Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | යෝසෙප්

“මම දැක්ක හීනය ගැන ඔබට කියන්න මට ඉඩ දෙන්න”

“මම දැක්ක හීනය ගැන ඔබට කියන්න මට ඉඩ දෙන්න”

යෝසෙප් දැන් ගමන් කරමින් සිටින්නේ ඊජිප්තුවට සුවඳ ලාටු හා සුවඳ තෙල් වෙළඳාම් කරන තවලම්කරුවන් එක්කයි. මේ ගමන දිගු ගමනක්. ඔහු මහත් ඕනෑකමින් නැඟෙනහිර දෙස බලනවා. ඒ දෙස බලන්නේ ඈතින් දිස් වෙන කඳුවලට එහායින් ඇති හෙබ්‍රොන් නගරයේ ඔහුගේ නිවස තිබෙන නිසයි. මේගොල්ලන්ගෙන් ගැලවිලා ගෙදර යන්න තියෙනවා නම් කියලා ඔහුට සිතෙනවා. නමුත් ඒක කරන්නේ කොහොමද? බඩු පටවාගත් ඔටුවන් සමඟ දකුණු දිශාවට ගමන් කරන ඔවුන් යෝසෙප් දිහා ඇහැගහගෙනයි සිටින්නේ. ඔවුන්ගේ අරමුණ ඔවුන් ගෙන යන අනිත් වටිනා බඩු එක්කම යෝසෙප්වත් වහලෙක් හැටියට ලොකු මුදලකට ඊජිප්තුවේදී විකුණන්නයි. ඒත් අඳුර වැටෙමින් තිබෙන මේ මොහොතේ සිදු වන කිසිම දෙයක් ගැන ඔහුගේ පියා වන යාකොබ් දන්නේ නැහැ. යළි කිසිදාක පියාව දකින්න ලැබෙන එකක් නැහැ කියලා යෝසෙප් හිතනවා ඇති.

බටහිරින් තිබෙන මුහුද අසලින් ගමන් කරද්දී හිරු බසින ආකාරය නෙත ගැටුණු විට ඔහුට දැනෙන්න ඇත්තේ මුළු ලෝකයම කඩා වැටිලා කියායි. සහෝදරයන් ඔහුව මරන්න තැත් කළ එක ගැනත් වහලෙක් විදිහට ඔහුව විකුණුව එක ගැනත් හිතනකොට ඔහුට ඒක දරාගන්න බැරි වෙන්න ඇති. වේදනාව නිසා ඉණුව කඳුළු ඔහු අමාරුවෙන් හංගගන්න ඇති. අනාගතය ගැන ඔහුට හිතාගන්නවත් බැරි වෙන්න ඇති. මේ හැම දේම වෙද්දී ඔහුගේ වයස අවුරුදු 17කට වැඩි නැහැ.

යෝසෙප්ට නිදහස අහිමි වුණත් විශ්වාසය නැති වුණේ නැහැ

යෝසෙප්ට මේ වගේ දරුණු දේකට මුහුණ දෙන්න සිදු වුණේ ඇයි? තමන්ගේම පවුලේ අයගෙන් පීඩා වින්ද මේ තරුණයාගේ විශ්වාසයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ප්‍රශ්නවලින් පිරි පවුල් පසුබිමක්

යාකොබ්ගේ පවුලේ හුඟදෙනෙක් සිටියා. ඔවුන් අතර සමඟියක් තිබුණේ නැහැ. ඒ කාලයේ භාර්යාවන් කීපදෙනෙක්ව විවාහ කරගැනීම සිරිතක්. බයිබලයේ සඳහන් යාකොබ්ගේ පවුලේ කතාවෙන් පෙනෙන්නේ එවැනි විවාහයන් නිසා ගැටලු ඇති වෙන බවයි. විවාහය ගැන දෙවියන් මුලින් ඇති කළ සැලැස්මට අනුව පුරුෂයෙක්ට සිටිය යුත්තේ එක භාර්යාවයි. යේසුස් යළි ඒ සැලැස්ම පිහිටුවන තෙක් විවාහයන් කීපයක් කරගන්න දෙවියන් ඉඩහැර තිබුණා. (මතෙව් 19:4-6) යාකොබ්ගේ භාර්යාවන් දෙන්නා වන ලෙයා හා රාකෙල්ගෙන් සහ ඔවුන්ගේ සේවිකාවන් වන ෂිල්පා හා බිල්හාගෙන් යාකොබ්ට දාව දරුවන් 14දෙනෙක් සිටියා. යාකොබ් මුල සිටම ආදරේ කළේ රූමත් රාකෙල්ටයි. ඒත් ඇගේ සහෝදරිය වන ලෙයාව යාකොබ්ට විවාහ කරගන්න සිදු වුණේ රැවටීමක් නිසයි. රාකෙල් හා ලෙයා අතර තිබුණ ඊර්ෂ්‍යාව නිසා නිතරම ඔවුන් වැඩ කළේ තරඟකාරීවයි. ඒ ඊර්ෂ්‍යාව දරුවන් අතරත් දකින්න තිබුණා.—උත්පත්ති 29:16-35; 30:1, 8, 19, 20; 37:35.

කාලයක් දරු පල නැතුව සිටි රාකෙල්ට පුතෙක් ලැබුණා. ඒ යෝසෙප්. යාකොබ් වයස්ගතව සිටියදී යෝසෙප්ව ලැබුණු නිසා ඔහු යෝසෙප්ට විශේෂ සැලකිල්ලක් දැක්වුවා. උදාහරණයකට යාකොබ් නිවසේ සිටි හැමෝම එක්ක වෛරයෙන් හිටිය තමාගේ සහෝදරයා වූ ඒසව්ව හමු වෙන්න ගිය විට රාකෙල්ට සහ පුංචි යෝසෙප්ට අනතුරක් වෙයි කියා සිතූ යාකොබ් ඔවුන්ව පවුලේ අය ගමන් කරමින් සිටි කණ්ඩායමේ අන්තිමටම යන්න සැලැස්සුවා. හැමෝම සිටියේ භයෙන් නිසා යෝසෙප්ට ඒ දවස කවදාවත් අමතක නොවන්න ඇති. මහලු වුණත් කඩිසරව සිටි තම පියා එදින උදෑසන කොරගහනවා දැක්කම පුංචි යෝසෙප්ට මොනවා හිතෙන්න ඇද්ද! තම පියා බලවත් දේවදූතයෙක් එක්ක කලින්දා රෑ පොරබැදූ බව දැනගත් විට ඔහු පුදුම වෙන්න ඇති. එහෙම වුණේ යාකොබ්ට යෙහෝවා දෙවියන්ගෙන් ආශීර්වාද ලබාගන්න ඕන වුණ නිසයි. ආශීර්වාදයක් හැටියට ඔහුගේ නම වෙනස් කර ඊශ්‍රායෙල් යන නම ලබා දුන්නා. ඒ නමින් මුළු ජාතියක්ම හඳුන්වන්න නියමිත වුණා. (උත්පත්ති 32:22-31) එම ජාතියේ ගෝත්‍ර ඇති වෙන්නේ යාකොබ් හෙවත් ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගෙන් කියලා පසුව යෝසෙප්ට දැනගන්න ලැබුණා.

පසුව, යෝසෙප්ගේ බාල සහෝදරයා වූ බෙන්ජමින්ව රාකෙල්ට හම්බ වූ විට ඇය මිය ගියා. යෞවන යෝසෙප් ඔහුගේ මවට හුඟක් ආදරය කළ නිසා ඒක ඔහුට දරාගන්න බැරි දුකක් වුණා. ඔහුගේ පියාත් ගොඩක් දුක් වුණා. යාකොබ් යෝසෙප්ගේ ඇස්වලින් බේරුණු කඳුළු පිස දමමින් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන කියලා ඔහුව සනසවන්න ඇති. ඊට කාලෙකට කලින් යාකොබ්ගේ සීයා වූ ආබ්‍රහම් සැනසුණෙත් ඒ බලාපොරොත්තුව නිසයි. තම මවව යෙහෝවා දෙවියන් ආපහු ජීවත් කරවන බව දැනගැනීමෙන් යෝසෙප් මොන තරම් සැනසෙන්න ඇද්ද! ඒ නිසා “ජීවත් වන අයගේ දෙවි” වන යෙහෝවා කෙරෙහි යෝසෙප්ට තිබුණු ආදරය තවත් වැඩි වෙන්න ඇති. (ලූක් 20:38; හෙබ්‍රෙව් 11:17-19) රාකෙල්ගේ නැති වීමත් සමඟම ඇගේ පුතුන් දෙන්නාට යාකොබ් දැක්වුව ආදරය තව තවත් වැඩි වෙන්න ඇති.—උත්පත්ති 35:18-20; 37:3; 44:27-29.

දරුවන්ට විශේෂ ආදරයක් දක්වද්දී සමහරවිට දරුවන් හිතුවක්කාර වෙනවා. නමුත් යෝසෙප් එහෙම වුණේ නැහැ. ඔහු දෙමව්පියන්ගෙන් හොඳ ගතිගුණ ඉගෙනගත්තා. ඔහුට දෙවියන් කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් වගේම හරි වැරැද්ද ගැන හොඳ අවබෝධයකුත් තිබුණා. වයස අවුරුදු 17දී ඔහු එඬේරෙක් හැටියට සහෝදරයන්ට උදව් කරද්දී ඔවුන් කළ සමහර වැරදි දේවල් දැක්කා. යෝසෙප් ඔවුන්ව තරහ කරගන්න අකමැති නිසා ඔවුන්ගේ වැරදි හංගන්න හිතුවාද? ඒ වෙලාවේ ඔහුට හැඟුණ විදිහ අපි දන්නේ නැහැ. ඒත් ඔහු හරි දේ කළා. ඔහු ඒ ගැන පියාට කිව්වා. (උත්පත්ති 37:2) යාකොබ් ඔහුගේ ආදරණීය පුතා ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න හේතුව යෝසෙප් කළ ඒ නිර්භීත ක්‍රියාවෙනුත් පැහැදිලි වෙනවා. ක්‍රිස්තියානි යෞවනයන්ට යෝසෙප් කදිම ආදර්ශයක්! සහෝදරයෙක්ගේ හෝ යාළුවෙක්ගේ බරපතළ වරදක් හංගන්න හිතුණොත් නැණවත්ම දේ යෝසෙප්ව ආදර්ශයට ගැනීමයි. වැරදි කළ කෙනාට එයාගේ වැරදි හදාගන්න උදව් කරන්න පුළුවන් කෙනෙකුට ඒ ගැන කියන්න අවශ්‍යයි.—ලෙවී කතාව 5:1.

යාකොබ්ගේ පවුලෙන් අපිට පාඩමක් ඉගෙනගත හැකියි. සැබෑ ක්‍රිස්තියානීන් යාකොබ් වගේ විවාහයන් කීපයක් එකවිට කරගන්නේ නැහැ. ඒත් නැවත විවාහ වී පවුල් ජීවිත ගත කරන අය ඉන්නවා. ඔවුන්ට ඔවුන්ගේ දරුවන් හා කලින් විවාහයේ දරුවන් එක්ක ජීවත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා යාකොබ්ගේ පවුලේ වගේ තත්වයන් උදා වෙන්න පුළුවන්. සමහරුන්ට වැඩි සැලකිල්ලක් හා පක්ෂපාතකමක් දැක්වීම නිසා පවුලේ අසමඟියක් ඇති වෙනවා. ඒ නිසා බුද්ධිමත් දෙමාපියන් තම දරුවන්ට වගේම කලින් විවාහයේ දරුවන්ටත් ආදරේ කරන බව, ඒ හැම කෙනෙක්වම වටින බව හා පවුලේ සතුටට දායක වෙන්න ඔවුන්ටත් පුළුවන් බව දැනෙන්න සලස්වන්න ඕනේ.—රෝම 2:11.

ඊර්ෂ්‍යාවක් ඇති වෙයි

යාකොබ් යෝසෙප්ට විශේෂත්වයක් දැක්වුවේ ඔහු විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ කෙනෙක් නිසයි

හරි දේ කරන්න යෝසෙප් නිර්භීත වුණ නිසා යාකොබ් ඔහුට විශේෂ සැලකිල්ලක් දැක්වුවා. ඔහු තම පුතාට විශේෂ ඇඳුමක් මසා දුන්නා. (උත්පත්ති 37:3) ඉරි සහිත ඒ ඇඳුමේ ගොඩක් පාට තිබුණා කියා සමහරු කිව්වත් ඒකට සාක්ෂි නැති තරම්. දිග අත් ඇති පාද දක්වා දිව ගිය ඒ වගේ ඇඳුම් සාමාන්‍යයෙන් ඇන්දේ කුමාරයන්.

යාකොබ් ඒ ඇඳුම දුන්නේ හොඳ හිතින්. යෝසෙප් ඒක හුඟක් අගය කළත් ඒක නිසා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වුණා. එඬේරෙක් වුණ ඔහුට ඇඟ වෙහෙසා වැඩ කරන්න සිදු වුණා. එඬේර කොල්ලෙක්ට ඒ වගේ වටින ඇඳුමක් ඇඳගෙන උසට වැඩුණු තණ පඳුරු අතරින් රිංගන එක, උස ගල්වලට නඟින එක, කටුඅකුල්වල පැටලුණු බැටළුවන්ව බේරගන්න එක මොන තරම් අමාරු දෙයක් වෙන්න ඇද්ද! ලොකුම ප්‍රශ්නය වුණේ ඒ ඇඳුම යෝසෙප්ගේ සහෝදරයන් එක්ක තිබෙන බැඳීමට බලපෑවේ කොහොමද කියන එකයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඊශ්‍රායෙල් ඔහුගේ සියලු පුත්‍රයන්ට වඩා යෝසෙප්ට ප්‍රේම කළ බව තේරුම්ගත් විට යෝසෙප්ගේ සහෝදරයෝ ඔහුට වෛර කරන්න පටන්ගත්තෝය. ඒ නිසා ඔහු සමඟ සමාදානයෙන් කතා කරන්න ඔවුන්ට නොහැකි විය.” * (උත්පත්ති 37:4) ඔවුන් ඔහුට ඊර්ෂ්‍යා කළේ ඇයි කියලා තේරුම්ගන්න පුළුවන්. නමුත් ඔහුගේ සහෝදරයන් වෛරසහගත හැඟීම් ඇති කරගැනීම අනුවණ දෙයක්. (හිතෝපදේශ 14:30; 27:4) ඔබ ලබාගන්න කැමති සැලකිල්ල හා ගෞරවය වෙන කෙනෙක්ට ලැබෙද්දී ඔබට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවාද? ඊර්ෂ්‍යාවෙන් කළ දේවල් නිසා යෝසෙප්ගේ සහෝදරයන්ට පසුතැවෙන්න වුණ බව අමතක කරන්න එපා. ඒ අවාදර්ශයෙන් ක්‍රිස්තියානීන්ට සිහිගන්වන්නේ ඊර්ෂ්‍යා නොවී “ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති” වීම නැණවත්ම දේ බවයි.—රෝම 12:15.

සහෝදරයන් තමන්ට වෛර කරන බව යෝසෙප්ට දැනෙන්න ඇති. ඒ නිසා ඔවුන්ට නොපෙනෙන්න ඔහු තම ඇඳුම හංගන්න හිතන්නත් ඇති. ඒ වුණත් පියාගේ ආදරයේ සංකේතයක් වන ඒ ඇඳුම ඔහුට දුන්නේ අඳියි කියන විශ්වාසය ඇතුවයි. ඒ විශ්වාසය ඔහු කඩ කළේ නැහැ. අපේ ස්වර්ගික පියාණන්ට විශ්වාසවන්තව සිටින්න යෝසෙප්ගේ ආදර්ශය අපිට උපකාර වෙනවා. ඔහු මිනිසුන් හැමෝටම එක වගේ සැලකුවත් ඔහුට විශ්වාසවන්තව සිටින අයට විශේෂ වරප්‍රසාද ලබා දෙන අවස්ථා තිබෙනවා. ඔවුන් මේ ලෝකයේ දුෂ්ට සමාජයට වඩා වෙනස් ජීවිතයක් ගත කරයි කියා දෙවියන් බලාපොරොත්තු වෙනවා. යෝසෙප්ගේ විශේෂ ඇඳුම වගේ සැබෑ ක්‍රිස්තියානීන්ද ඔවුන්ගේ හැසිරීම නිසා අනිත් අයට වඩා වෙනස් වෙනවා. ඒ නිසා ඔවුන් අන් අයගේ ඊර්ෂ්‍යාවට හා වෛරයට ලක් වෙනවා. (1 පේතෘස් 4:4) යෝසෙප් ඔහුගේ ඇඳුම හැංගුවේ නැහැ වගේ සැබෑ ක්‍රිස්තියානියෙකුත් තමන් දෙවියන්ගේ සේවකයෙක් කියන එක සැඟවිය යුතු නැහැ.—ලූක් 11:33.

යෝසෙප්ගේ සිහින

වැඩිකල් යන්න කලින් යෝසෙප් පුදුම හිතෙන හීන දෙකක් දකිනවා. මුල්ම හීනයේ යෝසෙප් හා ඔහුගේ සහෝදරයන් අස්වැන්න මිටි බඳිනවා ඔහු දැක්කා. ඒත් ඔහුගේ මිටිය කෙළින් තිබෙද්දී ඔහුගේ සහෝදරයන්ගේ අස්වැන්නේ මිටි ඔහුගේ මිටිය වට කරගෙන හිස නමා ආචාර කරන ආකාරයත් ඔහු දැක්කා. දෙවෙනි හීනයේදී ඉර, හඳ හා තාරකා 11ක් ඔහුට හිස නමා ආචාර කරනවාත් ඔහු දැක්කා. (උත්. 37:6, 7, 9) මේ අමුතු හීන ගැන යෝසෙප් කාටවත් නොකියා ඉඳීද?

ඒ හීන දකින්න සැලැස්සුවේ යෙහෝවා දෙවියි. ඒ හීනවලින් ඉදිරියේදී වෙන දේවල් ගැන අනිත් අයට දැනුම් දෙන එක දෙවියන් යෝසෙප්ගෙන් බලාපොරොත්තු වුණා. යෝසෙප් කළෙත් පසු කාලයේ හිටපු අකීකරු සෙනඟට අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් දෙවියන් ඔහුගේ විනිශ්චයන් දැනුම් දුන්නා හා සමාන වැඩක්.

යෝසෙප් නැණවත්ව සහෝදරයන්ට මෙසේ පැවසුවා. “මම දැක්ක හීනය ගැන ඔබට කියන්න මට ඉඩ දෙන්න.” ඔවුන්ට ඒ සිහිනය ගැන අවබෝධයක් ලැබුණත් ඒ ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා ඔවුන් මෙවැනි දෙයක් ඇසුවා. “ඔබ අපේ රජ වෙන්නද හිතාගෙන ඉන්නේ? ඔබ ඇත්තටම හිතුවාද ඔබට අපව පාලනය කරන්න පුළුවන් වෙයි කියලා?” වාර්තාවේ මෙසේ පවසනවා. “ඔහු දුටු සිහින නිසාද ඔහු කියූ දේවල් නිසාද ඔවුහු ඔහුට තව තවත් වෛර කරන්න පටන්ගත්තෝය.” යෝසෙප් ඔහුගේ පියාට සහ ඔහුගේ සහෝදරයන්ට ඔහු දුටු දෙවෙනි සිහිනය ගැන කියූ විටත් ඔවුන් ඒ ගැන සතුටු වුණේ නැහැ. “‘ඔබ දැක්ක හීනයේ තේරුම කුමක්ද? මමත් ඔබේ මවත් ඔබේ සහෝදරයනුත් ඔබ ළඟට ඇවිත් හිස නමා ආචාර කරන්න යනවා කියාද ඔබ කියන්නේ’ යයි කියමින් ඔහුට තරවටු කළේය.” ඒත් දරුවා එක්ක දෙවියන් කතා කළාවත්ද කියා යාකොබ් හිතන්න පටන්ගත්තා.—උත්පත්ති 37:6, 8, 10, 11.

මිනිසුන් අහන්න අකමැති අනාවැකියක් කියන්න කියලා යෙහෝවා දෙවියන් පැවසූ මුල්ම හා අවසාන පුද්ගලයා යෝසෙප් නෙවෙයි. එවැනි අනාවැකි පැවසුව අයට පීඩා පවා විඳින්න සිදු වුණා. යේසුස් ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණත් ඔහුගේ අනුගාමිකයන්ට පැවසුවේ මෙයයි. “ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි.” (යොහන් 15:20) යෞවන යෝසෙප්ට දෙවියන් ගැන තිබුණු විශ්වාසය හා ඔහුගේ නිර්භීතකම සලකා බැලීමෙන් බාල මහලු හැමෝටම කදිම පාඩම් ඉගෙනගත හැකියි.

වෛරය උත්සන්න වෙයි

යෝසෙප්ගේ සහෝදරයන් සිටියේ ෂීකෙම්වල බැටළුවන් බලාගනිමින්. ෂීකෙම් නගරයේ වැසියන් ඔවුන්ගේ සතුරන් බවට පත් වුණේ ඊට ටික කලකට පෙරයි. ඒ නිසා යාකොබ් ඔවුන්ගේ පුත්‍රයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වී ඔවුන් හොඳින් සිටිනවාද කියා බැලීමට යෝසෙප්ව පිටත් කළා. ඒ වන විට යෝසෙප් සිහිනය ගැන කියලා වැඩි දවසක් ගත වී තිබුණේ නැහැ. ඒ වගේ ගමනක් යන්න කිව්වම යෝසෙප්ට කොහොම හැඟෙන්න ඇද්ද? ඒ වන විට ඔහුගේ සහෝදරයන් ඔහු එක්ක පුදුම වෛරයකින් සිටි බව ඔහු දැනගෙන සිටියා. පියාගේ පණිවිඩයක් අරගෙන ඔහු එන එක ගැන ඔවුන් සතුටු වෙයිද? කොහොමවුණත් යෝසෙප් පියාට කීකරු වී ගමන පිටත් වුණා.—උත්පත්ති 34:25-30; 37:12-14.

ෂීකෙම් බලා ගිය ඒ දුෂ්කර ගමනට දින හතරක් හෝ පහක් ගත වෙන්න ඇති. ෂීකෙම් පිහිටා තිබුණේ හෙබ්‍රොන් නගරයට කිලෝමීටර් 80ක් උතුරින්. ඒත් ෂීකෙම් නගරයට ගිය යෝසෙප්ට දැනගන්න ලැබුණේ ඔහුගේ සහෝදරයන් දොතාන්වලට ගොස් ඇති බවයි. ඒ නගරය පිහිටා තිබුණේ තවත් කිලෝමීටර් 22ක් විතර උතුරට වෙන්නයි. ඔහු දොතාන්වලට ළඟා වෙද්දී ඔහුගේ සහෝදරයන් ඔහු ඈතින් එනවා දැක්කා. ඔවුන්ගේ වෛරය තවත් උත්සන්න වුණා. වාර්තාවේ පවසන්නේ මෙයයි. “ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. ‘ඔය එන්නේ අර හීන මවන්නා! අපි ඔහුව මරා දමා වතුර වළකට විසි කරමු. ඊටපස්සේ, නපුරු වනමෘගයෙක් ඔහුව මරා දැම්මා කියලා කියමු. එතකොට බලමු ඔහුගේ හීනවලට මොනවද වෙන්නේ කියලා.’” ඒත් යෝසෙප්ව නොමරා ඔහුව වළට දාමු කියා රූබෙන් සහෝදරයන්ට පැවසුවා. ඔහු එසේ පැවසුවේ පසුව ඇවිත් ඔහුව බේරගන්න හිතාගෙනයි.—උත්පත්ති 37:19-22.

ඔවුන් කරන්න යන දේ ගැන නොදැන යෝසෙප් ඔවුන් වෙතට ගියා. ඒත් ඔහුගේ සහෝදරයන් ඔහුට සැලකුවේ දරුණු විදිහටයි. හිතක් පපුවක් නැති ඔවුන් ඔහු ඇඳ සිටි වටිනා වස්ත්‍රය ගලවා ඔහුව ඇදගෙන ගිහින් වතුර සිඳී ගිය වළකට තල්ලු කළා. ඔහු වළෙන් ගොඩ එන්න උත්සාහ කළත් බැරි වුණා. ඔහුව බේරගන්න කියලා කෑගැසුවත්, බැගෑපත් වුණත් ඔවුන් ඒක ගණනකටවත් ගත්තේ නැහැ. සහෝදරයන්ගේ කට හඬ ටිකෙන් ටික මැකී යද්දී ඔහුට දකින්න තිබුණේ අහස විතරයි. යෝසෙප් ගැන කිසි අනුකම්පාවක් නොදැක්වූ ඔවුන් ඒ අසලම ඉඳගෙන කෑම කෑවා. රූබෙන් නැති අතරේ ඔවුන් නැවතත් යෝසෙප්ව මරන්න තැත් කළත් එසේ නොකර එතැනින් යන වෙළඳුන්ට විකුණමු කියා යූදා යෝජනා කළා. ඊජිප්තුවට වෙළඳාමේ යන අය ගමන් ගත්තේ දොතාන් නගරය හරහායි. වැඩි වෙලාවක් යන්න කලින් ඉෂ්මායෙල්වරුන් හා මිදියන්වරුන් රැගත් තවලමක් දොතාන් අසලට පැමිණියා. රූබෙන් එන්න කලින් යෝසෙප්ගේ සහෝදරයන් වහලෙක් හැටියට ඔහුව රිදී ෂෙකෙල් 20කට ඒ වෙළෙඳුන්ට විකුණුවා. *උත්පත්ති 37:23-28; 42:21.

යෝසෙප් හරි දේ කළත් ඔහුගේ සහෝදරයන් ඔහුට වෛර කළා

දැන් අපි ආපසු ලිපියේ මුලට යමු. යෝසෙප්ව ඊජිප්තුවට ගෙන යන විට ඔහුට හැම දෙයක්ම නැති වුණා වගෙයි පෙනෙන්න තිබුණේ. වසර ගණනාවක් යන තුරු ඔහුට පවුලේ අය ගැන කිසිම ආරංචියක් ලැබුණේ නැහැ. තමා නැති බව දැනගත් විට රූබෙන්ට දැනුණු වේදනාව ගැනවත් ඔහු මැරිලා කියා රැවැට්ටුවාම යාකොබ් දුක් වුණු විදිහ ගැනවත් ජීවතුන් අතර සිටි ඔහුගේ සීයා වූ ඊසාක් ගැනවත් ඔහු හුඟක් ආදරය කළ ඔහුගේ බාල සහෝදරයා වූ බෙන්ජමින් ගැනවත් කිසිවක් දැනගන්න ලැබුණේ නැහැ. ඉන් අදහස් කරන්නේ ඔහු අන්ත අසරණ තත්වයකට පත් වුණා කියාද?—උත්පත්ති 37:29-35.

ඔහුගේ සහෝදරයන්ට ඔහුගෙන් අහිමි කරන්න බැරි දෙයක් ඔහු සතුව තිබුණා. ඒ තමයි දෙවියන් කෙරෙහි ඔහුට තිබුණු විශ්වාසය. ඔහුට ගෙයක් නැති වුණත් ඊජිප්තුවට වහලෙක් විදිහට දුෂ්කර ගමනක් යන්න වුණත් ධනවත් ඊජිප්තු ජාතිකයෙක් වන පොතිෆර්ගේ වහලෙක් වෙන්න සිදු වුණත් යෙහෝවා දෙවියන් කවුද කියා ඔහු දැනගෙන සිටියා. (උත්පත්ති 37:36) ඔහු දුෂ්කරතා අද්දකිද්දී දෙවියන් කෙරෙහි ඔහුට තිබුණු විශ්වාසයත් දෙවියන්ට ළං වී සිටිය යුතුයි යන අධිෂ්ඨානයත් වැඩි වුණා. ඒ විශ්වාසය නිසා යෙහෝවා දෙවියන්ටත් ප්‍රශ්නවලට මැදි වී සිටි ඔහුගේ පවුලේ අයටත් ඔහුව හුඟක් වටින පුද්ගලයෙක් වුණාද කියා ඉදිරි ලිපිවලින් දැනගත හැකියි. ඔහුගේ විශ්වාසය ආදර්ශයට ගැනීම මොන තරම් වටිනවාද!

^ 15 ඡේ. සමහර පර්යේෂකයන් මෙවැනි අදහස් දෙනවා. පියා යෝසෙප්ට විශේෂ ඇඳුමක් දීම කුලුඳුලාට ලැබෙන්න ඕන උරුමය ඔහුට දුන් බවට සාක්ෂියක් කියා ඔහුගේ සහෝදරයන් හිතුවා. ඔවුන් එසේ සිතුවේ යාකොබ් මුලින් විවාහ වෙන්න සිටි, ඔහු වැඩියෙන් ආදරය කළ භාර්යාවගේ කුලුඳුල් පුතා යෝසෙප් වුණ නිසයි. අනික් අතට, යාකොබ්ගේ කුලුඳුල් පුතා වන රූබෙන් පියාගේ උපභාර්යාවක් සමඟ අනාචාරයේ යෙදී පියාව අගෞරවයට පත් කළ නිසා ඔහුගේ උරුමය ඔහුට අහිමි වුණා.—උත්පත්ති 35:22; 49:3, 4.

^ 25 ඡේ. බයිබලයේ තියෙන මේ සුළු විස්තරය වුණත් නිවැරදි බව ඔප්පු වෙලා තියෙනවා. ඒ කාලයේ ලියවුණු වෙනත් ලියවිලිවලින් හෙළි වෙන්නේ ඊජිප්තුවට ගෙන ගිය වහලෙක්ව රිදී ෂෙකෙල් 20කට මිල දී ගත් බවයි.