Skip to content

පටුනට යන්න

4වෙනි පාඩම

වගකීමෙන් වැඩ කරන්න

වගකීමෙන් වැඩ කරන්න

වගකීමෙන් වැඩ කරන කෙනෙක් මොන වගේද?

වගකීමෙන් වැඩ කරන කෙනෙක්ව විශ්වාස කරන්න පුළුවන්. ඕනම වැඩක් භාර දුන්නොත් හරි වෙලාවට හරි විදිහට ඒක ඉටු කරනවා.

පොඩි කාලේ ඉඳලාම වගකීමෙන් වැඩ කරන්න දරුවන්ට උගන්වන්න පුළුවන්. එක පොතක කියන දේ බලන්න. ‘ළදරුවෙක් මාස 15ක් වෙද්දී දෙමාපියන් කියන දේවල් කරන්න පටන්ගන්නවා. මාස 18ක් වෙද්දී දෙමාපියන් එක්ක හවුලේ වැඩ කරන්න දක්වන්නේ ලොකු ආසාවක්. දරුවන්ට තියෙන ඒ ආසාව ප්‍රයෝජනයට අරන් හුඟක් දෙමාපියන් අවුරුදු 5ත් 7ත් අතර කාලේදීම දරුවන්ට ගෙදරදොරේ වැඩ උගන්වනවා. පොඩි වුණත් දරුවන් හුඟක් දක්ෂ විදිහට දේවල් කරනවා.’—Parenting Without Borders.

වගකීමෙන් වැඩ කරන එක වැදගත් ඇයි?

සමහර ප්‍රදේශවල දරුවන් තරුණ වයසට ආවාම දෙමාපියන්ගෙන් වෙන් වෙලා තනියම ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒත් එයාලට ඒක කරගන්න බැරුව ආපහු දෙමාපියන් ළඟට එන්න සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී එහෙම වෙන්නේ දෙමාපියන් එයාලට ගෙදරදොරේ වැඩ, අරපිරිමැස්මෙන් සල්ලි පාවිච්චි කරන විදිහ සහ වගකීමෙන් වැඩ කරන විදිහ උගන්වලා නැති නිසයි.

පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට වගකීමෙන් වැඩ කරන්න ඉගැන්නුවොත් එයාලා වැඩිහිටියන් වුණාම දේවල් හොඳින් කරගෙන යයි. පොතක මෙහෙම කියනවා. “අවුරුදු 18ක් වෙන කල්ම දරුවන්ට අතට පයට දේවල් කරලා දුන්නොත් එයාලා ගෙදරින් ගිය දවසක අන්ත අසරණ වෙනවා.”—How to Raise an Adult.

වගකීමෙන් වැඩ කරන්න උගන්වන්න

ගෙදරදොරේ වැඩ පවරන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “වෙහෙස මහන්සි වී කරන සෑම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙයි.”—හිතෝපදේශ 14:23.

සාමාන්‍යයෙන් පොඩි කාලේදී දරුවන් හරිම ආසයි දෙමාපියන් කරන වැඩවලට උදව් කරන්න. ඒ නිසා ඒ කාලේදීම ගෙදරදොරේ වැඩ එයාලට භාර දෙන්න.

දරුවන්ට ඉස්කෝලේ වැඩ ඉහටත් උඩින් තියෙන නිසා ගෙදරදොරේ වැඩ එයාලට භාර දෙන්න සමහර දෙමාපියන් කැමති නැහැ.

හැබැයි ගෙදරදොරේ වැඩ කරන ළමයි තමයි හුඟක් වෙලාවට ඉස්කෝලේ වැඩත් සාර්ථකව කරන්නේ. මොකද ඕනම වැඩක් භාගෙට කරනවා වෙනුවට සම්පූර්ණයෙන්ම කරන්න එයාලා ඉගෙනගෙන තියෙනවා. එක පොතක කියන දේ බලන්න. “දරුවන් අපිට උදව් කරන්න කැමැත්තෙන් ඉන්න කාලේදී එයාලගෙන් උදව් ගත්තේ නැත්නම් වැඩිහිටියන් වුණාමත් අනිත් අයට උදව් කරන්න ඕනෙ නැහැ කියලා එයාලට හිතෙයි. . . . අනිත් අය එයාලගේ වැඩ කරලා දෙන්න ඕනෙ කියලත් එයාලට හිතෙයි.”—Parenting Without Borders.

ගෙදරදොරේ වැඩ කරද්දී ආත්මාර්ථකාමී විදිහට වැඩ කරන්නේ නැතුව අනිත් අයට උදව් කරන්න දරුවන් ඉගෙනගන්නවා. ඒ වගේම තමන් පවුලේ වටිනා සාමාජිකයෙක් කියලත් පවුලේ අය වෙනුවෙන් ඉටු කරන්න තමන්ට යම් වැඩ කොටසක් තියෙනවා කියලත් එයාලා තේරුම්ගන්නවා.

වරදක් කළොත් ඒකේ ප්‍රතිඵල විඳින්න වෙනවා කියලා දරුවන්ට උගන්වන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න. එවිට ඔබ අනාගතයේදී ප්‍රඥාවන්ත කෙනෙකු වන්නෙහිය.”—හිතෝපදේශ 19:20.

දරුවා අතින් වරදක් වුණොත් ඒක හංගන්න එපා. උදාහරණෙකට දරුවා අතින් කාගෙ හරි බඩුවක් කැඩුණොත් ඒ කෙනාගෙන් සමාව ඉල්ලන්න කියලා දරුවාට කියන්න. පුළුවන් නම් ඒක හදලා දෙන්න නැත්නම් අලුත් එකක් අරන් දෙන්න කියලත් දරුවාට කියන්න.

වරදක් වුණොත් ඒකට වග කියන්න ඕනෙ කියලා දරුවන් තේරුම්ගන්නවා නම් එයාලා

  • අවංක වෙන්නත් තමන් අතින් වෙන වැරදි පිළිගන්නත් පෙලඹෙනවා

  • අනිත් අය පිට වරද පටවන්නේ නැහැ

  • නිදහසට කරුණු කියන්නේ නැහැ

  • වරදක් වුණාම සමාව ඉල්ලනවා