Skip to content

බයිබලයේ තොරතුරු වෙනස් කරලාද?

බයිබලයේ තොරතුරු වෙනස් කරලාද?

 නැහැ. සියවස් ගාණක් තිස්සේම බයිබලයේ මුල් පිටපත්වල අත්පිටපත් සකස් කරලා තිබුණේ දිරායන ලියවිලිවල වුණත් ඒවායේ අදහස්වල කිසිම වෙනසක් වෙලා නැහැ කියලා ඒවා සසඳලා බලද්දී පැහැදිලි වෙනවා.

ඒ කියන්නේ පිටපත් කරද්දී කිසිම වැරැද්දක් වෙලා නැද්ද?

 අද වෙන කොට බයිබලයේ පැරණි අත්පිටපත් දහස් ගාණක් හොයාගෙන තියෙනවා. ඒවා අතරින් සමහර ඒවාවල යම් වෙනස්කම් නැතුවම නෙවෙයි. ඒත් ඒවා හරිම සුළු වැරදි. ඒකෙන් පේන්නේ ඒවා පිටපත්කරුවන් අතින් වුණු අත්වැරදීම් කියලයි. ඒකෙන් මූලික අදහස කිසිම විදිහකින් වෙනස් වෙලා නැහැ. ඒ වුණත් බරපතළ වැරදි කීපයකුත් හොයාගෙන තියෙනවා. ඒවා අත්වැරැද්දකට වඩා වුවමනාවෙන්ම බයිබලයේ තියෙන පණිවිඩය වෙනස් කරන්න ගත්ත උත්සාහයන් කියලා පැහැදිලියි. උදාහරණ දෙකක් බලමු.

  1.   සමහර පැරණි බයිබල් පරිවර්තනවල 1 යොහන් 5:7 සඳහන් කරලා තියෙන්නේ මෙහෙමයි. ‘පියාණෝ, වාක්‍යාණෝ සහ ශුද්ධාත්මයාණෝ ස්වර්ගයේ වාසය කළා. ඒ තුන්දෙනාම එක් කෙනෙක්.’ ඒත් පිළිගත් අත්පිටපත් සෝදිසි කරද්දී මුල් පිටපතේ ඒ අදහස තිබුණේ නැහැ කියලා පැහැදිලියි. ඒ කියන්නේ පස්සේ කාලේදී ඒ වචන වුවමනාවෙන්ම ඇතුළත් කරලා කියන එකයි. a ඒ නිසා අද තියෙන නිවැරදි බයිබල් පරිවර්තනවල ඒ අදහස ඉවත් කරලා තියෙනවා.

  2.   බයිබලයේ පැරණි අත්පිටපත්වල දෙවියන්ගේ නම අවස්ථා දහස් ගාණක සඳහන් කරලා තියෙනවා. ඒත් අද තියෙන හුඟක් පරිවර්තනවල දෙවියන්ගේ නම වෙනුවට “ස්වාමීන් වහන්සේ,” “දෙවියන් වහන්සේ” කියලා සඳහන් කරලා තියෙනවා.

බයිබලයේ තවත් වැරදි තියෙන එකක් නැහැ කියලා ස්ථිරව කියන්න පුළුවන් කොහොමද?

 මේ වෙන කොට පැරණි බයිබල් අත්පිටපත් විශාල ප්‍රමාණයක් හොයාගෙන තියෙන නිසා පිටපත් කරද්දී වුණ වැරදි හඳුනගන්න දැන් ලේසියි. b ඒ අත්පිටපත් සසඳලා බලද්දී බයිබලයේ නිවැරදිභාවය ගැන හෙළි වෙලා තියෙන්නේ මොකක්ද?

  •   පැරණි ගිවිසුම විදිහට හුඟක් අය හඳුන්වන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ තොරතුරු ගැන විශාරදයෙක් වන විලියම් ග්‍රීන් කිව්වේ මෙහෙමයි. “පුරාණයේ තිබුණ කිසිම ලියවිල්ලක තොරතුරු මේ තරම් නිවැරදිව පිටපත් කරලා නැහැ කියලා ස්ථිරවම කියන්න පුළුවන්.”

  •   නව ගිවිසුම විදිහට හුඟක් අය හඳුන්වන ග්‍රීක ශුද්ධ ලියවිල්ල ගැන බයිබල් විශාරදයෙක් වන එෆ්. එෆ්. බෲස් කිව්වේ මෙහෙමයි. “හුඟක් අය බයිබලයේ නිවැරදිභාවය ගැන ප්‍රශ්න කළත් ඇතැම් ජනප්‍රිය සාහිත්‍ය කෘතීන්වල නිවැරදිභාවය ගැන වැඩිදෙනෙක් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒත් ඒ ජනප්‍රිය සාහිත්‍ය කෘතීන්වලට වඩා බයිබලයේ නිරවද්‍යතාව ඔප්පු කරන්න ඕනෑ තරම් සාක්ෂි තියෙනවා.”

  •   බයිබල් අත්පිටපත් සම්බන්ධයෙන් විශාරදයෙක් වන ෆ්‍රෙඩ්රික් කෙන්යන් මෙහෙම කියනවා. “කෙනෙක්ට බයිබලය අතට අරන් කිසිම සැකයන් නැතුව කියන්න පුළුවන් මගේ අතේ තියෙන්නේ දෙවියන්ගේ වචනය කියලා. සියවස් ගාණක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට බයිබලය අතිනත ආවත් ඒකේ තියෙන අදහස් ඒ විදිහටම රැකිලා තියෙනවා.”

බයිබලයේ තොරතුරු නිවැරදිව පිටපත් වුණා කියන්න තියෙන්නේ තවත් මොන වගේ සාක්ෂිද?

  •   යුදෙව් සහ ක්‍රිස්තියානී පිටපත් කරන්නන් දෙවියන්ගේසෙනඟ කරපු වැරදි හංගන්නේ නැතුව මුල් ලියවිලිවල තියෙන විදිහටම ඒවා පිටපත් කළා. c (ගණන් කතාව 20:12; 2 සාමුවෙල් 11:2-4; ගලාති 2:11-14) ජාතියක් විදිහට යුදෙව්වන් අකීකරු වුණු අවස්ථා ගැනත් ඒ විදිහටම පිටපත් කරලා තියෙනවා. ඒ වගේම මිනිසුන්ගේ බොරු ඉගැන්වීම් සහ චාරිත්‍ර වැරදියි කියලා මුල් පිටපත්වල තිබුණ දේ අයින් කරන්නේ නැතුව එයාලා ඒවා ඒ විදිහටම පිටපත් කළා. (හොෂෙයා 4:2; මලාකි 2:8, 9; මතෙව් 23:8, 9; 1 යොහන් 5:21) එයාලා විශ්වාසවන්තව එයාලගේ වගකීම ඉටු කරලා තියෙනවා කියලත් දෙවියන්ගේ වචනය ගැන එයාලට ලොකු ගෞරවයක් තිබුණා කියලත් ඒකෙන් පැහැදිලියි.

  •   දෙවියන් ඔහුගේ අදහස් බයිබලයට ඇතුළත් කළා නම් ඒකේ නිවැරදිභාවයත් ඔහු ආරක්ෂා නොකර ඉඳියිද? d (යෙසායා 40:8; 1 පේතෘස් 1:24, 25) දෙවියන්ට ඕන වුණේ අතීතයේ හිටපු අය විතරක් නෙවෙයි අපිත් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා දකින්න නිසා ඔහු ඒක අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා. (1 කොරින්ති 10:11) බයිබලයේ කියන මේ දේ බලන්න. “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.”—රෝම 15:4.

  •   යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ අත්පිටපත්වලින් උපුටා දැක්වීම් කළා. එහෙම කරද්දී ඒවාවල නිවැරදිභාවය ගැන එයාලට කිසිම සැකයක් තිබුණේ නැහැ.—ලූක් 4:16-21; ක්‍රියා 17:1-3.

a “කෝඩෙක්ස් සයිනයිටිකස්,” “කෝඩෙක්ස් ඇලෙක්සැන්ඩ්‍රිනස්,” වතිකානු අත්පිටපත් අංක 1209, මුල් “ලතින් වල්ගේට්,” සිරියැක් භාෂාවෙන් තියෙන “ෆිලෝසිනියන් හාක්ලියන්” අනුවාදය, “සිරියැක් පෙෂිට්ටා” යන බයිබල් අනුවාදයන්වලත් ඒ අදහස නැහැ.

b උදාහරණෙකට නව ගිවිසුම හැටියට හුඟක් අය හඳුන්වන ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ ග්‍රීක අත්පිටපත් 5,000කටත් වඩා හොයාගෙන තියෙනවා.

c දෙවියන්ව නියෝජනය කරපු ඔහුගේ සේවකයන්ව කිසි වරදක් නැති පරිපූර්ණ අය විදිහට බයිබලයේ හඳුන්වලා නැහැ. ඒ වෙනුවට ඒකේ සඳහන් වෙන්නේ “පව් නොකරන කිසි මනුෂ්‍යයෙක් නැත” කියලයි.—1 රාජාවලිය 8:46.

d බයිබලයට ඇතුළත් කරන්න ඕනෙ දේවල් වචනයක් ගානේ දෙවියන් බයිබල් ලේඛකයන්ට කිව්වේ නැහැ. ඒ වෙනුවට අවශ්‍ය තොරතුරු එයාලට දැනුම් දුන්නා.—2 තිමෝති 3:16, 17; 2 පේතෘස් 1:21.