Skip to content

භාෂා සිය ගණනකින් ඇති වීඩියෝ

භාෂා සිය ගණනකින් ඇති වීඩියෝ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පොත් පත් පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ලෝකේ පුරාම ප්‍රසිද්ධයි. 2014 නොවැම්බර් මාසය වෙද්දී බයිබලය භාෂා 125කට පරිවර්තනය කළ අතර බයිබලේ ඇති තොරතුරු සරලව පහදා දෙන පොත් පත් භාෂා 742කට පරිවර්තනය කළා. දැන් ඔවුන් විවිධ භාෂාවලින් වීඩියෝ නිකුත් කරන්නත් පටන් අරන්. 2015 ජනවාරි මාසය වෙද්දී ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක භාෂා 398කිනුත් ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක භාෂා 569කිනුත් නිකුත් කරන්න ඔවුන්ට පුළුවන් වුණා. මේ වගේ දෙයක් කරන්න ඔවුන් පෙලඹුණේ ඇයි? ඔවුන් ඒ වෑයම සාර්ථක කරගත්තේ කොහොමද?

තව තවත් බයිබල් පාඩම් හඳුන්වා දීම සඳහා අපි ළඟ තියෙන වීඩීයෝ විවිධ භාෂාවලට හඬ කවන්න කියලා 2014 මාර්තු මාසයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය ලොකේ පුරා තියෙන ශාඛා කාර්යාලවලට දැනුම් දුන්නා.

වීඩියෝ එකක් වෙනත් භාෂාවකින් හඬ කවන්න පියවර කිහිපයක් තියෙනවා. මුලින්ම ඒ රටේ පරිවර්තන කණ්ඩායම පිටපත පරිවර්තනය කරනවා. ඊළඟට ඒ පිටපතේ තියෙන චරිතවලට ගැළපෙන හඬවල් තෝරනවා. ඊටපස්සේ ඕඩියෝ වීඩියෝ කණ්ඩායම ඒ පිටපත පටිගත කරලා ඒක සංස්කරණය කරනවා. ඒ වගේම තිරය මත දිස් වෙන කෙටි වාක්‍ය කණ්ඩ තියෙනවා නම් ඒවාත් එම වීඩියෝ එකට ඇතුල් කරනවා. අන්තිමට, පටිගත කළ හඬත් එකතු කරලා, වෙබ් අඩවියට දාන්න පුළුවන් විදිහට ඒක හදනවා. ඊටපස්සේ අපේ වෙබ් අඩවියට ඇතුල් කරනවා.

සමහර ශාඛා කාර්යාලවල මේ සඳහා පටිගත කිරීමේ ශබ්දාගාර සහ ඒ සඳහා පුහුණුව ලැබූ අය ඉන්නවා. ඒත් කුඩා ජන පිරිසක් කතා කරන භාෂා තියෙන දුෂ්කර පළාත්වල පටිගත කිරීමේ පහසුකම් නැත්නම් ඒ දේ කරන්නේ කොහොමද?

ඒ සඳහා මයික්‍රෆෝන් එකක්, පටිගත කිරීමේ මෘදුකාංගයක් සහිත ලැප්ටොප් එකක් සමඟ පුහුණුව ලැබූ කෙනෙක් එවැනි පළාත්වලට ගිහින් නිවසක හෝ නමස්කාර මධ්‍යස්ථානයේ තාවකාලික ශබ්දාගාරයක් සකස් කරගන්නවා. හඬ පටිගත කරද්දී කියවන්න කෙනෙක් ඉන්නවා. ඒ වගේම කියවන කෙනාව පුහුණු කරන්න කෙනෙකුත් පිටපතේ තියෙන විදිහටම කියවනවද කියලා බලන්න කෙනෙකුත් ඉන්නවා. පටිගත කිරීම් අවසන් කර ඒ සඳහා අනුමැතිය ලැබුණට පස්සේ එතැන තියෙන සියලුම උපකරණ රැගෙන තවත් ස්ථානයකට ගිහින් පටිගත කිරීම් කරනවා.

මේ ක්‍රමය නිසා දැන් තුන් ගුණයකට වඩා වැඩි භාෂා ගණනකින් වීඩියෝ නිකුත් කරන්න පුළුවන් වෙලා තියෙනවා.

අපි බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිචාරයක් මේ වීඩියෝවලට ලැබුණා. හුඟාක් අයට එයාලා කතා කරන භාෂාවෙන් මුල්ම වතාවට බලන්න ලැබිලා තියෙන වීඩියෝ, අපේ සංවිධානයෙන් නිකුත් කළ ඒවායි.

ඒ වගේ හඬ කැවූ එක භාෂාවක් තමයි ඕස්ට්‍රේලියාවේ 2,500කට වඩා කතා කරන පිජන්ජජරා භාෂාව. පටිගත කිරීම් කෙරුවේ ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ පළාතක් වන ඇලිස් ස්ප්‍රිං නගරයේ. පටිගත කිරීම් කරන්න උදව් කෙරුව කැලන් තෝමස් මෙහෙම කියනවා. “හැමෝම හරි කැමතියි ඒ වීඩියෝවලට. ටැබ්ලට් එක දැන් එයාලගේ අතේමයි. එයාලා අහනවා තවත් ඒ වගේ වීඩියෝ කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. ඒ භාෂාවෙන් පොත් පත් අඩු නිසා මේ වගේ වීඩියෝ තියෙනවා කියලා දැනගත්තාම එයාලාට ගොඩක් ආස හිතුණා.”

දවසක් කැමරූන්වල සාක්ෂිකරුවන් දෙන්නෙක් ඔරුවකින් ගමනක් යන අතරමඟදී පිග්මි ගෝත්‍රිකයන් හිටිය ගමකට ගිහිල්ලා ගම්මුලාදෑනියා එක්ක කතා කළා. එයා ඒ ගමේ පාසැලේ ගුරුවරයෙක්. ඒ ගම්මුලාදෑනියා කතා කරන භාෂාව බාසා කියලා දැනගත්තාම සහෝදරයෝ ටැබ්ලට් එකෙන් ඒ භාෂාවෙන් ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක පෙන්නුවා. ඒ ගම්මුලාදෑනියා ගොඩාක් සතුටු වෙලා එයාලගෙන් තවත් පොත් පත් ඉල්ලුවා.

ඉන්දුනීසියාවේ එක ගමක හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ ගමේ අයට දුන්න සඟරා පොත් පත් ගමේ ආගමික නායකයා පුච්චලා දැම්මා. නමස්කාර මධ්‍යස්ථානයට ගිනි තියනවා කියලත් ගමේ මිනිස්සු තර්ජනය කළා. ඊටපස්සේ පොලිස් නිලධාරීන් 4දෙනෙක් සාක්ෂිකාරියකගේ නිවසට ගිහින් ඇගෙනුත් ඇගේ පවුලේ අයගෙනුත් ප්‍රශ්න කෙරුවා. ඔවුන්ට ඕනෙ වුණේ නමස්කාර මධ්‍යස්ථානයේ මොනවද වෙන්නේ කියලා දැනගන්න. එතකොට ඒ සහෝදරිය ඉන්දුනීසියානු භාෂාවෙන් “අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?” කියන වීඩියෝ එක පෙන්නුවා.

ඒ වීඩියෝ එක බැලුවාට පස්සේ එක පොලිස් නිලධාරියෙක් මෙහෙම කිව්වා. “ඇත්තටම මේ මිනිස්සුන්ට ඔයාලා ගැන තියෙන්නේ වැරදි වැටහීමක්. ඔයාලා කවුද කියලා එයාලා දන්නේ නෑ.” තවත් පොලිස් නිලධාරියෙක් මෙහෙම ඇහුවා. “මට මේ වීඩියෝ එක ගන්න පුළුවන්ද? එතකොට මට අනිත් අයටත් පෙන්නන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාලා ගැන හරි අවබෝධයක් ලබා දෙනවා.” දැන් පොලීසියේ අයට සාක්ෂිකරුවන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එයාලා සාක්ෂිකරුවන්ට අවශ්‍ය ආරක්ෂාවත් ලබා දෙනවා.

ඔයාලා තවමත් මේ වීඩියෝ බලලා නැත්නම් අදම බලන්න.