Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

මගේ දරුවාට කම්මැළිකමක් දැනෙනවා නම් . . .

මගේ දරුවාට කම්මැළිකමක් දැනෙනවා නම් . . .

 “මට හරි කම්මැළියි අම්මේ” කියලා ඔයාගේ පුතා කියනවා. ඒ වගේ වෙලාවට ඔයා කරන්නේ එයාට ටීවී එක දාලා දෙන එක, එහෙමත් නැත්නම් එයා ආසම වීඩියෝ ගේම් එක ගහන්න කියලා කියන එක. හැබැයි දෙමව්පියනි එහෙම කියන්න කලින් මේ දේවල් ගැනත් හිතලා බලන්න.

සමහර දෙමව්පියන් තේරුම් අරන් තියෙන දේ

  •   විනෝදයට කරන දේවල් සහ ඒකට දෙන කාලේ නිසා කම්මැළිකම තව වැඩි වෙන්න පුළුවන්. තාත්තා කෙනෙක් වන රොබට් මෙහෙම කියනවා. “දවසම ටීවී බලන්නයි, ගේම් ගහන්නයි තමයි සමහර ළමයි කැමති. වෙන මොනා හරි කරන්න කියලා කිව්වාම එයාලට හරිම කම්මැළියි.”

     එයාගේ බිරිඳ බාර්බරා කියන්නෙත් ඒ වගේම දෙයක්. එයා මෙහෙම කියනවා. “සාමාන්‍ය ජීවිතයේ දෙයක් හරියට කරන්න හුඟක් හිතන්න ඕනේ. මහන්සි වෙන්නත් ඕනේ. ඒ වගේම හිතන තරම් ඉක්මනට ප්‍රතිඵල ලැබෙන්නෙත් නැහැ. හැබැයි මුළු දවසම ටීවී බලබල ගේම් ගගහා ඉන්න ළමයින්ට ඒ විදිහට දේවල් කරන එක හරිම කම්මැළි වැඩක්.”

  •   සමාජ ජාලා වෙබ් අඩවි බලන එකෙන් තමන් ගැනම අඩුවෙන් හිතන්න පෙලඹෙන්න පුළුවන්. යාළුවෝ කරන දේවල් ගැන දාලා තියන ෆොටෝස් දැක්කාම තමන්ගේ ජීවිතේ කිසි වැඩක් නැහැ කියලා දරුවෙක්ට හිතෙන්න පුළුවන්. බෙත් කියන යෞවනිය කියන්නේ මෙහෙමයි. “මං ගෙදරට වෙලා වේලි වේලි ඉන්නකොට අනිත් අය නං හරි විනෝදෙන් ඉන්නවා කියලා ඕනෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන්.”

     ඒ වගේම පැය ගාණක් සමාජ ජාලා වෙබ් අඩවිවල හිටියා කියලා කෙනෙක්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ. දැනෙන කම්මැළිකමත් එහෙම්මමයි. යෞවනයෙක් වන ක්‍රිස් මෙහෙම කියනවා. “පැය ගාණක් තිස්සේ ඔයා දෙයක් කරා තමයි. ඒත් ඒක හරියට ගඟට කපපු ඉණි වගේ. අන්තිමට කිසිම තේරුමක් නැහැ.”

  •   කම්මැළිකමක් දැනෙන අවස්ථාවලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කම්මැළිකමක් දැනෙන වෙලාවට අලුත් දේවල් ගැන හිතන්න දරුවෙක්ට අවස්ථාවක් ලැබෙනවා කියලා අම්මා කෙනෙක් වන කැතරින් කියනවා. උදාහරණයකට එයා මෙහෙම කියනවා. “කාඩ්බෝඩ් පෙට්ටියකට බැහැලා දරුවෙක්ට පුළුවන් එයා ඉන්නේ කාර් එකක, බෝට්ටුවක නැත්නම් අභ්‍යවකාශ යානයක කියලා හිතලා සෙල්ලම් කරන්න. එහෙමත් නැත්නම් පුටු දෙක තුනක් තියලා ඒකට උඩින් රෙද්දක් දාලා සෙල්ලම් ගෙයක් හදන්න පුළුවන්.”

     මනෝ විද්‍යාඥයෙක් වන ෂෙරී ටර්කල් කියන්නේ “කම්මැළිකමක් දැනෙන එක නිර්මාණශීලී වෙන්න හොඳ අවස්ථාවක්” කියලයි. a ඒ නිසා කම්මැළිකම හැම තිස්සේම නරක දෙයක් කියලා හිතන්න එපා. එක පොතක මෙහෙම කියනවා. “ව්‍යායාම් කරද්දී ඔයාගේ මාංස පේශි ශක්තිමත් වෙනවා. ඒ වගේ කම්මැළිකමක් දැනෙන වෙලාවට අලුත් අලුත් දේවල් ගැන හිතද්දී ඔයාගේ නිර්මාණශීලී හැකියාවන් තව දියුණු වෙනවා.”—Disconnected.

 මේක මතක තියාගන්න: ඔයාගේ දරුවාට කම්මැළිකමක් දැනෙන එක නරක දෙයක් කියලා හිතන්න එපා. ඒක එයාට නිර්මාණශීලී වෙන්න ලැබෙන අවස්ථාවක් කියලා හිතන්න.

කරන්න පුළුවන් මොනවාද?

  •   පුළුවන් නම් ඔයාගේ දරුවන්ට ටිකක් එළියට බැහැලා සෙල්ලම් කරන්න දෙන්න. කලින් සඳහන් කරපු බාර්බරා මෙහෙම කියනවා. “අව්ව ටිකක් ඇඟට වැටෙද්දී, හුළං පාරක් ඇඟට වදිද්දී කම්මැළිකම ඉබේම නැති වෙලා යනවා. එළියට බැහැලා සෙල්ලම් කරද්දී අපේ දරුවන්ට හිතහිත කරන්න ඕනෙ තරම් දේවල් තියෙනවා.”

     බයිබල් ප්‍රතිපත්තිය: ‘සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. සිනාසෙන්න කාලයක්ද නටන්න කාලයක්ද ඇත.’—දේශනාකාරයා 3:1, 4.

     හිතන්න දෙයක්: මගේ දරුවන්ට තව ටිකක් වැඩිපුර එළියට බැහැලා සෙල්ලම් කරන්න මොන වගේ අවස්ථාවන් උදා කරලා දෙන්න පුළුවන්ද? එහෙම කරන්න විදිහක් නැත්නම් ගේ ඇතුළේ ඉඳන් එයාලත් එක්ක කරන්න පුළුවන් අලුත් අලුත් දේවල් මොනවාද?

  •   අනිත් අය ගැන හිතන්න දරුවන්ට උදව් කරන්න. දරුවන්ට කරන්න පුළුවන් දේවල් ගැන අම්මා කෙනෙක් වන ලිලියන් මෙහෙම කියනවා. “වයසක කෙනෙක්ගේ මිදුලේ තණකොළ ටිකක් ගලවලා දෙන්න හරි මිදුල අතුගාලා දෙන්න හරි පුළුවන්. එහෙමත් නැත්නම් කෑම ටිකක් හදලා දෙන්න, එයාලත් එක්ක ටිකක් කතා කරකර ඉන්නත් පුළුවන්. අනිත් අය වෙනුවෙන් දේවල් කරන එකෙන් තමයි නියම සතුට ලැබෙන්නේ.”

     බයිබල් ප්‍රතිපත්තිය: “ත්‍යාගශීලී තැනැත්තා තෘප්තියට පත් වෙයි. අන්‍යයන්ව නොමසුරුව පෝෂණය කරන තැනැත්තාවද නොඅඩුව පෝෂණය කරනු ලැබේ.”—හිතෝපදේශ 11:25.

     හිතන්න දෙයක්: අනිත් අය වෙනුවෙන් දේවල් කරලා සතුටක් ලබන්න මගේ දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

  •   හොඳ ආදර්ශයක් තියන්න. එදිනෙදා ඔයාට කරන්න තියෙන වැඩ ගැන ඔයා කතා කරන විදිහ ඔයාගේ දරුවන්ටත් බලපානවා. අම්මා කෙනෙක් වන සාරා මෙහෙම කියනවා. “අපි හැම තිස්සේම අපේ වැඩ ගැන නහයෙන් අඬනවා නං අපේ දරුවනුත් එහෙම කරන්න පෙලඹෙයි. හැබැයි අපි අපේ වැඩ ගැන කතා කරන්නේ සතුටින් නං දරුවනුත් එහෙම කරයි.”

     බයිබල් ප්‍රතිපත්තිය: “සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.”—හිතෝපදේශ 15:15.

     හිතන්න දෙයක්: මගේ දරුවන්ට ඇහෙන්නේ මං දවසේ වැඩ ගැන කොහොම කතා කරනවා කියලාද? මට කම්මැළිකමක් දැනෙන වෙලාවට මං කොහොම වැඩ කරනවා කියලාද දරුවන් දකින්නේ?

 යෝජනාවක්: කරන්න පුළුවන් අලුත් අලුත් දේවල් ගැන ලැයිස්තුවක් හදාගන්න ඔයාගේ දරුවන්ට උදව් කරන්න. අම්මා කෙනෙක් වන ඇලිසන් කියන්නේ “පවුලේ හැමෝටම තමන්ගේ අදහස් දාන්න පුළුවන් විදිහේ පුංචි පෙට්ටියක් අපේ ගෙදර තියෙනවා” කියලයි.

a Reclaiming Conversation කියන පොතෙන්.