Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජනප්‍රිය ගායිකාවක් දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න තීරණය කළේ ඇයි? අපරාධකරුවෙක් ලෙස නම් දැරූ කෙනෙක් සමාජයට වැඩදායී පුද්ගලයෙක් වීමට පෙලඹුණේ ඇයි? ඒ ගැන ඔවුන්ම පවසන දේවල් සලකා බලන්න.

“ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ.”—ආන්ටොලිනා ඕඩෙන් කාස්ටියො

උපත ලැබූ වසර: 1962

රට: ස්පාඤ්ඤය

අතීතයේදී: නිළියක් හා ගායිකාවක්

මගේ අතීතය: මම ඉපදුණේ ට්‍රෙස්ජන්කොස් නම් කුඩා ගම්මානයෙයි. මගේ පවුලේ අය ගොවිතැන් කටයුතුවල නියැලුණා. මගේ අම්මා කතෝලික භක්තිකයෙක්. තාත්තා රෙපරමාදු භක්තිකයෙක්. හුඟක් වෙලාවට තාත්තා බයිබලය කියෙව්වා. ඒ වගේම බයිබලයට ගරු කරන්න කියලත් මට කිව්වා. හැබැයි අම්මා මාව හැම ඉරිදාවකම පූජාවට එක්කගෙන ගියා. ඒ නිසා මම හැදී වැඩුණේ කතෝලිකයෙක් විදිහටයි.

වයස අවුරුදු 15දී මම මැඩ්රිඩ්වල හිටිය මගේ අක්කා ළඟට ගියා. මුලදී අම්මයි තාත්තයි නැති පාළුව මට තදින්ම දැනුණත් පස්සේ මම ඒ ජීවිතයට හුරු වුණා. වයස අවුරුදු 17දී මට ගායිකාවක් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ජීවිතය මම හුඟක් සතුටින් භුක්ති වින්දා. නිළියක් වෙන්නත් මට ලොකු ආශාවක් තිබුණා. ඒ නිසා ලේකම්වරියක් වෙන්න හිතාගෙන හැදෑරුව පාඨමාලාව නතර කරලා ගායිකාවක් ලෙස සමාගම් කීපයකම වැඩ කළා. ඒ කාලයේදී මගේ යාළුවෙක්ගේ සහෝදරයෙක් එක්ක මම ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්තා. මට හොඳ රැකියාවක්, මුදල් සහ ආදරය ලැබුණු නිසා මම හිටියේ හුඟක් සතුටින්.

මට සමාගම් කීපයක් එක්ක ස්පාඤ්ඤයේ විවිධ ප්‍රදේශවලටත් කොලොම්බියාව, කොස්ටාරිකා, ඉක්වදෝරය, වෙනිසියුලා වැනි රටවලටත් යන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම සංගීත කණ්ඩායම් කීපයකම ගායිකාවක් විදිහටත් වැඩ කළා. මම ප්‍රධාන ගායිකාව ලෙස වැඩ කළ එක සංගීත කණ්ඩායමක් හුඟක් ජනප්‍රිය වුණා.

මම වෘත්තියට ඇල්මක් දැක්වුවත් ඒ සාමාජිකයන්ගේ හැසිරීමට කැමති වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි පෙනුම ගැන වැඩියෙන් හිතුව නිසා අනවශ්‍ය විදිහට කෑම පාලනය කරන්නත් පටන්ගත්තා. අන්තිමේදී මම ඇනරෙක්සියා සහ බුලිමියා යන රෝගවලට ගොදුරු වුණා.

මගේ එකම පරමාර්ථය වුණේ නිළියක් වෙන්නයි. ඒ නිසා මම රංගන ශිල්පීන්ව පුහුණු කරන පාසැලකට ඇතුල් වුණා. එතනදී අපිට ඉගැන්නුවේ මොන චරිතයක් රඟපෑවත් ඒ චරිතය තමන්ගේම කරගෙන රඟපාන්න කියලයි. මම ඒ විදිහට කටයුතු කළා. හැබැයි මට තේරුණා එහෙම කරනකොට මම හැඟීම් දැනීම් නැති ආත්මාර්ථකාමි පුද්ගලයෙක් වෙලා කියලා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: හොඳ ගතිගුණ ඇති කරගන්න නම් වෑයමක් දරන්න ඕන කියලා මම දැනගෙන හිටියා. ඒත් ඒක කරන්නේ කොහොමද කියලා තේරුණේ නැහැ. ඒ හින්දා පුංචි කාලේදී මම ගිය පල්ලියේ පූජකයාව මුණගැහෙන්න ඕන කියලා මට හිතුණා. ඒ වෙන කොට දෙවිගේ නම යෙහෝවා කියලා මම දැනගෙන හිටිය නිසා ඒ නම කියලා යාච්ඤා කළා.

වැඩි කල් යන්න කලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියන් දෙන්නෙක් අපේ ගෙදරට ආවා. බයිබලයේ තියෙන දේවල් ගැන මම ඒ අය එක්ක සාකච්ඡා කළා. ඒ වගේම ඔවුන්ගේ ඉගැන්වීම් ගැනත් මම ප්‍රශ්න කළා. ඊටපස්සේ එස්ටේර් මට බයිබලයේ තියෙන දේවල් දිගටම ඉගැන්නුවා. එයා මා එක්ක කටයුතු කළේ හුඟක් ඉවසීමෙන්. එයාගේ පවුලේ අයත් මට ආදරෙන් සැලකුවා. සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වෙද්දී මට තේරුණා මම හොය හොය හිටිය සැබෑ ආගම මේක තමයි කියලා.

රංගන ශිල්පිණියක් විදිහට මම ලැබුව පුහුණුව අවසන් වුණ නිසා රඟපාන්න මට හුඟක් අවස්ථාවන් ලැබුණා. ප්‍රසිද්ධ රංගන ශාලාවක පැවැත්වූ නාට්‍යයක රඟපාන්නත් මට පුළුවන් වුණා. හැබැයි ජනප්‍රිය නිළියක් වෙන්න නම් මගේ මුළු ජීවිතයම ඒ වෙනුවෙන් කැප කරන්න වෙන බව මම තේරුම්ගත්තා. ඒ නිසා දෙවිට වැඩිපුර සේවය කරන්න පුළුවන් වෙන විදිහේ රැකියාවක් හොයාගන්න මම තීරණය කළා. ඒ තීරණය ගත්තේ බයිබලයේ සඳහන් මේ වදන්වල සත්‍යතාව අවබෝධ කරගත්ත නිසයි. “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. එසේම දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.” (මතෙව් 6:24) මගේ පෙම්වතා බයිබලයේ තියෙන ඉගැන්වීම් පිළිගත්තේ නැති නිසා අවුරුදු අටක් තිස්සේ තිබුණ අපේ සම්බන්ධය මම නතර කළා. හැබැයි ඒ කිසිම දෙයක් කරන්න මට ලේසි වුණේ නැහැ.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: දැන් මම අර්ධකාලීන රැකියාවක් කරනවා. මට පැවරිලා තියෙන්නේ විනෝදාත්මක දේවල් කරලා මහලු අයව පිනවන්නයි. ඒ නිසා අපේ ප්‍රදේශයේ ඉන්න අරාබි භාෂාව කතා කරන අයට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න වැඩි කාලයක් යොදවන්න මට දැන් පුළුවන්. අරාබි භාෂාව ඉගෙනගන්න හුඟක් මහන්සි වෙන්න සිද්ධ වුණත් දෙවි ගැන ඉගෙනගන්න ආශාවෙන් ඉන්න ඔවුන්ට බයිබලයේ තියෙන දේවල් කියලා දීමෙන් මම ලොකු සතුටක් අද්දකිනවා.

කලින් මගේ ජීවිතේට කිසිම අරමුණක් තිබුණේ නැහැ. හැබැයි දැන් මගේ ජීවිතේට අරමුණක් තියෙනවා. මට හිතෙන්නේ හොඳ ගතිගුණ වර්ධනය කරගෙන සතුටෙන් ඉන්න යෙහෝවා දෙවි මට ආශීර්වාද කරලා තියෙනවා කියලයි.

“විනිශ්චයකරු වැරදියි කියලා මම අද ඔප්පු කරලා තියෙනවා.”—පෝල් කෙවන් රූබෙරි

උපත ලැබූ වසර: 1954

රට: එංගලන්තය

අතීතයේදී: දරුණු අපරාධකරුවෙක්

මගේ අතීතය: මම ඉපදුණේ එංගලන්තයේ කාර්මික නගරයක් වන ඩඩ්ලිවලයි. පොඩි කාලේ ඉඳලා පොත් පත් කියවන්නත් ස්වභාව සෞන්දර්යය අගය කරන්නත් තාත්තා මාව පුරුදු කළා. හැබැයි තාත්තා හිතුවේ හැම දෙයක්ම පරිණාමයෙන් බිහි වුණා කියලයි. ඒ නිසයි දෙවි කෙනෙක් නැහැ කියලා තාත්තා මට ඉගැන්නුවේ. කොහොමවුණත් අම්මයි තාත්තයි මාව මෙතෝදිස්ත පල්ලියේ ඉරිදා පාසැලට යැව්වා.

මට වයස අවුරුදු අටේදී මම දැක්කා පිරිමි ළමයි වගයක් බෝට්ටුවකට ගිනි තියනවා. හැබැයි ඒක දැක්ක බව කාටවත් කියන්න එපා කියලා ඒ ළමයි මට තර්ජනය කළ නිසා පොලිසියෙන් එතනට ආවම මම භයට මොකුත් කිව්වෙ නැහැ. අන්තිමේදී ඒ වරද මගේ පිටින් ගියා. ඒ සිද්ධියෙන් පස්සේ මම වියරු වැටුණා. එදා ඉඳන් පාසැල්වල, පල්ලිවල සහ කර්මාන්ත ශාලාවල තිබුණු ඩොලර් දහස් ගණන් වටිනා දේපළවලට මම හානි කළා. මට වයස අවුරුදු දහයක් වෙද්දී මම ගෙවල්වලින් සහ සාප්පුවලින් බඩු හොරකම් කරන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම දේපළවලට ගිනි තියන්නත් පටන්ගත්තා. මගේ පාසැලේ ගුරුවරුන් නිතරම කිව්වේ මාව කවදාවත් හදන්න බැහැ කියලයි.

වයස අවුරුදු 12දී මන්තර ගුරුකම් ගැන තියෙන පොතක් මට හම්බ වුණා. ඊටපස්සේ භූතයන්ව සම්බන්ධ කරගෙන කරන ක්‍රීඩාවක් කරන්න මම වීජා ලෑල්ලක් හදාගත්තා. මගේ දෙමාපියන් දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැති නිසා භූතයන්ව සම්බන්ධ කරගෙන කරන දේවල බරපතළකමක් ඒ අයට දැනුණේ නැහැ. ඒකෙන්වත් මම අනවශ්‍ය කරදරවල පැටලෙන්නේ නැතුව ඉඳියි කියලා ඔවුන් හිතුවා. ඒත් පාසැල් අධ්‍යාපනය අවසන් කරන්නත් කලින් බාල වයස්කාර අපරාධකාරයෙක් විදිහට මට කීප විටකම උසාවියේ පෙනී ඉන්න සිද්ධ වුණා. මම ප්‍රචණ්ඩකාරී කණ්ඩායමකට බැඳිලා හිටිය නිසා යන හැම තැනකටම දැලි පිහියකුත් බයිසිකල් චේන් එකකුත් අරගෙන ගියා. මට රැකියාවක් ලැබුණත් හිරේ යන්න සිද්ධ වුණ නිසා ඒ රැකියාව අහිමි වුණා. හිරෙන් ආවට පස්සේ මම ආයෙත් අපරාධවලට සම්බන්ධ වුණ හින්දා අවුරුදු දෙකක හිර දඬුවමක් ලැබුණා. මගේ නඩුව විභාග කළ විනිශ්චයකරු කිව්වේ මම කවදාවත් යහමඟට ගන්න බැරි මුළු සමාජයටම ලොකු තර්ජනයක් කියලයි.

හිරෙන් නිදහස් වුණාට පස්සේ මම කලින් යාළු වෙලා හිටිය ගෑනු ළමයත් එක්ක විවාහ වුණා. එයාගේ නම අනීටා. විවාහ වුණු මුල් කාලේදී මම හොරකම් කළේවත් අපරාධවලට හවුල් වුණේවත් නැහැ. හැබැයි අවුරුදු කීපයකට පස්සේ මම ආයෙත් ඒ දේවල් කරන්න පටන්ගත්තා. ව්‍යාපාර ස්ථානවලින් හොරකම් කළා. මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. ගිය හැම තැනකටම මම තුවක්කුවකුත් අරගෙනයි ගියේ. මේ හේතු නිසා මට ආයෙත් සිර දඬුවමක් ලැබුණා.

මං හින්දා අනීටා මානසික පීඩනයට ලක් වුණා. ඒකෙන් මිදෙන්න නම් මගෙන් දික්කසාද වෙන්න කියලා වෛද්‍යවරයා එයාට උපදෙස් දීලා තිබුණා. හැබැයි අනීටා එහෙම නොකළ එක ගැන මම සතුටු වෙනවා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: අපි විවාහ වූ මුල් කාලයේදී අනීටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක ටික කාලෙකට බයිබලය පාඩම් කළා. මං අන්තිම වතාවට හිරේ හිටිය කාලේදී සාක්ෂිකරුවන් ඇවිත් අනීටාට මුරටැඹ සඟරාවක් දීලා ගිහින් තිබුණා. හිරේ ඉන්නකොට “අනේ දෙවියනි ඔබ ඇත්තටම ඉන්නවා නම් මට උදව් කරන්න” කියලා මම දෙවිට යාච්ඤා කළෙත් එදාමයි.

හිරෙන් නිදහස් වෙලා ඇවිත් මාස කීපයකට පස්සේ අපේ පල්ලියේ පූජකයාට මම කිව්වා මටයි අනීටාටයි බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න කියලා. එතකොට ඒ පූජකයා කිව්වා ඕනෙ නම් පල්ලියේ තියෙන නීති රීති සහ යාච්ඤාවක් ගැන විතරක් කියලා දෙන්නම් කියලා.

අන්තිමේදී මම තනියම බයිබලය කියවන්න පටන්ගත්තා. භූතවාදී දේවල් බයිබලයේ හෙළාදැකලා තියෙන බව දැක්කම මට පුදුම හිතුණා. (ද්විතීය කතාව 18:10-12) සාක්ෂිකරුවන් ඇවිත් අනීටාට දීලා තිබුණ මුරටැඹ සඟරාව මට හම්බ වුණා. ඒක කියෙව්වට පස්සේ සාක්ෂිකරුවන්ව අපේ ගෙදරට ගෙන්නන්න ඕන කියලා මං තීරණය කළා.

අපි සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවට අපේ පවුල්වල අයවත් අපේ මිතුරන්වත් කැමති වුණේ නැහැ. සමහර අය කිව්වා සාක්ෂිකරුවන් මාව නොමඟ යවලා කියලා. සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගන්න කලින් මම නරක දේවල් කළ නිසා මගේ ජීවිතයේ හදාගන්න පැති හුඟක් තිබුණා. මම දවසකට දුම්වැටි 60ක් පානය කළා. අපිට බයිබලය ගැන කියලා දුන්න සාක්ෂිකරුවන් ඇතුළු අනිකුත් සෑම සාක්ෂිකරුවෙක්ම අපිත් එක්ක හුඟක් ඉවසීමෙන් කාරුණිකව කටයුතු කළා. වැඩි කල් යන්න කලින් මගේ නරක පුරුදු අතහරින්න මට පුළුවන් වුණා.—2 කොරින්ති 7:1.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: අනීටයි මමයි විවාහ වෙලා දැනට අවුරුදු 35ක් වෙනවා. අපේ එක දරුවෙකුත් මුනුපුරෙකුත් මිනිපිරියකුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට කටයුතු කරනවා. පහුගිය අවුරුදු කීපය පුරාම යෙහෝවා දෙවිගේ සේවය වැඩියෙන් කරන්න මටත් අනීටාටත් පුළුවන් වෙලා තියෙනවා.

යෙහෝවා දෙවිට සේවය කරන නිසා අපි ජීවත් වෙන්නේ හරිම සතුටින්. මම කවදාවත් යහමඟට ගන්න බැරි කෙනෙක් කියලා 1970දී විනිශ්චයකරු කිව්වත් විනිශ්චයකරු වැරදියි කියලා මම අද ඔප්පු කරලා තියෙනවා. එහෙම කරන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවිගෙන් මට ලැබුණ උපකාරය හා බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසයි.