හිතෝපදේශ 22:1-29

22  වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි.+ හොඳ නමක් දිනාගැනීම රන් රිදීවලටත් වඩා වටින්නේය.+  ධනවතාද දුප්පතාද එක සමානය.+ මන්ද ඔවුන් දෙදෙනාටම ජීවිතය දුන්නේ යෙහෝවා දෙවිය.+  බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.+ නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.+  යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව යටහත්පහත්ව සිටීමෙන් වස්තුවද ගෞරවයද ජීවනයද ලැබේ.+  වංක තැනැත්තාගේ ගමන් මඟෙහි කටු ගස්ද උගුල්ද ඇත.+ එහෙත් තම ජීවිතය රැකගන්නා ඒවායින් ආරක්ෂා වෙයි.+  දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න.+ එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.+  ධනවතා දුප්පතුන්ව පාලනය කරයි.+ ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි.+  අධර්මිෂ්ඨකම වපුරන්නා නරක අස්වැන්නක් නෙළාගනී.+ ඔහුගේ කෲර ආධිපත්‍යය* වැඩි කල් පවතින්නේ නැත.+  කරුණාවන්ත තැනැත්තාට ආශීර්වාද කරනු ලැබේ. මන්ද ඔහු තම කෑම පංගුවෙන් දුප්පතාට කන්න දී ඇත.+ 10  සමච්චල් කරන්නාව එළවා දමන්න. එවිට රණ්ඩු දබරද පැමිණිලිද නින්දාවද පහව යයි.+ 11  සිත පවිත්‍රව තබාගැනීමට කැමැත්තක් දක්වන්නාවූ,+ ප්‍රිය වදන් කතා කරන තැනැත්තා රජුගේ මිතුරෙක් වෙයි.+ 12  යෙහෝවා දෙවි දැනුම ඇති අය දෙස බලා ඔවුන්ව ආරක්ෂා කරයි.+ නමුත් ද්‍රෝහිව කටයුතු කරන අයගේ වචන ඔහු නිෂ්ඵල කරයි.+ 13  “මංසන්ධියේ සිංහයෙක් සිටියි.+ මම එළියට ගියොත් ඌ මාව මරා දමයි” කියා අලසයා පවසයි.+ 14  අනාචාරයේ යෙදෙන ස්ත්‍රියකගේ මුඛය ගැඹුරු වළක් මෙනි.+ යෙහෝවා දෙවිගේ උදහසට ලක් වන තැනැත්තා එම වළට වැටෙයි.+ 15  මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත.+ හික්මවීම නමැති වේවැල* මගින් එය දුරු කළ හැකිය.+ 16  බොහෝ වස්තු රැස් කරගන්නා පිණිස දුප්පතාට වංචා කරන්නාටද+ පොහොසතාට තෑගි දෙන්නාටද අගහිඟකම් ඇති වෙයි.+ 17  ප්‍රඥාවන්තයාගේ වදන් දෙසට ඔබේ කන් යොමු කර+ මා දෙන දැනුම සිතට ගන්න.+ 18  මන්ද ඒ කාරණා ඔබේ සිත තුළම තබාගෙන+ නිතරම ඒ ගැන කතා කරන්නෙහි නම් ඔබ ප්‍රීතියක් ලබන්නෙහිය.+ 19  ඔබ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන පිණිස+ මම අද ඔබව දැනුවත් කළෙමි. 20  මම ඔබට උපදෙස් හා දැනමුතුකම් ලියා දුන්නෙමි.+ 21  එසේ කළේ මේ සැබෑ කියමන් කෙරෙහි ඔබේ විශ්වාසය ගොඩනංවන පිණිසය. දැන් නැවත ඔබව එවූ තැනැත්තා වෙතට ගොස් මේ සත්‍යයන් ඔහු සමඟ බෙදාගන්න.+ 22  දුප්පතාගේ අසරණකම වාසියට ගෙන ඔහුගෙන් සොරකම් නොකරන්න.+ නුවර දොරටුව අසලදී පීඩිත වූවන්ට හිරිහැර නොකරන්න.+ 23  මන්ද යෙහෝවා දෙවිම ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඔවුන්ට සාධාරණය ඉටු කර දෙන්නේය.+ ඔවුන්ගෙන් සොරකම් කරන අයගේ ජීවිත පැහැරගන්නේය.+ 24  ඉක්මනින් කෝප වන තැනැත්තෙකු සමඟ මිත්‍ර නොවන්න.+ හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නෙකු සමඟ ඇසුරු නොකරන්න. 25  ඔහුව ඇසුරු කළොත් ඔබ ඔහුගේ මාර්ගවලට හුරු වී උගුලකට හසු වනු ඇත.+ 26  යමෙකුට අතට අත දී ගිවිසුමක් ඇති කරගෙන+ ණයකට ඇප නොවන්න.+ 27  ඇපය ගෙවීමට ඔබට හැකියාවක් නැත්නම් ඔහු ඔබේ නිදන ඇඳ රැගෙන යයි. ඔබ ඒ තත්වයට පත් විය යුත්තේ මන්ද? 28  පුරාණයේදී ඔබේ මුතුන්මිත්තන්ට උරුම වූ ඉඩම්වල මායිම් වෙනස් නොකරන්න.+ 29  මිනිසෙක් තමා කරන වැඩය දක්ෂ ලෙස කරන්නෙහි නම් ඔහු රජවරුන් ඉදිරියට යන්නේය.+ ඔහු සාමාන්‍ය අය අතරේ නොසිටිනු ඇත.

පාදසටහන්

මූ.අ., “කෝපය නමැති ඔහුගේ වේවැල.”
හිතෝ 13:24හි පාදසටහන බලන්න.