Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

ගීතාවලිය 23:4 - “මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්”

ගීතාවලිය 23:4 - “මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්”

 “මම අඳුරු තැනිතලාවක ගමන් කළත් කිසිවකට භය නොවන්නෙමි. මන්ද ඔබ මා සමඟය. ඔබේ කෙවිටද සැරයටියද මට සැනසීමකි.”—ගීතාවලිය 23:4, ‘නව ලොව පරිවර්තනය.’

 “මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.”—ගීතාවලිය 23:4, ‘පැරණි අනුවාදය.’

ගීතාවලිය 23:4 අදහස

 දෙවියන් තමන්ගේ සෙනඟ අමාරු තත්වයන්වලට මුහුණ දෙද්දී වුණත් එයාලව ආදරෙන් රැකබලා ගන්නවා. මේ බයිබල් පදයේ දෙවියන් තමන්ට නමස්කාර කරන අයව රැකබලා ගන්න විදිහ එඬේරෙක් එයාගේ බැටළුවන්ව රැකබලා ගන්න විදිහට සමාන කරලා තියෙනවා. a ඒ වගේම දෙවියන්ගේ සේවකයන් ජීවිතේ මුහුණ දෙන අමාරු තත්වයන්, කටුක අද්දැකීම් මේ පදයේ සමාන කරලා තියෙන්නේ අඳුරු තැනිතලාවකට. ඒ මොන තත්වයට මුහුණ දුන්නත් දෙවියන් එයාලත් එක්කම ඉන්නවා කියලා දැනෙන නිසා එයාලට කිසිම බයක්, තනිකමක් දැනෙන්නේ නැහැ.

 ඉස්සර එඬේරෙක් තමන්ගේ බැටළුවන්ව දරුණු වනසතුන්ගෙන් ආරක්ෂා කරගන්න කෙවිටක් හරි දණ්ඩක් හරි පාවිච්චි කළා. ඒ වගේම එඬේරෙක් ළඟ එක කෙළවරක් කොක්කක හැඩය වුණ දිග සැරයටියකුත් තිබුණා. බැටළුවන්ට යන්න ඕන පාර පෙන්නන්න හරි උන්ව අනතුරකින් බේරගන්න හරි ඒක පාවිච්චි කළා. යෙහෝවා දෙවියනුත් ඒ විදිහටම ආදරණීය එඬේරෙක් වගේ තමන්ට නමස්කාර කරන අයව ආරක්ෂා කරලා එයාලට මඟ පෙන්නනවා. ජීවිතේ අමාරුම කාලවලදී වුණත් යෙහෝවා දෙවියන් හුඟක් විදිවලින් එයාලට උදව් කරනවා.

  •   දෙවියන් ඔහුගේ වචනය වන බයිබලය පාවිච්චි කරලා එයාලට අවශ්‍ය මඟ පෙන්වීම් සහ සහනය දෙනවා.—රෝම 15:4.

  •   දෙවියන් එයාලගේ යාච්ඤාවලට ඇහුම්කන් දීලා හිත සන්සුන්ව තියාගන්න උදව් කරනවා.—ෆිලිප්පි 4:6, 7.

  •   දෙවියන් තමන්ගේ සේවකයන්ව පාවිච්චි කරලා එයාලව දිරිගන්වනවා.—හෙබ්‍රෙව් 10:24, 25.

  •   එයාලා දැන් මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම අනාගතේදී විසඳනවා කියලා හොඳ බලාපොරොත්තුවක් දීලා තියෙනවා.—ගීතාවලිය 37:29; එළිදරව් 21:3-5.

ගීතාවලිය 23:4 අවට පද

 23වෙනි ගීතිකාව රචනා කරපු දාවිත් තරුණ කාලේ එඬේරෙක්. පස්සේ කාලෙක එයා ඊශ්‍රායෙලයේ රජ වුණා. (1 සාමුවෙල් 17:34, 35; 2 සාමුවෙල් 7:8) දාවිත් මේ ගීතිකාව පටන්ගන්නේ යෙහෝවා දෙවියන් ආදරණීය එඬේරෙක් වගේ තමන්ට නමස්කාර කරන අයට මඟ පෙන්නනවා, එයාලව පෝෂණය කරනවා සහ ප්‍රාණවත් කරනවා කියලයි.—ගීතාවලිය 23:1-3.

 ගීතාවලිය 23:4 දෙවියන් දෙන ආරක්ෂාව ගැන කියද්දී දාවිත් දෙවියන්ට ඔහු කියලා කතා කරන එක නවත්තලා ඔබ කියලා කතා කරන්න පටන්ගන්නවා. දාවිත් කරපු ඒ පුංචි වෙනසෙන් පේනවා එයාට යෙහෝවා දෙවියන් එක්ක කොච්චර කිට්ටු බැඳීමක් තිබුණාද කියලා. දෙවියන් තමන් ගැන සැලකිලිමත් කියලත් තමන් මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම දෙවියන් දන්නවා කියලත් දාවිත් දැනගෙන හිටියා. ඒ නිසා එයා කිසිම දේකට බය වුණේ නැහැ.

 ගීතාවලිය 23:5 සහ 6 ඡේදවලට එද්දී දාවිත් එයා පාවිච්චි කරන උදාහරණය වෙනස් කරනවා. එතන ඉඳන් එයා කතා කරන්නේ ආගන්තුක සත්කාරය පෙන්නන කෙනෙක් සහ අමුත්තෙක් ගැනයි. කැමැත්තෙන්ම ආගන්තුක සත්කාරය පෙන්නන කෙනෙක් තමන්ගේ අමුත්තාට ගෞරවයෙන් සලකනවා වගේ යෙහෝවා දෙවියන් දාවිත්ට සලකනවා. අඩුම තරමේ දාවිත්ගේ සතුරන්ටවත් යෙහෝවා දෙවියන්ගෙන් එයාට ලැබෙන ආදරය, සැලකිල්ල නවත්තන්න බැහැ. යෙහෝවා දෙවියන්ගේ ආදරය සහ යහපත්කම තමන්ගේ මුළු ජීවිත කාලේ පුරාවටම අද්දකින්න ලැබෙනවා කියන විශ්වාසෙන් දාවිත් මේ ගීතිකාව අවසන් කරනවා.

 යෙහෝවා දෙවියන් තමන්ගේ සේවකයන් ගැන කොච්චර ආදරයක්, සැලකිල්ලක් පෙන්නනවාද කියලා හිතින් මවාගන්න 23වෙනි ගීතිකාව උදව් වෙනවා.—1 පේතෘස් 2:25.

a යෙහෝවා කියන දෙවියන්ව බයිබලේ ආදරණීය එඬේරෙක් විදිහට විස්තර කරලා තියෙනවා. ඒ වගේම ඔහුට නමස්කාර කරන අයව බැටළුවන්ට සමාන කරලා තියෙනවා.—ගීතාවලිය 100:3; යෙසායා 40:10, 11; යෙරෙමියා 31:10; එසකියෙල් 34:11-16.