Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

ඊශ්‍රායලය, ජොර්දානය සහ පලස්තීනය

මළ මුහුද ටිකෙන් ටික හිඳෙන නිසා හැම අවුරුද්දකම මීටරයක් පමණ ප්‍රමාණයකින් කුඩා වෙනවා. 2050 වෙද්දී ඒක සම්පූර්ණයෙන්ම හිඳෙයි කියලා හිතන බලධාරීන් ඒකට පිළියමක් හොයනවා. උදාහරණයකට, රතු මුහුදෙන් වතුර අරං ලුණු ඉවත් කරලා මිනිසුන්ගේ පරිභෝජනයට දුන්නට පස්සේ ඉතුරු වෙන ලුණු වතුර මළ මුහුදට මුදාහරින්න පුළුවන්ද කියලා හොයලා බලනවා. ඒත් එහෙම කළොත් මළ මුහුදට ආවේණික ලක්ෂණ නැති වෙයි කියලා සමහර අය කියනවා.

ජර්මනිය

හෘදයාබාධ නිසා රෝහල් ගත වෙන අයගේ ගණන අවුරුද්දේ වෙනත් දවස්වලට වඩා නත්තල් දවසේදී 33%කින් පමණ වැඩි වෙනවා කියලා එක් රක්ෂණ සමාගමක් හොයාගත්තා. නත්තල් තෑගි සොයන්න මහන්සි වීම නිසාත් නෑදෑයන් සහ යාළුවන් ඒ අයගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන නිසාත් ඇති වන පීඩනය ඒකට මූලිකවම හේතු වෙන්න ඇති කියලා ඔවුන් හිතනවා.

බ්‍රිතාන්‍යය

අයිස්ලන්තය අවට මුහුදෙන් සොයාගත් මට්ටියෙක් අවුරුදු 405ක් පමණ ජීවත් වෙලා තියෙනවා කියලා බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් මුලදී හිතුවත් වැඩිදුර පර්යේෂණවලින් හොයාගත්තේ ඌ අවුරුදු 507ක් ජීවත් වෙලා තියෙනවා කියලයි. 2006දී අයිස්වල දමා පර්යේෂණ සඳහා ගෙනයද්දී මැරුණු ඒ මට්ටියාව මෙතෙක් වැඩිම කාලයක් ජීවත් වූ සත්වයා * ලෙස නම් කරලා තියෙනවා.

ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්

මේ වසරේ මුල කියුබාවේ හවානා නගරයේ පැවැත්වූ සමුළුවකදී ලතින් ඇමරිකාවට සහ කැරිබියන් දූපත්වලට අයත් රටවල් 33ක් තම රටවල් සාම කලාපය කියලා නම් කළා. එහෙම කළේ ඔවුන් අතර යම් ප්‍රශ්නයක් ඇති වුණොත් සාමයෙන් විසඳගන්න එකඟ වුණු නිසයි. ඒ සමුළුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, බැං කි මූන් මහතාත් සහභාගි වුණා.

^ 7 ඡේ. අවුරුදු දහස් ගණන් ජීවත් වන කොරල් වැනි දේවල් මේ ගණන් බැලීමට ඇතුළත් නැහැ.