Skip to content

යුදෙව්වන්ව සමූල ඝාතනය කරද්දී දෙවියන් එය නැවැත්තුවේ නැත්තේ ඇයි?

යුදෙව්වන්ව සමූල ඝාතනය කරද්දී දෙවියන් එය නැවැත්තුවේ නැත්තේ ඇයි?

 ඒ ගැන අහද්දී, කියවද්දී එහෙම දෙයක් වුණේ ඇයි, දෙවියන් ඒක නතර කළේ නැත්තේ ඇයි කියන ප්‍රශ්න මනසට නැඟෙනවා. තවත් සමහරු කියන්නේ ඒ ම්ලේච්ඡ ඝාතනය නතර කරන්න දෙවියන් මැදිහත් නොවුණු නිසා දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න බැහැ කියලයි.

මිනිසුන් දරන අදහස හා බයිබලේ ඒ ගැන කියන දේ

 වැරදි අදහස: යුදෙව්වන්ව සමූල ඝාතනය කරන්න දෙවියන් ඉඩහැරියේ ඇයි කියලා අහන එක වැරදියි.

 බයිබලේ කියන දේ: දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුණු අයත් දුෂ්ටකම පවතින්න දෙවියන් ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා ඇහුවා. බයිබලයේ සඳහන් හබක්කුක් ඉන් එක් කෙනෙක්. එයා යෙහෝවා දෙවිගෙන් මෙහෙම ඇහුවා. “ඔබ මේ නපුරුකම් දෙස බලා සිටින්නේ කෙසේද? මා බලන බලන සෑම තැනම සොරකම්ද මැරවරකම්ද සිදු වෙයි. මගේ දෑසින් මේ දුෂ්ට දේවල් දකින්න ඔබ මට ඉඩහරින්නේ ඇයි? මෙතරම් කෝලහල අඬදබර සිදු වන්නේ මන්ද?” (හබක්කුක් 1:3) ඒ ප්‍රශ්න ඇහුවා කියලා දෙවියන් හබක්කුක්ට තරවටු කළේ නැහැ. ඒවෙනුවට ඒ ප්‍රශ්න බයිබලේට ඇතුළත් කරන්න අවස්ථාව දුන්නා.

 වැරදි අදහස: මිනිස්සු දුක් වේදනා විඳින එක ගැන දෙවියන්ට කිසි ගානක් නැහැ.

 බයිබලේ කියන දේ: දෙවියන් දුෂ්ටකම්වලට කොහෙත්ම කැමති නැහැ. (හිතෝපදේශ 6:16-19) දුෂ්ටකම් නිසා දුක් විඳින අය ගැන දෙවිට ලොකු දුකක් දැනෙනවා. උදාහරණයකට අතීතයේදී පොළොව පුරා දුෂ්ටකම දරුණු විදිහට තිබුණු කාලයක “යෙහෝවා දෙවිගේ සිතට මහත් වේදනාවක්” දැනුණා කියලා බයිබලේ කියනවා. (උත්පත්ති 6:5, 6) යුදෙව්වන්ව සමූල ඝාතනය කරද්දී ඒ ගැන දෙවියන්ට ලොකු දුකක් දැනුණා කියන එක ගැන කිසිම සැකයක් නැහැ.—මලාකි 3:6.

 වැරදි අදහස: යුදෙව් සමූල ඝාතනය දෙවිගෙන් ලැබුණු දඬුවමක්.

 බයිබලේ කියන දේ: අතීතයේදී නම් දෙවියන් දඬුවමක් හැටියට යෙරුසලම විනාශ කරන්න රෝමවරුන්ට ඉඩහැරියා. (මතෙව් 23:37–24:2) හැබැයි ඒ සිද්ධියෙන් පස්සේ දෙවියන් කිසිම ජාතියක් විශේෂ ජාතියක් හැටියට තෝරගත්තෙවත් දඬුවම් ලබන්න සුදුසුයි කියලා නියම කළේවත් නැහැ. දෙවිට යුදෙව්වන් හා අනිත් ජාතීන් අතර කිසි වෙනසක් නැහැ.—රෝම 10:12.

 වැරදි අදහස: ප්‍රේමණීය සියලු බලැති දෙවි කෙනෙක් ඇත්තටම ඉන්නවා නම් යුදෙව් සමූල ඝාතනය සිදු වෙන්නේ නැහැ.

 බයිබලේ කියන දේ: දුක් වේදනාවලට හේතුව දෙවියන් නෙමෙයි. ඒ දේවල්වලට දෙවියන් යම් කාලෙකට ඉඩහැරලා තියෙනවා විතරයි.—යෝබ් 34:10; යාකොබ් 5:11.

යුදෙව්වන්ව සමූල ඝාතනය කරන්න දෙවියන් ඉඩහැරියේ ඇයි?

 මිනිස් ඉතිහාසයේ ආරම්භයේදී දෙවියන්ගේ පාලනය සම්බන්ධයෙන් යම් ප්‍රශ්න මතු කළා. ඒ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලබා දීම සඳහා කාලයකට යක්ෂයාට මේ පොළොව පාලනය කරන්න දෙවියන් ඉඩහැරියා. ඒ නිසා දැන් මේ පොළොව පාලනය කරන්නේ දෙවියන් නෙමෙයි, යක්ෂයායි. (ලූක් 4:1, 2, 6; යොහන් 12:31) යුදෙව් සමූල ඝාතනය ඇතුළු මේ ලෝකයේ තියෙන දුක් වේදනාවලට හේතුව ඒකයි. කොහොමවුණත් බයිබලේ සඳහන් වැදගත් කරුණු දෙකක් තේරුම්ගැනීමෙන් දෙවියන් ඒ සමූල ඝාතනයට ඉඩහැරියේ ඇයි කියලා තේරුම්ගන්න පුළුවන්.

  1.   දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ තීරණ ගැනීමේ නිදහස ඇතුවයි. මුල් මිනිස් යුවළ වුණු ආදම් හා ඒවට දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා පැහැදිලිව කිව්වා. හැබැයි දෙවිට කීකරු විය යුතුයි කියලා දෙවියන් එයාලට බල කළේ නැහැ. දෙවියන් දීපු නිදහස ඒ දෙන්නා වැරදි විදිහට පාවිච්චි කළා. දෙවිගේ මඟ පෙන්වීම් නැතුව ජීවිතේ ගත කරන්න එයාලා තීරණය කළා. ඒ තීරණයේ නරක ප්‍රතිඵල මුළු මිනිස් වර්ගයාටම බලපෑවා. (උත්පත්ති 2:17; 3:6; රෝම 5:12) එදා ඉඳලා අද වෙනකම් මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් තීරණය කරලා තියෙන්නෙත් දෙවිගේ මඟ පෙන්වීම් නැතුව ජීවිත ගත කරන්නයි. අද මිනිසුන් මෙච්චර දරුණු දේවලට මුහුණ දෙන්න ඒකත් හේතු වෙලා තියෙනවා. එක පොතක ඒ ගැන මෙහෙම කියනවා. “ලෝකේ මෙච්චර ප්‍රශ්න තියෙන්නේ දෙවියන් ලබා දුන් තීරණ ගැනීමේ නිදහස අපි වැරදි විදිහට පාවිච්චි කරන නිසයි.” (Statement of Principles of Conservative Judaism) දෙවිගේ මඟ පෙන්වීම් නැතුව මිනිසුන්ට සාර්ථක වෙන්න බැහැ කියන එක තේරුම් කරලා දෙන්නයි දෙවියන් දුක් වේදනා පවතින්න ඉඩහැරලා තියෙන්නේ. ඒ නිසා මේ ලෝකේ සිද්ධ වෙන දරුණු අපරාධ වළක්වන්න දෙවියන් මැදිහත් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.

  2.   හැම දුක් වේදනාවක්ම දෙවියන් නිමා කරනවා. යුදෙව් සමූල ඝාතනය ඇතුළු අනිකුත් දරුණු දේවලින් මිය ගිය මිලියන ගණනක්දෙනාට නැවත ජීවිතය ලබා දෙන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම ඒ බිහිසුණු අද්දැකීම යළි කිසි දිනක මතකයට නැඟෙන්නේ නැහැ කියලා දෙවියන් පොරොන්දු වෙනවා. (යෙසායා 65:17; ක්‍රියා 24:15) දෙවියන්ට මිනිසුන් කෙරෙහි මහත් ප්‍රේමයක් තියෙන නිසා ඔහු ඒ පොරොන්දු ඉටු කරන බවට නිසැකයි.—යොහන් 3:16.

 දෙවියන් දුක් වේදනා පවතින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලත් දුක් වේදනා නිමා කරන්නේ කොහොමද කියලත් තේරුම්ගෙන සිටීමෙන් සමූල ඝාතන වැනි බිහිසුණු දේවල් අද්දුටු බොහෝදෙනෙකුට දෙවියන් කෙරෙහි නොසැලෙන විශ්වාසයකින් ඉන්න පුළුවන් වෙලා තියෙනවා.