Skip to content

තීරණ ගැනීමේ නිදහස ගැන බයිබලයේ කියන්නේ මොකක්ද? දෙවියන් හැම දේම පාලනය කරනවද?

තීරණ ගැනීමේ නිදහස ගැන බයිබලයේ කියන්නේ මොකක්ද? දෙවියන් හැම දේම පාලනය කරනවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දෙවියන් අපි වෙනුවෙන් තීරණ ගන්නේ නැහැ. ඒ වගේම අපේ අනාගතය තීරණය කරන්න දෛවයට බැහැ. තීරණ ගැනීමේ නිදහස දෙවියන් අපිට දීලා තියෙනවා. බයිබලේ ඒ ගැන කියන දේ අපි බලමු.

  •   යෙහෝවා දෙවියන් මිනිසාව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුවයි. (උත්පත්ති 1:26) සහජ හැකියාව මත රඳා සිටින සත්තු වගේ නෙවෙයි මිනිසාට ආදරය, යුක්තිය වගේ දේවල් ගැන අවබෝධයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ නිර්මාණකරු වගේ අපිටත් තීරණ ගැනීමේ නිදහස තියෙනවා.

  •   අපි අනාගතයේ මොකද කරන්නේ කියලා තීරණය කිරීමට අපිට පුළුවන්. ‘දෙවිගේ හඬට සවන් දී ජීවනයට යන මාර්ගය තෝරගන්න’ කියලා බයිබලය අපිට දිරිගන්වනවා. (ද්විතීය කතාව 30:19, 20) තීරණ ගැනීමේ නිදහස අපිට නැත්නම් අපිට ඒ දේ කරන්න බැහැ. තමන්ට කීකරු වෙන්න කියලා යෙහෝවා දෙවියන් අපිට බල කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කියන්නේ “අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්” වෙනවා කියලයි.—යෙසායා 48:18.

  •   අපි සාර්ථක වෙන්නේ හෝ අසාර්ථක වෙන්නේ දෛවය නිසා නෙවෙයි. අපි කරන යමක් සාර්ථක වෙන්න නම් අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. “ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න” කියලා බයිබලයේ උනන්දු කරනවා. (දේශනාකාරයා 9:10) මොකද ‘උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙනවා.’—හිතෝපදේශ 21:5.

 තීරණ ගැනීමේ නිදහස අපිට යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක්. අපි දෙවිට ප්‍රේම කරන්නේ මුළු හිතෙන්මද කියලා පෙන්නන්න ඒ නිසා අපිට අවස්ථාව ලැබිලා තියෙනවා.—මතෙව් 22:37.

හැම දෙයක්ම පාලනය කරන්නේ දෙවියන් නෙවෙයිද?

 සියලු බලය හිමි එකම තැනැත්තා යෙහෝවා දෙවියන් කියලා බයිබලයේ කියනවා. (යෝබ් 37:23; යෙසායා 40:26) නමුත් ඔහු ඒ බලය යොදාගෙන හැම දෙයක්ම පාලනය කරන්නේ නැහැ. උදාහරණයකට, තම සෙනඟට සතුරුකම් කළ බැබිලෝනිවරුන්ට දඬුවම් කිරීමට යෙහෝවා දෙවියන් හදිසි වුණේ නැහැ. “මම මාවම පාලනය කරගත්තෙමි” කියලා යෙහෝවා දෙවියන් කියනවා. (යෙසායා 42:14) අද ජීවත් වෙන ගොඩක් අය අනික් අයට නිතර කරදර කරනවා. යම් කාලයකට දෙවියන් ඒ අය ගැන ඉවසනවා. හැබැයි ඔහු හැමදාම ඒ වගේ ඉවසන්නේ නැහැ.—ගීතාවලිය 37:10, 11.