Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන්

මානසික ගැටලු ගැන ඔබ දන්නවාද?

මානසික ගැටලු ගැන ඔබ දන්නවාද?

දරුණු මානසික රෝග දෙකක් තියෙනවා කියලා දැනගත්ත ක්ලෝඩියා, ඇයට හැඟුණු විදිහ ගැන මෙහෙම කිව්වා. “මට නිකං හුස්ම හිර වුණා වගේ දැනුණා. අනිත් අය මං ගැන මොනවා හිතයිද කියලා හිතුණාම මට මං ගැනම ලැජ්ජාවක් ඇති වුණා. මට ඒක දරාගන්න ලේසි වුණේ නැහැ.”

ක්ලෝඩියාගේ මහත්තයා මාක් මෙහෙම කිව්වා. “ක්ලෝඩියාට මානසික රෝගයක් තියෙනවා කියලා පිළි අරගෙන ඒකට හැඩගැහෙන්න අපිට සෑහෙන කාලයක් ගියා. වෙනදට වඩා එයාට මගේ උදව් ඕනේ කියලා මං තේරුම්ගත්තා.”

ඔයාට හරි ඔයාගේ පවුලේ කෙනෙකුට හරි මානසික ගැටලුවක් තියෙනවා කියලා දැනගත්තොත් ඔයාට කොහොම දැනෙයිද? බය වෙන්න එපා. මානසික ගැටලුවලට ප්‍රතිකාර තියෙනවා. දැන් අපි ඒ ගැන තොරතුරු ටිකක් බලමු. *

 ඔබ දැනගන්න ඕන කරුණු කීපයක්

“ගොඩක් අය මානසික ගැටලුවලින් පීඩා විඳිනවා. ඒක ඔවුන්ට වගේම ඔවුන්ගේ පවුල්වල අයටත් ලොකු පීඩනයක්. සමීක්ෂණවලට අනුව ලෝක ජනගහනයෙන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් ජීවිතයේ යම් අවස්ථාවකදී මානසික ගැටලුවකින් පීඩා විඳිනවා. මානසික ගැටලු අතරින් වැඩියෙන්ම දකින්න තියෙන්නේ විෂාදයයි. ඒත් කෙනෙක්ගේ එදිනෙදා ජීවිතයට වැඩියෙන්ම බලපෑම් කරන්නේ භින්නෝන්මාදය සහ බයිපෝල කියන මානසික රෝගී තත්වයන් දෙකයි. මානසික ගැටලු තියෙන හුඟදෙනෙක් ඒවා හඳුනාගෙන නැහැ. එහෙමත් නැත්නම් ඔවුන්ට නිසි ප්‍රතිකාර ලැබිලා නැහැ.”—ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO).

මානසික ගැටලු තියෙන හුඟදෙනෙක් ප්‍රතිකාර ලබාගන්න අදිමදි කරන්නේ ඒ වගේ රෝගයක් තියෙන අයව අනිත් අය පහත් කරලා සලකන නිසයි කියලා WHO සංවිධානය වාර්තා කරනවා.

හුඟක් මානසික ගැටලුවලට ප්‍රතිකාර තියෙනවා. ඒත් එක්සත් ජනපදයේ මානසික ගැටලු තියෙන වැඩිහිටියන්ගෙන් 60%ක් පමණ සහ අවුරුදු 8ත් 15ත් අතර දරුවන්ගෙන් 50%ක්ම වාගේ පහුගිය අවුරුද්දේ ප්‍රතිකාර ලබාගෙන නැහැ කියලා මානසික රෝග පිළිබඳ සොයා බලන ආයතනයක් වාර්තා කරනවා.—National Alliance on Mental Illness.

 මානසික ගැටලුවක් කියන්නේ මොකක්ද?

මානසික ගැටලුවක් කියන්නේ සිතන පතන විදිහේ හා හැසිරෙන විදිහේ ඇතිවෙන ලොකු වෙනසක්. ඒ වගේ කෙනෙක්ට හැඟීම් පාලනය කරගන්නත් අමාරුයි. ඒ නිසා එදිනෙදා වැඩකටයුතුවලටත් අනිත් අයත් එක්ක පෑහිලා වැඩ කරන්නත් ඒක ලොකු බාධාවක්.

සමහර පුද්ගලයන්ට වෙනස් ගතිගුණ හා පුරුදු තිබුණාට ඔවුන් මානසික ගැටලුවක් තියෙන අය කියලා කියන්න බැහැ

රෝග ලක්ෂණ කොයි තරම් උත්සන්න වෙනවාද හා ඒක කොයි තරම් කාලයක් පවතිනවාද කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මොකද ඔහු මුහුණ දෙන තත්වයන් හා ඔහුට තියෙන රෝගයේ ස්වභාවය ඒකට බලපානවා. ආගම, ජාතිය, වයස, සංස්කෘතිය, අධ්‍යාපනය හා ආර්ථික මට්ටම මොකක් වුණත් ඕනෑම කෙනෙකුට මානසික ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවා නම් සාමාන්‍ය තත්වයට පත්වෙන්න පුළුවන්. සමහර පුද්ගලයන්ට වෙනස් ගතිගුණ හා පුරුදු තිබුණාට ඔවුන් මානසික ගැටලුවක් තියෙන අය කියලා කියන්න බැහැ.

ප්‍රතිකාර ලබාගන්න

මානසික රෝග පිළිබඳ විශේෂඥයන්ට ගොඩක් මානසික ගැටලුවලට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ නිසා මුලින්ම අද්දැකීම් ලත් දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් රෝගී තත්වය ගැන හැම විස්තරයක්ම දැනගන්න.

රෝගී තත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ වෛද්‍යවරයා නිර්දේශ කරන විදිහටම ප්‍රතිකාර ලබාගන්න කැමති වුණොත් විතරයි. ඒ වගේම රෝගී තත්වය ගැන කතා කරන්න තියෙන බය නැති කරගන්නත් ඕනේ. විශේෂයෙන්ම උපකාර කරන විශේෂඥයන්ට නොසඟවා තොරතුරු කියන එක අත්‍යවශ්‍යයි. රෝගී තත්වය තේරුම්ගන්න, රෝගය නිසා මතු වන ගැටලුවලට මුහුණ දෙන්න අවශ්‍ය උපකාර ලබා දෙන්න හා නොකඩවා බෙහෙත් ගැනීමේ අවශ්‍යතාව තේරුම් කර දෙන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ එහෙම කළොත් විතරයි. ප්‍රතිකාර ලබාගන්න යන අවස්ථාවලදී පවුලේ සාමාජිකයෙකු හෝ කිට්ටු මිතුරෙකුගේ සහය ලබාගන්න.

තමන්ට තියෙන මානසික ගැටලුව එක්ක සාර්ථකව කටයුතු කරන්න හුඟදෙනෙකුට උදව් වෙලා තියෙන්නේ රෝගය ගැන අවබෝධයක් ලබාගැනීම සහ විශේෂඥයන් දුන් ප්‍රතිකාර ඒ ආකාරයෙන්ම ගැනීමයි. ලිපියේ මුලින් සඳහන් කළ මාක් මෙහෙම කියනවා. “ක්ලෝඩියාට මානසික රෝගයක් තියෙනවා කියලා දැනගන්න කලින් අපි මානසික ගැටලු ගැන ඒ තරම් දැනගෙන හිටියේ නැහැ. ඒත් ඒ රෝගය එක්ක කටයුතු කරන්න අපි දැන් ටික ටික හුරු වෙලා තියෙනවා. අපිට දක්ෂ වෛද්‍යවරුන්ගෙන්, පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් ලැබුණු උදව් ලොකු උපකාරයක් වුණා.”

මුලින්ම අද්දැකීම් ලත් දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් රෝගී තත්වය ගැන හැම විස්තරයක්ම දැනගන්න

ක්ලෝඩියා මෙහෙම කිව්වා. “ලෙඩේ ගැන මුලින්  දැනගත්තු වෙලාවේ මගේ නිදහස සම්පූර්ණයෙන්ම නැති වුණා කියලා මට හිතුණා. මේ ලෙඩේ නිසා අපිට ඕන ඕන දේවල් ඉස්සර වගේ කරන්න බැරි එක ඇත්ත. ඒත් බෙහෙත් කරන අය එක්කයි අනිත් අය එක්කයි සහයෝගයෙන් වැඩ කරන හින්දා මගේ ලෙඩේට මුහුණ දෙන්න මට දැන් පුළුවන්. ජීවිතේ ලොකු බාධක වගේ පේන දේවල් පවා ජය ගන්න පුළුවන් කියලා දැන් මම දන්නවා.”

බයිබලයෙන් සහනයක්

බයිබලය ඉගෙනගත්තාම කෙනෙකුට තියෙන ලෙඩ සනීප වෙනවා කියලා බයිබලයේ කියන්නේ නැහැ. ඒත් බයිබලයේ තියෙන උපදෙස් පිළිගත්ත හුඟදෙනෙක් ඒකෙන් සහනයක් සහ ශක්තියක් ලබාගෙන තියෙනවා. මොකද බයිබලයේ කියන්නේ අපිව නිර්මාණය කළ අපේ ප්‍රේමණීය දෙවියන් “බිඳුණු සිත් ඇති අයට” හා “තැළුණු හදවත් ඇති අයට” සහනය ලබා දෙන්න ආශාවෙන් බලාගෙන ඉන්නවා කියලයි.—ගීතාවලිය 34:18.

බයිබලය වෛද්‍ය උපදෙස් තියෙන පොතක් නෙමෙයි. ඒත් ඒකේ තියෙන උපදෙස් පිළිපදිනවා නම් අපිට ඇති වෙන වේදනාකාරී හැඟීම්වලට හා කලකිරෙන තත්වයන්ට හොඳින් මුහුණ දෙන්න අපිට පුළුවන්. ඒ වගේම අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් අපිට පුළුවන්. මොකද ලෙඩක් දුකක් නැති ප්‍රීතිමත් කාලයක් ගැන බයිබලයේ මේ වගේ පොරොන්දුවක් දීලා තියෙනවා. “ඒ කාලයේදී අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය. බිහිරි අයගේ කන් ඇරෙන්නේය. කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය.”—යෙසායා 35:5, 6.

^ 5 ඡේ. මේ ලිපියේ මානසික ගැටලු කියද්දී ඒකට මානසික රෝග වගේම අසාමාන්‍ය පුරුදු හා හැසිරීම් රටාද ඇතුළත් වෙනවා.

^ 32 ඡේ. ‘පිබිදෙව්!’ සඟරාව ප්‍රතිකාර ක්‍රම යෝජනා කරන්නේ නැහැ. ඒත් ක්‍රිස්තියානීන් ලබාගන්නා ප්‍රතිකාර ක්‍රම බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධ ඒවා නොවිය යුතුයි.

^ 40 ඡේ. 2014 මැයි ‘පිබිදෙව්!’ සඟරාවේ “මානසික පීඩනය - ඔබට දරාගන්න අමාරුද?” යන ලිපියත් බලන්න.