Skip to content

පටුනට යන්න

 මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

දුරකථනය හරහා අසභ්‍ය දේ යැවීමේ ඇති භයානකකම ගැන කියා දෙන්න

දුරකථනය හරහා අසභ්‍ය දේ යැවීමේ ඇති භයානකකම ගැන කියා දෙන්න

ප්‍රශ්නය

දරුවන් අතර දුරකථනය හරහා අසභ්‍ය පින්තූර හා පණිවිඩ යැවීම සාමාන්‍ය දෙයක් වෙලා කියලා ඔබ දැනගන්නවා. ඔබේ දරුවා ගැනත් ඔබට බියක් දැනෙනවා.

ඔබ දරුවත් එක්ක මේ ගැන කතා කරන්නේ කොහොමද? ඊට කලින් දරුවන් මේ වගේ දෙයක් කරන්න පෙලඹිලා තියෙන්නේ ඇයි කියලත් ඔබ කල්පනාකාරී වෙන්න ඕනේ ඇයි කියලත් බලමු. *

ඇයි එහෙම වෙන්නේ?

  • තමන්ගේ හිත ගිය කෙනෙක්ගේ හැඟීම් අවුස්සන්න ඕන නිසා.

  • පෙම්වතා බල කරන නිසා.

  • ගැහැනු ළමයෙක්ගේ අසභ්‍ය ඡායාරූප යාළුවෝ අතරේ යවලා විනෝදයක් ලබන්න හෝ ප්‍රේම සම්බන්ධය කැඩුණම පලිගන්න හිතාගෙන.

හේතුව මොකක් වුණත් යෞවනයෙක් දුරකථනයෙන් එවැනි පණිවිඩ යවනවා නම් වැටෙන්නේ ලොකු කරදරයක. “එක පණිවිඩයක් හෝ පින්තූරයක් ඇති ලොකු විනාශයක් කරන්න” කියා එක පොතක සඳහන් වෙනවා.—CyberSafe.

ඡායාරූපයක් වෙන කෙනෙක්ට යැව්වට පස්සේ ඒ ගැන තමන්ට කිසිම දෙයක් කරන්න බැහැ කියා හුඟදෙනෙක් තේරුම්ගන්නේ නැහැ. 18 හැවිරිදි යෞවනියකට සිදු වූ දේ ගැන ඇමරිකාවේ අපරාධ විමර්ශන අංශය මෙසේ වාර්තා කරනවා. “ඇය නිරුවත් ඡායාරූපයක් දුරකථනය හරහා තම පෙම්වතාට යැවූ පසු ඔහු එය ඇගේ පාසැලේ සිසුන් බොහෝදෙනෙක් අතරේ බෙදාහැරියා. ඒ සිසුන් එම ඡායාරූපය යොදාගෙන ඇයට මානසිකව වධ දෙමින් හිරිහැර කළා. අන්තිමේදී ඇය සිය දිවි නසාගත්තා.”

අසභ්‍ය පණිවිඩ සහ පින්තූර යැවීම දඬුවම් ලැබිය හැකි වරදක්. සමහර රටවල, දරුවෙක් තවත් දරුවෙක්ට එවැනි පින්තූරයක් යැව්වත් ඔහු හෝ ඇය බාල වයස්කාර කෙනෙක් වුණත් වරදකරුවෙක් වෙනවා. එවැනි අයව කාමාතුරයන්ගේ ලැයිස්තුවට පවා ඇතුළත් කරනවා. දරුවාගේ දුරකථන සබඳතාව ලියාපදිංචි කර තිබෙන්නේ ඔබේ නමින් නම් හෝ මෙවැනි ක්‍රියා වැලැක්වීමට ඔබ යම් ක්‍රියාමාර්ග නොගැනීම නිසා හෝ දෙමව්පියෙක් හැටියට ඔබටත් වගකියන්න සිදු වෙයි.

 මොනවද කරන්න පුළුවන්?

පැහැදිලි නීති දාන්න. දරුවන් දුරකථනය පාවිච්චි කරන විදිහ ඔබට පාලනය කරන්න බැරි වුණත් ඔබ දමා තිබෙන නීති හා ඒවා කැඩුවොත් ලැබෙන දඬුවම් ගැන ඔවුන්ට කියන්න. දෙමාපියෙක් හැටියට දරුවෙක් දුරකථනය පාවිච්චි කරන විදිහ ගැන හොයලා බලන්න ඔබට අයිතියක් තියෙනවා.—එෆීස 6:1 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ගැටලුවේ බරපතළකම කියා දෙන්න. ඔබට දුව හෝ පුතාගෙන් මෙහෙම අහන්න පුළුවන්. “ෆෝන් එකෙනුත් නරක වැඩ වෙනවලු නේද? ඒ කොහොමද?” “ඔයා හිතන විදිහට මොන වගේ ෆොටෝද හොඳ නැත්තේ?” “සමහර රටවල දරුවෙක් නිරුවත් ඡායාරූපයක් යාළුවෙක්ට යැව්වත් ඒක ගණන් ගන්නේ අපරාධයක් හැටියට. ඔයා මොකක්ද ඒ ගැන හිතන්නේ?” “ෆෝන් එකෙන් ඒ වගේ දෙයක් කරන එක පහත් වැඩක් කියලා ඔයා හිතනවද?” ඒ ප්‍රශ්නවලට දරුවා දෙන උත්තරවලට කල්පනාකාරීව ඇහුම්කන් දෙන්න. දුරකථනයෙන් යමක් යවන්න කලින් දෙසැරයක් සිතීමේ ඇති වැදගත්කම පෙන්වා දෙන්න.—හෙබ්‍රෙව් 5:14 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

දුරකථනයෙන් යමක් යවන්න කලින් දෙසැරයක් සිතීමේ ඇති වැදගත්කම පෙන්වා දෙන්න

හානිය පෙන්වා දෙන්න. දුවට මේ විදිහට කියන්න පුළුවන්. “හිතන්න ගැහැනු ළමයෙක්ට එයාගේ පෙම්වතා ‘ෆෝන් එකෙන් නරක දේවල් කරන්න’ බල කරනවා කියලා. ඒ වගේ වෙලාවට එයා මොනවද කරන්න ඕනේ? පෙම්වතා තරහ වෙයි කියලා එයාට ඕන දේ කරනවද? ඒ වගේ කෙනෙක් එක්ක සම්බන්ධය දිගටම තියාගන්නවද නැත්නම් නවත්වනවද? වැඩිහිටියෙක්ට මේ ගැන කියන්න ඕනෙද?” මේ කාරණා ගැන හොඳින් හිතලා බලන්න ඔබේ දුවට උදව් කරන්න. පුතාටත් මේ උපදෙස්ම අදාළ කරගන්න.—ගලාති 6:7 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

හරි විදිහට හිතන්න උදව් කරන්න. දරුවගෙන් මේ විදිහට අහන්න. ‘හොඳ නමක් තියෙන එක ඔයාට කොයි තරම් වැදගත්ද? ඔයාට ඕනේ අනිත් අය ඔයා කොයි වගේ කෙනෙක් කියලා හිතනවටද? කෙනෙක්ව ලැජ්ජ කරන්න හිතාගෙන එයාගේ නරක පින්තූරයක් ඔයා වෙන කෙනෙක්ට යැව්වොත් ඔයා කරපු දේ හරියි කියලා ඔයාට හිතෙනවද? ඔයා ඒක නොකෙරුව නම් හොඳයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?’ “නිදොස් හෘදය සාක්ෂියක්” තියාගන්න ඔබේ දරුවට උදව් කරන්න.—1 පේතෘස් 3:16.

හොඳ ආදර්ශයක් වෙන්න. බයිබලයේ සඳහන් වෙන්නේ ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තියෙන කෙනෙක් නිර්මල, කුහකකමින් තොර කෙනෙක් කියලයි. (යාකොබ් 3:17) ඔබ ඒ වගේ කෙනෙක් කියලා ඔබ කටයුතු කරන විදිහෙන් පේනවද? එක පොතක සඳහන් වුණේ “අසභ්‍ය පින්තූර හෝ එවැනි දේවල් තියෙන වෙබ් අඩවි නොබැලීමෙන් අපි දරුවන්ට ආදර්ශයක් වෙන්න ඕනේ” කියලයි.—CyberSafe.

^ par. 5 වැඩි විස්තර www.mr1310.com/si යන වෙබ් අඩවියෙන් “ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක භයානකද?” යන ලිපියෙන් ලබාගන්න පුළුවන්. (බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න)