Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගැන දෙමව්පියන් දැනගන්න ඕනෙ මොනවාද?

දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගැන දෙමව්පියන් දැනගන්න ඕනෙ මොනවාද?

 වැඩට යන සමහර දෙමව්පියන් තීරණය කරනවා පෙර පාසැල් වයසේ ඉන්න තමන්ගේ දරුවන්ව බලාගන්න දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට භාර දෙන්න. ඔයාගේ දරුවාවත් ඒ වගේ තැනකට භාර දුන්නාට කමක් නැද්ද?

 ඔයා හිතලා බලන්න ඕනෙ පැති

 දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දැම්මොත් දරුවාට මාත් එක්ක තියෙන බැඳීම අඩු වෙයිද? එහෙම වෙන්න පුළුවන්. දරුවෙක්ගේ මුල් අවුරුදු කිහිපයේදී එයාගේ මොළේ ඉක්මනින්ම වර්ධනය වෙනවා. එයා වැඩියෙන්ම ආදරේ කරන්නේ කාටද, වැඩියෙන්ම විශ්වාස කරන්නේ කාවද කියන දේ එයාගේ මනසට කාවදින්නේ ඒ කාලේදියි. ඒ නිසා ඒ කාලේදී තමයි ඔයා වැඩිපුරම කාලයක් දරුවා එක්ක ගත කරන්න ඕනේ.—ද්විතීය කතාව 6:6, 7.

  •    දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දැම්මොත් දරුවා එක්ක දිගටම කිට්ටු බැඳීමක් තියාගන්නේ කොහොමද කියලා දෙමව්පියන් හොඳින් හිතලා බලන්න ඕනේ.

 දරුවාව ඒ වගේ තැනකට දැම්මොත් දරුවා ඔයාව ආදර්ශයට ගන්න එක, ඔයා කියන දේ අහන එක අඩු කරයිද? එහෙම වෙන්න පුළුවන්. “පෙර පාසැල් වයසේ ඉන්න දරුවන් වැඩිපුර කාලයක් එකට ගත කරන තරමට එකිනෙකාව අනුකරණය කරන්න තියෙන ඉඩකඩත් වැඩියි” කියලා එක පොතක කියනවා.—Hold On to Your Kids.

  •    ‘දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දැම්මොත් දරුවාව මට ඔනෙ විදිහට හදාගන්න පුළුවන් වෙයිද’ නැත්නම් ‘දරුවා වෙන අය කියන විදිහට හැදෙයිද’ කියලා දෙමව්පියන් හිතන්න ඕනේ.

 දරුවාව ඒ වගේ තැනකට දැම්මොත් එයා ඉස්කෝලේ යන්න පටන්ගත්තාම ඒක එයාට වාසියක් වෙයිද? වාසියක් තියෙනවා කියලා සමහරු හිතනවා. ඒත් තවත් සමහරු කියනවා දරුවාව ඒ වගේ තැනකට යවන එක එයාගේ ඉගෙනීමේ හැකියාවට ඒ තරම් ලොකු බලපෑමක් කරන්නේ නැහැ කියලා. මිනිසුන් මොන වගේ අදහස් දැරුවත් දරුවන් පිළිබඳ මනෝ චිකිත්සකයෙක් වන පෙනෙලපි ලීච් මෙහෙම කියනවා. “දරුවාගේ ජීවිතේ සාර්ථක වෙන්නේ එයා ඉස්කෝලෙන් ලබන අධ්‍යාපනයෙන් විතරයි කියලවත් පුළුවන් තරම් අඩු වයසෙන් එයාව ඉස්කෝලෙට දාන එකෙන් කියලවත් හිතන්න එපා. එහෙම හිතන්න ගියොත් ඒකෙන් තේරෙන්නේ දරුවා ඉපදුණ දවසේ ඉඳන් ඔයා දරුවාට දුන්නු පුහුණුව, උගන්වපු දේවල් ඔයා අඩු තක්සේරු කරනවා කියලයි.”

  •   දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දාන්න කලින් ඒ වගේ තැනකට දරුවාව ඇත්තටම දාන්න ඕනෙද, ඒකෙන් ප්‍රයෝජන තියෙනවාද කියලා දෙමව්පියන් හිතලා බලන්න ඕනේ.

 ඔයාට නැත්නම් ඔයාගේ සැමියට/බිරිඳට රස්සාවකට යන්නේ නැතුව ගෙදර ඉඳන් දරුවාව බලාගන්න පුළුවන්ද? සමහර පවුල්වල අම්මයි, තාත්තයි දෙන්නාම රස්සාවට යන්නේ මූලික අවශ්‍යතා පිරිමහගන්න ඕන නිසාම නෙමෙයි, අත දිගහැරලා වියදම් කරන්න තියෙන කැමැත්ත නිසයි. ඒත් ඔයාට වැඩියෙන්ම වටින්නේ ඔයාගේ දරුවාවද නැත්නම් හිතේ හැටියට වියදම් කරන්න පුළුවන් වෙන එකද?

  •   දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දාන්න කලින් දෙමව්පියන් හිතලා බලන්න ඕනෙ වියදම් අඩු කරගෙන දෙන්නාගෙන් එක් කෙනෙක්ට හරි ගෙදර ඉඳන් දරුවාව බලාගන්න පුළුවන්ද කියලා.

 දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දානවාද නැද්ද කියලා දෙමව්පියන් තීරණය කරන්න ඕනෙ ඒකේ තියෙන වාසි අවාසි ගැන හිතලා බැලුවාට පස්සෙයි. හැම පැත්තක් ගැනම හිතලා බැලුවාට පස්සේ දරුවාව ඒ වගේ තැනකට දාන එක තමයි හොඳම දේ කියලා ඔයා හිතුවොත් ඔයා මොනවාද කරන්න ඕනේ?

 ඔයාට කරන්න පුළුවන් දේවල්

 බයිබලේ කියන්නේ “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි” කියලා. (හිතෝපදේශ 14:15) ඒ ප්‍රතිපත්තිය මනසේ තියාගෙන දරුවාව බලාගන්න භාර දෙන්නේ කාටද, කොයි වගේ තැනකටද කියලා හොඳට හිතලා බලන්න.

 දරුවාව බලාගන්න භාර දෙන්න පුළුවන් කාටද?

  •   සමහර දෙමව්පියන් තීරණය කරනවා ගෙදරක තියෙන පොඩි මධ්‍යස්ථානයකට තමන්ගේ දරුවාව භාර දෙන්න. ඒ වගේ තැන්වල දරුවන් ටිකදෙනෙක්ව බලාගන්න එක් කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා.

  •   සමහර දෙමව්පියන් දරුවාව නෑදෑයෙක් එක්ක එහෙමත් නැත්නම් අඳුරන වෙනත් කෙනෙක් එක්ක තියලා යනවා. තවත් අය ගෙදරට ඇවිල්ලා දරුවාව බලාගන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්නවා.

 ඔයා දරුවාව බලාගන්න කාට භාර දෙන්න තීරණය කළත් ඒකේ වාසි සහ අවාසි තියෙනවා. ඒ නිසා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට හරි වෙනත් කෙනෙක්ට හරි දරුවාව බලාගන්න භාර දුන්න දෙමව්පියන් එක්ක කතා කරන එක හොඳ දෙයක්. බයිබලෙත් කියනවා “එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක” කියලා.—හිතෝපදේශ 13:10.

 දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දරුවාව දාන්න ඔයා තීරණය කළොත් ඔයාට මොනවාද කරන්න පුළුවන්?

 ඒ මධ්‍යස්ථානය ගැන තොරතුරු හොයලා බලන්න

  •   ඒක රජයේ ලියාපදිංචි කරපු ආයතනයක්ද, මිනිසුන්ට ඒ ආයතනය ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද, ඒකට මිනිසුන් අතරේ තියෙන්නේ මොන වගේ පිළිගැනීමක්ද කියලා හොයලා බලන්න.

  •   ඒ මධ්‍යස්ථානය පිරිසිදු, ආරක්ෂාසහිත තැනක්ද කියලා හොයලා බලන්න.

  •   දරුවන් එතනට ගියාම කරන්න යන්නේ මොනවාද කියලා හොයලා බලන්න. a

 බලාගන්න ඉන්න අය ගැන තොරතුරු හොයලා බලන්න

  •   එයාලා ලබලා තියෙන්නේ මොන වගේ පුහුණුවක්ද? මුල් ළමා විය සංවර්ධනය ගැන ප්‍රථමාධාර දෙන එක ගැන කෘත්‍රිම ශ්වසනය දෙන එක ගැන එයාලා පුහුණුවක් ලබලා තියෙනවාද?

  •   යම් අපරාධයක් සම්බන්ධයෙන් පොලිස් වාර්තාවල දරුවාව බලාගන්න යන අයගේ නම් ලියවිලා තියෙනවාද?

  •   ඒ මධ්‍යස්ථානයේ ඉන්න අයව නිතර නිතර මාරු කරනවාද? එහෙම කරනවා නම් ඔයාගේ දරුවාට හැම තිස්සෙම අලුත් කෙනෙක්ට හුරු වෙන්න සිද්ධ වෙනවා.

  •   දරුවන් බලාගන්න ඉන්න එක් කෙනෙකුට දරුවෝ කීදෙනෙක්ව බලාගන්න තියෙනවාද? එයාට දරුවෝ හුඟදෙනෙක්ව බලාගන්න තියෙනවා නම් ඔයාගේ දරුවාට හොඳ අවධානයක් දෙන්න එයාට බැරි වෙනවා. දරුවෙක්ගේ වයස, හැකියාවන්ට අනුව එයාට දෙන්න ඕනෙ අවධානයත් වෙනස් වෙනවා කියලා මතක තියාගන්න.

  •   දරුවාට සම්බන්ධ කාරණා ගැන ඔයාට එයාලත් එක්ක විවෘතව කතා කරන්න පුළුවන්ද? එයාලත් එයාලට තියෙන ගැටලු ගැන ඔයාත් එක්ක විවෘතව කතා කරනවාද?

a උදාහරණයකට දරුවාව දවස තිස්සේම TV එකක් ඉස්සරහා ඉන්දවලා තියයිද? එහෙම නැත්නම් දරුවාගේ මනස වර්ධනය කරන විදිහේ, දරුවාට ව්‍යායාමයක් ලැබෙන විදිහේ දේවල් දරුවාට කරන්න දෙයිද?