Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | මහාචාර්ය ජීන් හුවෑං

ගණිතඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

ගණිතඥයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

ගණිතඥයෙක් වන ජීන් හුවෑං උපත ලැබුවේ 1950දී තායිවානයේ ටයිනාන් නගරයේ. ඔහු තායිවානයේ ජොං ජෙං විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ විශ්‍රාම ලත් මහාචාර්යවරයෙක්. ඇමරිකාවේ කොනෙල් විශ්වවිද්‍යාලයේ විශ්‍රාම ලත් මහාචාර්යවරයෙක් වන ඔහු සංඛ්‍යානය සහ සම්භාවිතාව ගැන පර්යේෂණත් කළා. ඒ වගේම ඔහු සංඛ්‍යානය ගැන හොයාගත්ත තොරතුරු විශාල සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කරපු කෙනෙක් හැටියටත් ප්‍රසිද්ධයි. අදටත් ඔහු ඒ ක්ෂේත්‍රයේ පර්යේෂණ කරනවා. තරුණ කාලයේදී ඔහු පරිණාමය විශ්වාස කළා. ඒත් පසු කාලයකදී ඔහු හිතන විදිහ වෙනස් වුණා. ඔහුගේ වැඩකටයුතු ගැනත් ඔහුගේ ආගමික විශ්වාසයන් ගැනත් අපි ඔහුගෙන් ඇහුවා.

ඔයා ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්තේ මොනවාද?

මං ඉස්කෝලෙදී ජීවීන් පරිණාමය වුණා කියලා ඉගෙනගත්තා. හැබැයි ජීවය මුලින්ම ඇති වුණ විදිහ කවුරුත් කියලා දුන්නේ නැහැ. මගේ අම්මයි තාත්තයි ටාඕ ආගම අදහන්න පටන්ගත්තට පස්සේ එයාලට ආගම උගන්වද්දී මමත් අහගෙන හිටියා. උගන්වපු අයගෙන් ප්‍රශ්නත් ඇහුවා. හැබැයි ඒගොල්ලන් දුන්න උත්තරවලින් මං සෑහීමට පත් වුණේ නැහැ.

ඔයා ගණිතඥයෙක් වෙන්න හිතුවේ ඇයි?

ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම ගණන්වලට හරි ආසයි. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ගණිතය හා සම්භාවිතාව ගැන ඉගෙනගද්දී ඒ ආසාව තවත් වැඩි වුණා. යම් ගැටලුවක් ගණිතයට අනුව පැහැදිලිවම විසඳන්න පුළුවන් වෙද්දී මට දැනුණේ ලොකු සතුටක්.

බයිබලය ගැන ඔයාට උනන්දුවක් ඇති වුණේ කොහොමද?

1978දී මගේ බිරිඳ ජිංහුවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මමත් ඉඳලා හිටලා ඒ සාකච්ඡාවට හවුල් වුණා. ඒ කාලේ අපි හිටියේ ඇමරිකාවේ. ජිංහුවේ එයාගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළෙත් ඒ දවස්වල. ඒ වෙද්දී මං පර්ඩු විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය සම්බන්ධ පර්යේෂණවලට හවුල් වෙලයි හිටියේ.

බයිබලය ගැන ඔයාට හිතුණේ මොනවද?

මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු විදිහට යෙහෝවා දෙවියන් මේ පොළොව හදපු විදිහ ගැන බයිබලයේ තියෙන වාර්තාවට මම හුඟක් ආසයි. දෙවියන් ඒ දේ කළේ කාල පරිච්ඡේද හයක් ඇතුළත කියලා උත්පත්ති පොතේ තියෙනවා. * ඉස්සර කාලේ ප්‍රබන්ධ කතා වගේ නෙමෙයි ඒ වාර්තාව තේරුම්ගන්න හරි ලේසියි. විද්‍යාත්මක තොරතුරුවලටත් හොඳට ගැළපෙනවා. ඒත් අවුරුදු ගාණක් යන කල් මම නිර්මාතෘ කෙනෙක්ව පිළිගන්න කැමති වුණේ නැහැ.

නිර්මාතෘ කෙනෙක්ව පිළිගන්න ඔයා අකමැති වුණේ ඇයි?

නිර්මාතෘ කෙනෙක්ව පිළිගත්තොත් පුංචි කාලේ ඉඳන් අදහපු ආගමට පිටුපානවා කියලයි මට හිතුණේ

පුංචි කාලේ ඉඳලා මං අදහපු ටාඕ ආගමේ ඉගැන්නුවේ නිර්මාතෘ කෙනෙක් නැහැ කියලා. නිර්මාතෘ කෙනෙක්ව පිළිගත්තොත් මං කරන්නේ ටාඕ ආගමට පිටුපානවා වගේ වැඩක් කියලා මට හිතුණා.

ඔයා හිතපු විදිහ වෙනස් වුණේ ඇයි?

ජීවයේ ආරම්භය ගැන හිතද්දී මට තේරුණා පොළොවේ හිටපු මුල්ම ජීවියා හුඟක් සංකීර්ණ වෙන්න ඕනේ කියලා. මොකද ඒ ජීවියාට ජානමය තොරතුරු යොදාගෙන වර්ගයා බෝ කරන්න, ජානමය තොරතුරු නැවත පිටපත් කරන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ටිකක් හිතන්න, සරලම සෛලයක වුණත් තවත් සෛලයක් හදන්න, සෛලයට ශක්තිය ලබා දෙන්න අණුක යන්ත්‍ර (molecular machines) තියෙනවා. ඒ හින්දා පණ නැති දේකින් ඒ වගේ සංකීර්ණ දෙයක් ඉබේ ඇති වුණා කියලා ගණිතඥයෙක් විදිහට මට නම් කොහොමටවත් විශ්වාස කරන්න බැහැ. මොකද ඒ වගේ දෙයක් ඉබේ වෙන්න නම් අහඹු සිදුවීම් ගොඩක් එකපාර වෙන්න ඕනේ.

ඔයාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් ගැන හොයලා බලන්න හිතුණේ ඇයි?

ඒකට හේතුවක් තියෙනවා. කලින් මං සාක්ෂිකරුවන් එක්ක ඉඳලා හිටලා බයිබලය සාකච්ඡා කරලා තිබුණා. වතාවක් 1995දී මං තායිවානයට ගිය වෙලාවක හුඟක් අසනීප වුණා. මගේ බිරිඳ හිටියේ ඇමරිකාවේ. එයා තායිවානයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කතා කරලා මං ගැන කියලා තිබුණා. ඒගොල්ලෝ මාව හොයාගෙන ඉස්පිරිතාලෙට ආවා. ඒ වෙලාවේ මට ඉස්පිරිතාලේ ඇඳක්වත් තිබුණේ නැහැ. එක සාක්ෂිකරුවෙක් මාව හෝටලයක නවත්තලා හොඳට බලාගත්තා. බෙහෙත් ගන්නත් එක්කගෙන ගියා.

එයාලා මට සලකපු විදිහ මගේ හිතට තදින් කාවැදුණා. මීට කලිනුත් සාක්ෂිකරුවන් මගේ පවුලේ අයට උදව් කරපු විදිහ මට මතක් වුණා. එයාලා අනිත් අයට වඩා වෙනස්, එයාලගේ ආගම නිසයි කියලා මට තේරුණා. ඒ නිසා මං දිගටම බයිබලය ඉගෙනගත්තා. ඊළඟ අවුරුද්දේ මං බව්තීස්ම වුණා.

ඔයා ඉගෙනගන්න විෂයයි බයිබලයේ තියෙන දේවලුයි එකිනෙකට ගැටෙන අවස්ථා තියෙනවද?

නැහැ. පහුගිය කාලේ මට අවස්ථාව ලැබුණා ජානවල ක්‍රියාකාරිත්වය ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයන් එක්ක වැඩ කරන්න. ජාන ගැන අධ්‍යයනය කළාම ජීවීන් තුළ සිදු වෙන රසායනික ක්‍රියාවලිය ගැන මට හොඳ අවබෝධයක් ලැබුණා. ඒ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් සැලසුම් කරපු කෙනාට මොන තරම් ප්‍රඥාවක් තියෙන්න ඕනද කියලා මට හිතුණා.

ඒ ගැන උදාහරණයක් දෙන්න පුළුවන්ද?

ඔව්. උදාහරණයකට ඇමීබා වගේ ඒක සෛලික ජීවීන්ගේ ගැහැනු, පිරිමි කියලා වර්ග දෙකක් නැහැ. උන් වර්ගයා බෝ කරද්දී ජානමය තොරතුරු පිටපත් කරලා සෛලය බෙදෙන්න සලස්වනවා. ඒකට කියන්නේ අලිංගික ප්‍රජනනය කියලා. හැබැයි හුඟක් සත්තු, ඔවුන්ගේ වර්ගයා බෝ කරන්නේ ලිංගික ප්‍රජනනයෙන්. ඒකෙදි ගැහැනු සෛලවල තියෙන ජානමය තොරතුරුයි පිරිමි සෛලවල තියෙන ජානමය තොරතුරුයි එකතු වෙනවා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්.

ඒත් තවමත් පරිණාමවාදය පිළිගන්න විද්‍යාඥයන්ට තේරුම්ගන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි, ඒක සෛලික ජීවීන් වර්ගයා බෝ කරන අලිංගික ප්‍රජනන ක්‍රියාවලිය හරියටම වෙද්දී, ඇයි වර්ගයා බෝ කරන්න ලිංගික ප්‍රජනනය කියන සංකීර්ණ ක්‍රියාවලිය ඕන වුණේ කියන එක. ඒත් ස්ත්‍රී සහ පුරුෂ ජාන එකතු වීමෙන් වර්ගයා බෝ වෙන එක දෙවියන් ඇති කරපු සැලැස්මක් කියන එක ගැන මට නම් කිසිම සැකයක් නැහැ.

^ 11 ඡේ. නිර්මාණය සඳහා ගත වුණු කාල පරිච්ඡේද ගැන වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කළ ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ යන සඟරාව බලන්න. එය www.mr1310.com/si වෙබ් අඩවියෙන් කියවන්නත් පුළුවන්.