Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

දික්කසාදය දරුවන්ට දුකක්

දික්කසාදය දරුවන්ට දුකක්

 එකිනෙකා එක්ක පෑහිලා වැඩ කරන්න බැරි යුවළකට හිතෙන්න පුළුවන් එයාලා දික්කසාද වෙන එක දරුවන්ට හොඳයි කියලා. එතකොට “දරුවන්ට හැමදාම අපේ රණ්ඩු දිහා බලාගෙන ඉන්න වෙන්නේ නැහැ” කියලා එයාලා කියයි. ඒක හරිද?

 දික්කසාදය දරුවන්ට බලපාන්නේ කොහොමද?

 සමීක්ෂණවලින් පැහැදිලි වෙනවා දෙමව්පියන් දික්කසාද වුණාම ඒක දරුවන්ගේ ජීවිතවලට ලොකු පහරක් එල්ල කරනවා කියන දේ. ඒ වගේ දරුවන්:

  •   ඉක්මනින් කේන්ති ගන්නවා. මානසික පීඩනය, කාන්සාව අද්දකිනවා

  •   තමන්ටත් අනිත් අයටත් හානියක් වෙන විදිහට හැසිරෙනවා

  •   ඉස්කෝලේ වැඩ හරියට කරන්නේ නැහැ නැත්නම් ඉස්කෝලේ යන එක අත්හැරලා දානවා

  •   ඉක්මනින් අසනීප වෙනවා

 ඒ වගේ දරුවන් හිතනවා අම්මායි, තාත්තායි දික්කසාද වුණේ එයා නිසා කියලා. එහෙම නැත්නම් දික්කසාද වෙන එක නතර කරන්න එයාට මොනවා හරි කරන්න තිබුණා කියලත් හිතනවා.

 දෙමව්පියන් දික්කසාද වුණ එක දරුවන් වැඩිහිටි වයසට ආවාට පස්සෙත් එයාලට බලපාන්න පුළුවන්. තමන්ගේ කිසි වටිනාකමක් නැහැ එහෙම නැත්නම් කාවවත් විශ්වාස කරන්න බැහැ කියන හැඟීම් එක්ක ඒ වගේ අය ලොකු සටනක් කරනවා. කවදා හරි දවසක එයාලත් විවාහ වෙලා විවාහ ජීවිතේ ප්‍රශ්න අද්දකිද්දී දික්කසාදය තමයි එකම විසඳුම කියලා එයාලටත් හිතෙන්න පුළුවන්.

 මේක මතක තියාගන්න: දික්කාසාදය ගැන හිතන සමහර යුවළයන් කිව්වත් ඒකෙන් දරුවන්ට හොඳක් වෙනවා කියලා සමීක්ෂණවලින් ඒක ඇත්තක් කියලා ඔප්පු වෙලා නැහැ. “දික්කසාදය නිසා දරුවන් මානසිකව වැටෙනවා” කියලා ළමා සුරැකුම් පිළිබඳ ප්‍රවීණයෙක් වන පෙනෙලපි ලීච් කියනවා. a

 බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.

 මං දික්කසාද වුණොත් මගේ දරුවා දැන් ඉන්නවාට වඩා සතුටින් ඉඳියිද?

 සමහරු කියයි “ඔව්” කියලා. ඒත් අමතක කරන්න එපා දෙමව්පියන්ට හැඟෙන විදිහට නෙමෙයි දරුවෙක්ට හැඟෙන්නේ කියලා. දික්කසාදය ගැන හිතන කෙනෙක්ට ඕනෙ අලුත් ජීවිතයක් පටන්ගන්න. ඒත් දරුවෙක්ට ඕනෙ එයා අම්මායි, තාත්තායි එක්ක දැනටමත් ගත කරන ජීවිතේ ආරක්ෂා කරගන්න.

 දික්කසාදය දරුවන්ට බලපාන විදිහ අධ්‍යයනය කරලා ලියපු එක පොතක මෙහෙම කියනවා. “එක දෙයක් පැහැදිලියි. දෙමව්පියන් දික්කසාද වුණ දරුවන් ‘දැන් එයාලා ඉන්නේ කලින්ට වඩා සතුටින්’ කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා කියන්නේ ‘මං සතුටින්, නිදහසේ හිටපු කාලේ අවසන් වුණේ මගේ දෙමාපියන් දික්කසාද වුණ දවසේ’ කියලයි.” ඒ පොතේ තවදුරටත් මෙහෙම කියනවා. “දරුවාට කිට්ටුවෙන්ම හිටපු දෙන්නාගේ බැඳීම දැන් බිඳිලා ගිහින් නිසා එයාට කලින් දැනුණ සුරක්ෂිත හැඟීම නැති වෙනවා.”—The Unexpected Legacy of Divorce.

 මේක මතක තියාගන්න: දෙමව්පියන් දික්කසාද වුණාට පස්සේ දරුවෙක් කලින්ට වඩා සතුටින් ඉන්නවා කියලා කියන්න බැහැ.

 බයිබල් ප්‍රතිපත්තිය: “බිඳුණු සිතක් ඇට වියළවයි.”—හිතෝපදේශ 17:22.

 දරුවාව බලාගන්න වගකීම බෙදාගෙන කරන එක ගැන මං මතක තියාගන්න ඕනෙ මොනවාද?

 දික්කසාද වුණ සමහර දෙමව්පියන් උත්සාහ කරනවා දික්කසාදයට කලින් එයාලා දරුවාව බලාගන්න වගකීම හවුලේ කළා වගේ දික්කසාදයෙන් පස්සෙත් කරන්න. ඒත් ඒක ලේසි නැහැ. සමීක්ෂණවලින් හොයාගෙන තියෙන විදිහට:

  •   දික්කසාද වුණ දෙමව්පියන් දරුවන් එක්ක කාලේ ගත කරන්නේ අඩුවෙන්

  •   හුඟක් වෙලාවට දික්කසාදයෙන් පස්සේ දෙමව්පියන් දරුවන්ට දෙන මඟ පෙන්වීම්වල එකඟතාවක් නැහැ. ඒ නිසා අම්මා කියන දේට වඩා වෙනස් දෙයක් තමයි තාත්තා කියන්නේ

  •   දික්කසාද වුණ දෙමව්පියන් දරුවාට ඕනෙ දෙයක් කරන්න ඉඩ දෙනවා. එහෙම වෙන්නේ දික්කාසාදය නිසා දරුවාට අසාධාරණයක් වුණා කියලා එයාලට හිතෙන නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් සමහර වෙලාවට එයාලට දැනෙන වෙහෙස නිසයි

 අම්මායි, තාත්තායි දික්කසාද වුණ නිසා ‘එයාලා කියන දේ අහන්න ඕනෙ නැහැ’ කියලා දරුවෙක්ට හිතෙන්න පුළුවන්. හැමදාටම එකට ඉන්නවා කියලා එයාලා දුන්න පොරොන්දුව එයාලා කඩ කළා නම් ‘මං මොකටද එයාලා කියන දේ අහන්නේ’ කියලා දරුවා හිතයි.

 මේක මතක තියාගන්න: හවුලේ දරුවාව බලාගන්න එක දික්කසාද වුණ දෙමව්පියන්ට ලේසි නැහැ. ඒත් දරුවාට ඒක ඊට වඩා අමාරුයි.

 බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔවුන් තුළ කලකිරීමක් ඇති වේ.”—කොලොස්සි 3:21.

 ඊට වඩා හොඳ විසඳුමක් තියෙනවාද?

 දික්කසාදයෙන් පස්සේ අලුත් ජීවිතයක් පටන්ගන්න දෙන්නාම ලොකු වෙහෙසක් දරන්න ඕනේ. ඒ වෙහෙස විවාහය රැකගන්න යොදවන එක ඊට වඩා ගොඩක් වටිනවා. එක පොතක මෙහෙම සඳහන් වෙනවා. “විවාහ වුණ යුවළක් අතරේ ප්‍රශ්න තියෙන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ ප්‍රශ්නවලින් එයාලට කවදාවත් ගොඩ එන්න බැහැ කියලා. ප්‍රශ්න තිබුණත් එකිනෙකාව අත්හරින්නේ නැතුව ඉන්න යුවළයන් කාලයත් එක්කම ඒ ප්‍රශ්න විසඳගෙන සතුටින් ජීවත් වෙනවා.” (The Case for Marriage) ඒ හැම දෙයක්ම බලද්දී පැහැදිලියි වෙන් වෙන්නේ නැතුව විවාහය රැකගන්න දෙමව්පියන්ගේ දරුවන් සතුටින්, දේවල් හොඳින් කරගෙන යන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා.

 ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කිසිම හේතුවක් නිසා කෙනෙක්ට දික්කසාද වෙන්න බැහැ කියලා. වේශ්‍යාකමක් සිද්ධ වුණොත් දික්කසාද වෙන්න අවසර තියෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 19:9) ඒත් බයිබලයේ මෙහෙමත් කියනවා. “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.” (හිතෝපදේශ 14:15) විවාහ ජීවිතේ බරපතළ ප්‍රශ්න අද්දකින නිසා දික්කසාදය ගැන හිතන යුවළක් එයාලා ඒ තීරණය ගත්තොත් ඒක දරුවන්ට බලපාන විදිහ ඇතුළුව අනිත් හැම පැත්තක් ගැනම හොඳින් හිතන්න ඕනේ.

 දත්මිටි කාගෙන විවාහ ජීවිතේ ගත කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. අත්හරින්නේ නැතුව, සතුටින් විවාහ ජීවිතේ ගත කරන්න සැමියෙක්ට සහ බිරිඳකට උදව් වෙන ගුණාංග වර්ධනය කරගන්නේ කොහොමද කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවියන් තමයි විවාහ සැලැස්ම ඇති කළේ.—මතෙව් 19:4-6.

 බයිබල් ප්‍රතිපත්තිය: “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නේ මමය.”—යෙසායා 48:17.

a Your Growing Child—From Babyhood Through Adolescence කියන පොතෙන්.