Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

ගෙදර දොරේ වැඩවලට දරුවන්වත් හවුල් කරගන්න

ගෙදර දොරේ වැඩවලට දරුවන්වත් හවුල් කරගන්න

ප්‍රශ්නය

සමහර අම්මලා දරුවන්වත් ගෙදර වැඩවලට හවුල් කරගන්නවා. දරුවනුත් කන් කෙඳිරි ගාන්නේ නැතුව වැඩවලට උදව් වෙනවා. ඒත් දරුවන්ට වැඩ දෙන්න අකමැති අම්මලාත් ඉන්නවා. ඒ දරුවන්ටත් ඒ ගැන කිසිම ගානක් නැහැ.

අද ළමයි හැම දේම අම්මලාට කියලා අතට පයට කරගන්නවා මිසක් ගෙදර වැඩ කරන්න උනන්දු වෙන්නේ නැහැ. මේ තත්වේ වැඩියෙන්ම දකින්න තියෙන්නේ බටහිර ලෝකේ රටවල කියලා පර්යේෂකයන් කියනවා. “දරුවන්ට ඕන තරම් ටීවි බලන්න, ගේම් ගහන්න, ඉන්ටර්නෙට් එකේ එල්ලිලා ඉන්න දෙමව්පියෝ ඉඩ දීලා. ඊට වැඩිය දෙයක් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.” එහෙම කිව්වේ දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් වන ස්ටීවන්.

ගෙදර දොරේ වැඩවලට දරුවන්වත් හවුල් කරගන්න එක වැදගත් ඇයි? එහෙම කරන එකෙන් දරුවාගේ ජීවිතේට වෙන්නේ මොන වගේ යහපතක්ද?

දැනගන්න ඕන දේ

පාසැලෙන් දෙන වැඩ නිසාත්, අමතර පංති වගේ දේවල් නිසාත් අම්මලා ළමයින්ට ගෙදර දොරේ වැඩ දෙන්න ආස නැහැ. ඒත් දරුවාවත් ගෙදර වැඩවලට හවුල් කරගන්න එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒ ගැන දැන් බලමු.

අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න උදව් වෙනවා. ගෙදර දොරේ වැඩ කරන එකෙන් දරුවෙක්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. වැඩවලට හොඳ අවධානයක් දෙන්න පුරුදු වෙනවා. ඉවසීම, තමාව පාලනය කරගැනීම වගේ හොඳ ගතිගුණ වර්ධනය කරගන්නත් පුළුවන් වෙනවා. ඒ හැම දෙයක්ම ඉගෙනීමේ වැඩවලට උදව්වක්.

අනිත් අය ගැන සැලකිලිමත් කෙනෙක් වෙන්න උදව් වෙනවා. දරුවන්ව ගෙදර දොරේ වැඩවලට හවුල් කරගන්නවා නම් එයාලා ලොකු වුණාම අනිත් අය වෙනුවෙන් වැඩ කරන්න ඉදිරිපත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. මොකද ගෙදර දොරේ වැඩ කරන ළමයෙක් අනිත් අයගේ අවශ්‍යතාවන්වලට මුල් තැන දෙන්න පුරුදු වෙනවා. කලින් සඳහන් කළ ස්ටීවන් මෙහෙම කියනවා. “ළමයෙක්ට ගෙදර දොරේ වැඩ දුන්නේ නැත්නම් ගෙදර අය එයාගේ වැඩකාරයෝ කියලා එයා හිතන්න ඉඩ තියෙනවා. ඒ වගේ අය වැඩිහිටියන් වුණාම වගකීම් දරන්න, මහන්සි වෙලා වැඩ කරන්න එච්චර කැමති නැහැ.”

පවුල් බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙනවා. දරුවෝ දෙමව්පියන් එක්ක එකතු වෙලා ගෙදර වැඩ කරද්දී එයාලාත් පවුලේ සාමාජිකයන් කියන හැඟීම දරුවන්ට ඇති වෙනවා. ඒත් දෙමව්පියන් ළමයින්ව පාසැල් වෙලාවෙන් පස්සේ ඕනෑවට වඩා අමතර පංතිවලට, ක්‍රිඩාවලට යැව්වොත් දරුවන්ට පවුලේ අයත් එක්ක තියෙන බැඳීම අඩු වෙනවා. මෙහෙම හිතන්න. ඔයාගේ දරුවා ඉස්කෝලේ වැඩවලට, ක්‍රීඩාවට දක්ෂ වුණත් එයා පවුලේ අයගෙන් ඈත් වෙලා නම් වැඩක් තියෙනවාද?

කරන්න පුළුවන් දේ

පොඩි වයසෙන්ම පටන්ගන්න. පුංචි කාලෙදී ළමයි දෙමව්පියන් කරන විදිහටම දේවල් කරන්න ඒ වගේම එයාලාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න හරිම ආසයි. ඒ නිසා වයස අවුරුදු 3ක් නැත්නම් ඊටත් වඩා අඩු වයසකින් වුණත් දරුවෙක්ව ගෙදර වැඩවලට හවුල් කරගන්න එක හොඳයි කියලා සමහරු කියනවා.—බයිබල් ප්‍රතිපත්තිය: හිතෝපදේශ 22:6.

වයසට ගැළපෙන වැඩ දෙන්න. උදාහරණයකට වයස අවුරුදු 3ක ළමයෙක්ට සෙල්ලම් බඩු අස් කරන්න, හැලුණ දෙයක් පිහදාන්න වගේ පොඩි වැඩ දෙන්න. ටිකක් ලොකු ළමයෙක්ට ගෙදර අතුගාන්න, කාර් එක හෝදන්න නැත්නම් කෑමක් හදන්න දෙන්න. දරුවන්ට කරන්න පුළුවන් වැඩ දුන්නොත් එයාලා ආසාවෙන්, උනන්දුවෙන් ඒවා කරයි.

වැදගත් දෙයක් විදිහට සලකන්න. ඉස්කෝලෙන් දෙන වැඩ කන්දරාව නිසා ළමයාව ගෙදර දොරේ වැඩවලට හවුල් කරගන්න එක අමාරු වෙන්න පුළුවන්. ඉගෙනීමේ වැඩ නිසා “ගෙදර දොරේ වැඩවලින් ළමයින්ව නිදහස් කරන එකෙන් වෙන්නේ පාඩුවක්” කියලා එක පොතක සඳහන් වෙනවා. (The Price of Privilege) මොකද කලින් සඳහන් කරපු විදිහට ළමයෙක් ගෙදර දොරේ වැඩවලට හවුල් වෙනවා නම් ඒක එයාට ඉස්කෝලේ දක්ෂ ශිෂ්‍යයෙක් වෙන්න උදව් වෙනවා. ඒ වගේම පොඩි කාලේ ලැබෙන පුහුණුව කවදා හරි බැඳලා ගෙදරින් ගිය දවසක එයාට ප්‍රයෝජනවත් වෙයි.—බයිබල් ප්‍රතිපත්තිය: ෆිලිප්පි 1:10.

ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න. දීපු වැඩේ ඔයාම කෙරුවා නම් ඒක දරුවාට වඩා හොඳට කරන්න තිබුණා කියලා ඔයාට හිතෙයි. එහෙම හිතුණාට ඔයා ඒ වැඩේ කරන්න යන්න එපා. මොකද ඔයා දරුවාට වැඩේ භාර දුන්නේ වගකීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්නත් වැඩ කරලා සතුටක් ලබන්න පුළුවන් කියන දේ තේරුම්ගන්නත් එයාට උදව් කරන්නයි. නැතුව දරුවාට කියලා ඒ වැඩේ ඔයා කරන විදිහටම කරගන්න නෙමෙයි.—බයිබල් ප්‍රතිපත්තිය: දේශනාකාරයා 3:22.

නියම අරමුණ ඉටු කරගන්න. ගෙදර වැඩ කරනවාට සල්ලි දෙන්න පොරොන්දු වෙන එක දරුවෙක්ට වගකීමෙන් වැඩ කරන හැටි කියලා දෙන්න හොඳ ක්‍රමයක් කියලා සමහරු කියනවා. හැබැයි එහෙම කළොත් පවුල වෙනුවෙන් යමක් කරන්න හිතනවාට වඩා සල්ලි ටික ගන්නයි දරුවෙක් උනන්දු වෙන්නේ කියලා තවත් අය කියනවා. සල්ලි ඕනෙ නැති වෙලාවට දරුවා වැඩ කරන එකකුත් නැහැ කියලයි එයාලා කියන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා සල්ලි දෙන එකෙන් ගෙදර වැඩට දරුවෙක්ව හවුල් කරගන්න එකේ නියම අරමුණ ඉටු වෙන්නේ නැහැ කියලා.