Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

දරුවන් සහ ස්මාට් ෆෝන්—2වෙනි කොටස: ස්මාට් ෆෝන් එකක් හරි විදිහට පාවිච්චි කරන්න දරුවාට කියලා දෙන්න

දරුවන් සහ ස්මාට් ෆෝන්—2වෙනි කොටස: ස්මාට් ෆෝන් එකක් හරි විදිහට පාවිච්චි කරන්න දරුවාට කියලා දෙන්න

 ස්මාට් ෆෝන් එක හරියට හොඳට කැපෙන පිහියක් වගේ. ඒක පාවිච්චි කරන විදිහ අනුව හොඳක් වෙන්නත් පුළුවන්, නරකක් වෙන්නත් පුළුවන්. ස්මාට් ෆෝන් එක පාවිච්චි කරද්දී හොඳට හිතලා බලලා දේවල් කරන්න දරුවාට කියලා දෙන්න පුළුවන් කොහොමද? උදාහරණයකට දරුවාට දවසට ෆෝන් එක පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕනෙ කොච්චර වෙලාවකටද? a

 දැනගන්න ඕන දේ

  •   ස්මාට් ෆෝන් එකක් පාවිච්චි කරන එකේ අනතුරු තියෙනවා. “දරුවන් සහ ස්මාට් ෆෝන් - 1වෙනි කොටස: මගේ දරුවාට ස්මාට් ෆෝන් එකක් දෙන්නම ඕනෙද?” කියන ලිපියේ පෙන්වපු විදිහට ස්මාට් ෆෝන් එකකින් ඉන්ටර්නෙට් එකේ තියෙන හොඳ දේවල්වලට වගේම නරක දේවල්වලටත් දොර ඇරෙනවා.

     “ස්මාට් ෆෝන් නිසා අපේ දරුවන් නරක අයව ආශ්‍රය කරන්න, වැරදි අදහස් ඔළුවට දාගන්න ඉඩ තියෙනවා කියලා අපිට ලේසියෙන්ම අමතක වෙන්න පුළුවන්.”—බ්‍රෙන්ඩා.

  •   දරුවන්ට මඟ පෙන්වීම් ඕනේ. හුඟක් වැඩිහිටියන්ට තාක්ෂණය නුහුරු දෙයක් වුණාට දරුවන්ට ඒක එහෙම නෙවෙයි. මොකද එයාලා පුංචි කාලේ ඉඳලාම ඉන්නේ තාක්ෂණයත් එක්ක. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ දෙමව්පියන් තාක්ෂණය ගැන මුකුත්ම දන්නේ නැහැ කියලා. ඒ වගේම ස්මාට් ෆෝන් එක පාවිච්චි කරන්නේ කොහොමද, කොයි වෙලාවෙද කියලා තීරණය කරන්න හොඳටම දන්නේ දරුවෝ කියලත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ.

     ඇත්ත, ඔයාගේ දරුවා ඔයාට වඩා ස්මාට් ෆෝන් එක දක්ෂ විදිහට පාවිච්චි කරන්න දන්නවා ඇති. හැබැයි හැකියාව තියෙන නිසාම එයා ඒක අවබෝධයෙන් පාවිච්චි කරයි කියලා හිතන්න බැහැ. ගැජට් එක්කම ඉන්න දරුවෙක්ට වුණත් ස්මාට් ෆෝන් එකක් වගකීමෙන් පාවිච්චි කරන්න දෙමව්පියන්ගේ උදව් ඕනේ.

     “දරුවෙක්ගේ අතට නිකම්ම ස්මාට් ෆෝන් එකක් දෙන එක හරියට වාහනයක් පදින විදිහ කියලා දෙන්නේ නැතුව එකේ යතුර දීලා ‘පරෙස්සමින් ගිහින් එන්න පුතේ’ කියලා කියනවා වගේ දෙයක්.”සෙත්.

 කරන්න පුළුවන් දේ

  •   දරුවාගේ ෆෝන් එකෙන් කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න. ෆෝන් එක වගකීමෙන් පාවිච්චි කරන්න දරුවාට උදව් වෙන දේවල් ගැන ටිකක් හොයලා බලන්න. උදාහරණයකට:

     ‘ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් වෙලාව, යන්න පුළුවන් වෙබ් සයිට් සීමා කරන්න ෆෝන් එකෙන්ම කරන්න පුළුවන් දේවල් මොනවාද?’

     ‘නරක දේවල් අහන බලන එක නවත්වන්න ෆෝන් එකේ මොන දේ කළත් ඒවා සීයට සීයක්ම සාර්ථක නැහැ කියලා ඔයා දන්නවාද?’

     ඔයා දරුවාගේ ස්මාට් ෆෝන් එක ගැන දැනගන්න තරමටම ෆෝන් එක වගකීමෙන් පාවිච්චි කරන්න දරුවාට උදව් කරන්න ඔයාට පුළුවන්.

     බයිබල් ප්‍රතිපත්තිය: “දැනමුතුකම් ලබාගන්න මිනිසා තම බලය වැඩි කරගනියි.”—හිතෝපදේශ 24:5.

  •   සීමාවන් දාන්න. දරුවාට කරන්න ඉඩ දෙන්නේ මොනවාද, නැත්තේ මොනවාද කියලා තීරණය කරන්න. උදාහරණයකට:

     ‘කෑම කන වෙලාවට, ගෙදරට පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි ඇවිල්ලා ඉන්න වෙලාවට දරුවාට ෆෝන් එක පාවිච්චි කරන්න ඉඩ දෙනවාද?’

     ‘රෑට ෆෝන් එක කාමරේ තියාගන්න ඉඩ දෙනවාද?’

     ‘දරුවාට පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ මොන වගේ ඇප්ද?’

     ‘දවසකදී දරුවාට ෆෝන් එක පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕනෙ කොච්චර වෙලාවකටද?’

     ඔයා දාලා තියෙන සීමාවන් ගැන දරුවාට කියන්න. ඒ වගේම එයා ඒ සීමාවන් පැන්නොත් එයාට දෙන්නේ මොන වගේ දඬුවමක්ද කියලා කලින්ම හිතලා තියන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “දරුවෙකුට හික්මවීම අවශ්‍ය වූ විට එය දීමෙන් නොවළකින්න.”—හිතෝපදේශ 23:13.

  •   දරුවාගේ ෆෝන් එක බලන්න. දරුවා ෆෝන් එකට දාලා තියෙන පාස්වර්ඩ් එක ඔයාත් දැනගන්න. ඒ වගේම එයාගේ ෆෝන් එකේ තියෙන මෙසේජ්, ඇප්, ෆොටෝ, එයා ගිහිල්ලා තියෙන වෙබ් සයිට් වගේ දේවල් අවශ්‍ය වෙලාවලදී බලන්න.

     “අපි දුවට කලින්ම කියලා තිබුණා අපිට ඕනෙ වෙලාවට අපි එයාගේ ෆෝන් එක අරන් බලනවා කියලා. අපි කියලා තිබුණ විදිහට එයා ෆෝන් එක පාවිච්චි කරලා තිබුණේ නැත්තම් අපි එයාට දුන්න නිදහස සීමා කළා.”—ලොරේන්.

     ඔයාගේ දරුවා ස්මාට් ෆෝන් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා.

     බයිබල් ප්‍රතිපත්තිය: “දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය.”—හිතෝපදේශ 20:11.

  •   ප්‍රතිපත්තිය උගන්වන්න. හරි දේ කරන්න ඕනෙ ඇයි කියලා දරුවාට කියලා දෙන්න. ඇයි ඒක වැදගත්? මොකද දෙමව්පියන් කොච්චර දේවල් කළත් දරුවෙක්ට ඕනෙ නම් දෙමව්පියන්ගේ කනෙන් රිංගලා යන්න පුළුවන්. b

     ඒ නිසා අවංක වෙන එක, තමන්ව පාලනය කරගන්න එක, වගකීමෙන් වැඩ කරන එක වගේ හොඳ ගුණාංග ඇති කරගන්න දරුවාට උදව් කරන්න. මොකද නීති දාලා කොටු කරලා ඉන්න දරුවෙක්ට වඩා ඒ වගේ දරුවෙක්ට පුළුවන් ෆෝන් එක ඥානවන්තව පාවිච්චි කරන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “අවබෝධයෙන් ක්‍රියා කරන අය . . . තම වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.”—හෙබ්‍රෙව් 5:14.

a මේ ලිපියේ “ස්මාට් ෆෝන්” කියන්නේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් ඕනෙම ෆෝන් එකකටයි. ඒ වගේ ෆෝන් එකක් හරියට පුංචි කොම්පියුටරයක් වගේ.

b උදාහරණයකට සමහර ළමයි එයාලගේ ෆෝන් එකේ තියෙන දේවල් දෙමව්පියන්ගෙන් හංගන්න එක එක ඇප් පාවිච්චි කරනවා. ඒවායින් සමහර ඒවා බැලූ බැල්මට කැල්කියුලේටරයක් වගේ. ඒ වගේ ඇප් එකක් කියලා පේන්නෙවත් නැහැ.