Skip to content

වෝර්වික්වල පින්තූර 1 (2014 මැයි සිට අගෝස්තු දක්වා)

වෝර්වික්වල පින්තූර 1 (2014 මැයි සිට අගෝස්තු දක්වා)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිව් යෝර්ක්, වෝර්වික්වල ඔවුන්ගේ අනාගත ලෝක මූලස්ථානය ඉදි කරනවා. 2014 මැයි සිට අගෝස්තු දක්වා ස්වේච්ඡා සේවකයන් වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල, පරිපාලන කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල, C සහ D නේවාසික ගොඩනැඟිලි කඩිනමින් ඉදි කරමින් ඉන්නවා. මේ තියෙන්නේ ඒ වැඩ සිද්ධ වෙන අතරතුරේ ගත්ත පින්තූරවල එකතුවක්.

වෝර්වික් ගොඩනැඟිලි සංකීර්ණය.

  1. වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

  2. අමුත්තන්ගේ වාහන සඳහා රථ ගාල

  3. නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

  4. B නේවාසික ගොඩනැඟිල්ල

  5. D නේවාසික ගොඩනැඟිල්ල

  6. C නේවාසික ගොඩනැඟිල්ල

  7. A නේවාසික ගොඩනැඟිල්ල

  8. පරිපාලන කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

2014 මැයි 1 - වෝර්වික් වැඩබිම

ඉඩමේ නිරිතදිග කෙළවරේ ඉඳලා උතුරු පැත්ත බලද්දී පේන්නේ ඉදි කිරීමේ ගොඩනැඟිලිවලට එහායින් තියෙන ස්ටර්ලිං ෆොරස්ට් විලයි. ඉදිරියෙන් තියෙන්නේ ඉදි වෙමින් තියෙන D නේවාසික ගොඩනැඟිල්ලේ පහළම තට්ටුවයි. ඒ විලට කිට්ටුවෙන් තියෙන්නේ C නේවාසික ගොඩනැඟිල්ලට අවශ්‍ය කොන්ක්‍රීට් හදන ස්ථානයයි.

2014 මැයි 14 - වැඩබිමට එහායින් තියෙන පෙරනිමැයුම් ස්ථානය

සේවකයන් අංග සම්පූර්ණ බාත්රූම් එකක් හදමින් ඉන්නවා. ඒකට සැකිල්ල, බිත්තිවලට අල්ලන බෝඩ්, ජල නළ පද්ධතිය, නාන ටැංකිය, විදුලි පද්ධතිය වගේ හැම දෙයක්ම ඇතුළත්. සම්පූර්ණයෙන්ම හැදුවාට පස්සේ බාත්රූම් එක අරගෙන ගිහින් ගොඩනැඟිල්ලට සවි කරනවා.

2014 මැයි 22 - වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

ජල නළ කාර්මිකයන් පහළම තට්ටුවේ වැඩ කරමින් ඉන්නවා. ව්‍යාපෘතිය අතරතුරේදී සේවකයන් 500කට විතර කෑම බෙදන්නේ මෙතනදියි. මේ ගොඩනැඟිල්ලේ අනිත් තැන්වල ආසන 300ක් විතර තියෙනවා. ව්‍යාපෘතිය අවසන් වුණාම තාවකාලිකව සකස් කරලා තියෙන කෑම කාමර ඉවත් කරලා වාහන නඩත්තු කරන අංශය හැටියට මේක පාවිච්චි කරනවා.

2014 ජූනි 2 - වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

කණ්ඩායමක් වහලේ පැළ හිටවන්න සූදානම් වෙනවා. ඒක බලශක්තිය පිරිමහන්න, ධාරානිපාත වැස්සෙන් වෙන හානිය අඩු කරන්න සහ වැසි ජලයේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන්න උදව් වෙනවා.

2014 ජූනි 5 - පරිපාලන කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

මෙතන ඉදි වෙන්නේ එකට සම්බන්ධ කරපු ගොඩනැඟිලි තුනක්. මේකේ සම්පූර්ණ බිම් ප්‍රමාණය වර්ග මීටර් 42,000ක්. දකින්න තියෙන්නේ පිටින් ආපු කොන්ත්‍රාත්කරුවන් කුළුණු හදන්න කලින් යකඩ කම්බි බඳින ආකාරයයි.

2014 ජූනි 18 - වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

සේවකයන් ගෑස් පන්දම පාවිච්චි කරලා වහලට ඇස්ෆෝල්ට් ෂීට් සවි කරනවා. ඔවුන් වහලෙන් වැටෙන්නේ නැති වෙන්න ආරක්ෂිත උපාංග පැළඳගෙන ඉන්නවා.

2014 ජූනි 24 - C නේවාසික ගොඩනැඟිල්ල

කලින් සකස් කරපු දේවල් වායු සමීකරණ පද්ධතියට සවි කරනවා. වෝර්වික් ව්‍යාපෘතියේ වැඩ කරන සාක්ෂිකරුවන්ගෙන් සියයට 35ක් විතර කාන්තාවන්.

2014 ජූලි 11 - නිව් යෝර්ක්, මොන්ට්ගොමරි

කලින් නිම කරපු දේවල් ගබඩා කරන්නේ මෙතනයි. ව්‍යාපෘතියට උදව්වක් හැටියට මේ ස්ථානය ගත්තේ 2014 පෙබරවාරි මාසයේදියි. ඇතුළේ ඉඩ ප්‍රමාණය වර්ග මීටර් 20,000ක්. පින්තූරයේ ඉහළ දකුණු කෙළවරේ සුදු පාටින් පේන්න තියෙන්නේ ගෙනියන්න සූදානම් කරපු බාත්රූම් කීපයක්.

2014 ජූලි 24 - C නේවාසික ගොඩනැඟිල්ල

පේන්න තියෙන්නේ ඊසානදිග පැත්තේ දර්ශනයක්. මූලස්ථානයේ සේවය කරන 200දෙනෙකුට විතර මේ ගොඩනැඟිල්ලේ නවාතැන් පහසුකම් ලැබෙනවා. හුඟක් කාමරවල දිග, පළල වර්ග මීටර් 30ත් 55ත් අතර වෙනවා. කාමරයකට මුළුතැන්ගෙයක්, බාත්රූම් එකක් සහ පුංචි බැල්කනියක් ඇතුළත්.

2014 ජූලි 25 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

ඉදි කිරීම් සඳහා පොළොව සකස් කරනවා. පින්තූරයේ ඉහළ වම් පැත්තේ පේන්න තියෙන්නේ ගල් කඩන යන්ත්‍රයක්. ව්‍යාපෘතියට අවශ්‍ය විවිධ ප්‍රමාණයේ ගල් සකස් කරන්නේ මෙතන. ව්‍යාපෘතිය ඉවර වෙද්දී වෝර්වික් ඉඩමෙන් ඝනමීටර් 2,60,000ක පස් අයින් කරලා තියෙයි. මේ පස් ඉවත් කරන්න දවසකට ට්‍රක් රථ 23ක් විතර පාවිච්චි කරනවා.

2014 ජූලි 30 - වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

වහලේ පැළ හිටවනවා.

2014 අගෝස්තු 8 - වෝර්වික් වැඩබිම

උස ක්‍රේන් එකක ඉඳලා කාර්යාල ගොඩනැඟිල්ලට ඉහළින් බලද්දී පෙනෙන දර්ශනයක්. පහළ වම් කෙළවරේ තියෙන්නේ අමුත්තන්ගේ වාහන සඳහා රථ ගාලයි. හැම දවසකම එන සේවකයන්ගේ වාහන එතන ගාල් කරනවා. සමහර සාක්ෂිකරුවන් දවස් තුන හතරක් වැඩ කරන්න පැය 12ක් තිස්සේ ලොකු දුරක් ගෙවාගෙන වාහනයෙන් එනවා.

2014 අගෝස්තු 13 - වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

තාවකාලික කෑම කාමරයේ වැඩ අවසන් වෙන්න ළඟයි. වීඩියෝ ස්ක්‍රීන් (තාම සවි කරලා නැහැ) සහ සිවිලිමේ සවි කරන ස්පීකර් මගින් එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයේ පවත්වන උදෑසන නමස්කාරයටත් වෙනත් වැඩසටහන්වලටත් සහභාගි වෙන්න මෙහේ ඉන්න අයට අවස්ථාව ලැබෙනවා.

2014 අගෝස්තු 14 - පරිපාලන කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

පළවෙනි මහලේ බිමට කොන්ක්‍රීට් ස්ලැබ් එක දානවා. දකුණු පැත්තේ ඉන්න කෙනා කොන්ක්‍රීට් වයිබ්‍රේටර් එකක් පාවිච්චි කරලා කොන්ක්‍රීට් එකේ වායු බුබුළු ඉවත් කරනවා.

2014 අගෝස්තු 14 - පරිපාලන කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

පොළොවෙන් යට තියෙන බිම් මහලේ විදුලි රැහැන් ගෙන යන බට අතුරලා ස්ලැබ් එක දාන්න ලෑස්ති වෙනවා.

2014 අගෝස්තු 14 - පරිපාලන කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

පළවෙනි මහලේ බිමට කොන්ක්‍රීට් ස්ලැබ් එක දාලා ඉවර වෙන්න ළඟයි. ඝනමීටර් 540ක් වන මේ කොන්ක්‍රීට් එක තමයි මෙතෙක් වෝර්වික් ව්‍යාපෘතියේ දාපු ලොකුම කොන්ක්‍රීට් එක. ඉඩමෙදිම හදපු කොන්ක්‍රීට් මිශ්‍රණය ගොඩනැඟිල්ල ළඟට ගේන්න කොන්ක්‍රීට් මිශ්‍ර කරන ට්‍රක් රථ 8ක් පාවිච්චි කළා. පොම්ප දෙකකින් ඒ මිශ්‍රණය දාන්න පැය 5 1/2 විතර ගත වුණා. පින්තූරෙ මැද තියෙන්නේ ගොඩනැඟිල්ලේ පඩි පෙළ තියෙන කුළුණයි.

2014 අගෝස්තු 14 - C නේවාසික ගොඩනැඟිල්ල

වහලේ වටේට කොට තාප්පයක් බඳිනවා. එහායින් පේන්නේ A නේවාසික ගොඩනැඟිල්ලේ බිම් මහල ඉදි කරන ආකාරයයි.

2014 අගෝස්තු 15 - C නේවාසික ගොඩනැඟිල්ල

අංග සම්පූර්ණ බාත්රූම් එකක් ක්‍රේන් එකකින් 3වෙනි මහල ඇතුළට ගන්නවා. වෝර්වික් ව්‍යාපෘතියට හුඟක් දුරට යොදාගන්නේ කලින් නිම කරපු දේවල් නිසා වැඩ බිමේ තදබදයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඉදි කිරීමේ වැඩත් වේගයෙන් සිද්ධ වෙනවා.

2014 අගෝස්තු 20 - C නේවාසික ගොඩනැඟිල්ල

කොන්ත්‍රාත්කරුවන් කලින් හදපු කොන්ක්‍රීට් බිත්ති එකිනෙක සම්බන්ධ කරනවා. කොන්ක්‍රීට් මිශ්‍රණයට පාට ගල්වලා තියෙන නිසා ඒ බිත්තිවල ආපහු තීන්ත ගාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බිත්ති ඉක්මනින්ම සවි කරන්න පුළුවන් නිසා ව්‍යාපෘතියේ වැඩ නියමිත වෙලාවට ඉවර කරන්න ඒක උදව්වක් වෙනවා.

2014 අගෝස්තු 31 - වෝර්වික් වැඩබිම

නිරිතදිග පැත්තෙන් පෙනෙන දර්ශනයක්. ඉදිරියෙන් පේන්නේ D නේවාසික ගොඩනැඟිල්ලේ ඊළඟ තට්ටුව ඉදි කරන්න සූදානම් කරලා තියෙන විදිහයි. ඊට පිටිපස්සෙන් පේන්නේ වැඩ ඉවර වෙන්න ළං වෙලා තියෙන C ගොඩනැඟිල්ලයි.