Skip to content

පටුනට යන්න

ඔබ විශ්වාස කරන්නේ මොකක්ද?

ඔබ විශ්වාස කරන්නේ මොකක්ද?

බොහෝ ආගමික මූලධර්මවාදීන් විශ්වාස කරන්නේ පෘථිවිය හා එහි ඇති සියල්ල දැනට අවුරුදු දහස් ගණනකට පෙර පැය 24 දවස් හයකින් නිර්මාණය කළ බවයි. නමුත් අදේවවාදීන් විශ්වාස කරන්නේ ජීවය අහම්බෙන් සිදු වූ දෙයක ප්‍රතිඵලයක් කියායි. බයිබලය මිථ්‍යා අදහස් ඇති පොතක් බවත් දෙවි කෙනෙක් නැති බවත් ඔවුන් කියා සිටිනවා. ඔබත් ඉගෙනගෙන තිබෙන්නේ එහෙමද?

එකිනෙකට පටහැනි එම අදහස් වෙනුවට වෙනත් මත දරන බොහෝදෙනෙක්ද සිටිනවා. සමහරවිට ඔබත් එවැනි කෙනෙක් විය හැකියි. ඔබ දෙවියන් විශ්වාස කරන හා බයිබලයට ගරු කරන කෙනෙක් වුණත් ජීවය ඉබේ ඇති වුණා කියා පවසන විද්‍යාඥයන්ගේ මතද අහක දමන්න කැමති නැතුව ඇති. ඔබ දෙමාපියෙක් නම් පරිණාමය ගැන හා විශ්වයේ නිර්මාණය ගැන ඔබේ දරුවන් ප්‍රශ්න අසද්දී ඒවාට පිළිතුරු දෙන්නේ කොහොමද කියා කල්පනා කරනවත් ඇති.

මේ සඟරාවේ අරමුණ මොකක්ද?

ආගමික මූලධර්මවාදීන්ගේ හෝ අදේවවාදීන්ගේ අදහස් සරදමට ලක් කිරීම මෙහි අරමුණ නොවෙයි. ඒ වෙනුවට අප උත්සාහ කරන්නේ ඔබ විශ්වාස කරන දෙයට පදනම් වී ඇති කාරණා නැවත සලකා බැලීමට ඔබව උනන්දු කිරීමයි. අප අවට ලෝකයේ නිර්මාණ ගැන ඔබ කල්පනා නොකළ බයිබලයේ සඳහන් තොරතුරු මේ සඟරාවේ අඩංගු වෙනවා. ජීවය ආරම්භ වූ ආකාරය ගැන ඔබ විශ්වාස කරන දේ කොතරම් වැදගත්ද කියාත් මෙහි කාවද්දනවා.

ඔබ විශ්වාස කරන්නේ බයිබලය මිථ්‍යා අදහස් ඇති පොතක් බව හා බුද්ධිමත් නිර්මාතෘ කෙනෙක් නැති බව පවසන අයගේ අදහස්ද? එසේ නැත්නම් බයිබලයේ ඇත්තටම පවසන්නේ මොනවාද කියා ඔබ සෝදිසි කර බලනවාද? වඩා හොඳ කුමක් විශ්වාස කිරීමද? බයිබලයද නැත්නම් පරිණාමවාදීන්වද? (හෙබ්‍රෙව් 11:1) ඔබම සාක්ෂි කිරා මැන නොබලන්නේ ඇයි?