැලකෙන්නේ අෂ්ටොරෙත් නම් දේවතාවියයි.