Skip to content

පටුනට යන්න

වැඩිමහල්ලෙනි, සහෝදරයන්ව පුහුණු කරන්න

වැඩිමහල්ලෙනි, සහෝදරයන්ව පුහුණු කරන්න

“අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.”—දේශ. 3:1.

1, 2. ලෝකෙ පුරාම ඉන්න චාරිකා සේවකයන්ගේ අවධානයට ලක් වෙලා තියෙන්නේ මොන කාරණයද?

 වැඩිමහල්ලන් එක්ක පවත්වන රැස්වීම ඉවර වෙන්න ළං වෙලයි තිබුණේ. වෙහෙසිලා වැඩ කරන වැඩිමහල්ලන් ගැන චාරිකා සේවකගේ හිතේ තිබුණේ ලොකු ආදරයක්. සමහරුන් ඔහුගේ තාත්තාගේ වයසේ. ඒත් වැදගත් කාරණයක් ගැන ඔහු හිටියේ හිතේ කරදරෙන්. ඔහු ඒ අයගෙන් මෙහෙම ඇහුවා. “සහෝදරයන්ව පුහුණු කරන්න ඔයාලා මොන වගේ දේවල්ද කළේ?” චාරිකා සේවක කලින් වතාවේ එහෙම කරන්න තමන්ව දිරිගැන්නුවා වැඩිමහල්ලන්ට මතකයි. “ඇත්තම කියනවා නම් අපිට ඒ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බැරි වුණා” කියලා වැඩිමහල්ලෙක් කියද්දී අනිත් අයත් ඒකට එකඟ වුණා.

2 ඔයාත් වැඩිමහල්ලෙක් නම් ඒ ප්‍රශ්නෙට ඔයාට දෙන්න තියෙන්නෙත් ඒ උත්තරේම වෙන්න පුළුවන්. තරුණ සහ වැඩිහිටි සහෝදරයන්ව පුහුණු කරන්න වැඩිමහල්ලන් මීට වඩා වැඩියෙන් කාලය යොදවන්න ඕනෙ කියලා ලෝකෙ පුරාම ඉන්න චාරිකා සේවකයන්ට පැහැදිලි වෙලා තියෙනවා. ඒත් ඒ වගේ පුහුණුවක් දෙන එක අමාරු දෙයක් වෙන්න පුළුවන්. ඒ ඇයි?

3. (අ) අනිත් අයව පුහුණු කරන එක වැදගත් කියලා බයිබලේ පෙන්නලා තියෙන්නේ කොහොමද? සහෝදරයන්ව පුහුණු කිරීම ගැන අපි හැමෝම උනන්දු වෙන්න ඕනෙ ඇයි? (පාදසටහන බලන්න.) (ආ) අනිත් අයව පුහුණු කරන්න වැඩිමහල්ලන්ට අමාරු වෙන්න පුළුවන් ඇයි?

3 වැඩිමහල්ලෙක් විදිහට සහෝදරයන්ව පුහුණු කරන්න කාලය යොදවන්න ඕනෙ කියලා ඔයා දන්නවා. a සභාවේ අයගේ විශ්වාසය ශක්තිමත් කරන්න, අලුත් සභාවල වගකීම් කරට ගන්න තව සහෝදරයන් ඕනෙ කියලත් ඔයා දන්නවා. (යෙසායා 60:22 කියවන්න.) “අන් අයට ඉගැන්වීම” ඔයාගේ වගකීමක් කියලා බයිබලෙත් කියනවා. (2 තිමෝති 2:2 කියවන්න.) ඒත් ඒක කරන්න කාලය හොයාගන්න අමාරු ඇති. මොකද ඔයා ඔයාගේ පවුලේ අයව බලාගන්න ඕනේ. රස්සාව කරන්න ඕනේ. සභාව බලාගන්න ඕනේ. සභාවේ හදිසි කාරණා ඇති වෙද්දී ඒවා ගැන හොයලා බලන්න ඕනේ. ඒ හැම දේම තිබුණත් අනිත් අයව පුහුණු කරන්න කාලය හොයාගන්න එකත් වැදගත්.

කල් දාන්න එපා

4. සහෝදරයන්ව පුහුණු කරන්න වැඩිමහල්ලන් කල් දාන්නේ මොන හේතුව නිසා වෙන්න පුළුවන්ද?

4 සමහරවිට වැඩිමහල්ලන්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘අනිත් අයව පුහුණු කරන එක වැදගත් තමයි. ඒත් ඊට වඩා ඉක්මනින් කරන්න ඕනෙ වැදගත් දේවල් සභාවේ තියෙනවා. ඒවා ගැන හොයලා බලන්න ඕන නිසා අනිත් අයව පුහුණු කරන එක කල් දැම්මා කියලා සභාවට හානියක් වෙන්නේ නැහැ.’ ඇත්ත, ඉක්මනින්ම අවධානය දෙන්න ඕන කාරණා ඇති. ඒත් සහෝදරයන්ව පුහුණු කරන එක පරක්කු කරනවා නම් ඔයා ඇත්තටම කරන්නේ සභාවට හානියක්.

5, 6. රියදුරාගේ උදාහරණෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

5 කාර් එකක් හොඳට නඩත්තු කරන්න නම් නියමිත කාලෙදී තෙල් මාරු කරන්න ඕනෙ කියලා රියදුරෙක් දන්නවා. හැබැයි පෙට්‍රල් නැති වුණොත් කාර් එක නවතින නිසා තෙල් මාරු කරනවට වඩා වැදගත් වෙන්නේ නිතරම පෙට්‍රල් ගහන එකයි කියලා ඔහු හිතනවා. ඒත් පෙට්‍රල් ගහන්න විතරක් අවධානය දීලා තෙල් මාරු කරන එක දිගින් දිගටම කල් දැම්මොත් මොකද වෙන්නේ? ඔහුට ටික කාලයක් ඒ විදිහට කාර් එක පදවන්න පුළුවන් වෙයි. ඒත් අන්තිමේදී තෙල් නැති නිසා එන්ජිමට ලොකු හානියක් වෙනවා. කාර් එක හදන්න සෑහෙන කාලයක්, මුදලක් වැය කරන්න වෙනවා.

6 වැඩිමහල්ලන් සභාවේ වැදගත් කාරණාවලට ඉක්මනින්ම අවධානය දෙන්න ඕනේ. නැත්නම් ඒක සභාවට හානියක්. රියදුරෙක් නිතරම කාර් එකට පෙට්‍රල් ගහන්න ඕනෙ වගේ වැඩිමහල්ලනුත් නිතරම ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න’ ඕනේ. (ෆිලි. 1:10) ඒත් ඒ දේවලට විතරක් අවධානය දුන්නොත් අනිත් අයව පුහුණු කරන එක කල් දාන්න වැඩිමහල්ලන් පෙලඹෙන්න පුළුවන්. ඒක හරියට කාර් එකේ තෙල් මාරු කරන එක කල් දානවා වගේ දෙයක්. වැඩිමහල්ලන් සහෝදරයන්ව පුහුණු කරන එක දිගින් දිගටම කල් දැම්මොත් සභාවේ වැඩ කරන්න හොඳින් පුහුණු වුණු සහෝදරයන් සභාවට නැතුව යයි. පුහුණු වුණු සහෝදරයන්ගේ අවශ්‍යතාව සභාවක ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්.

7. කාලය අරන් සහෝදරයන්ව පුහුණු කරන වැඩිමහල්ලන් ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

7 ඒ නිසා සහෝදරයන්ව පුහුණු කරන එක ඉක්මනින්ම කරන්න ඕනෙ නැහැ කියලා කවදාවත් හිතන්න එපා. සභාවේ අනාගතය ගැන හිතන, කාලය අරන් අනිත් අයව පුහුණු කරන වැඩිමහල්ලන් ඥානවන්ත අය වගේම සභාවේ අයටත් හුඟක් වටින පුද්ගලයන් වෙනවා. (1 පේතෘස් 4:10 කියවන්න.) වැඩිමහල්ලන් අනිත් අයව පුහුණු කරද්දී ඒකෙන් සභාවට ලැබෙන ප්‍රයෝජන මොනවද?

අනාගතයට ආයෝජනයක්

8. (අ) සහෝදරයන්ව පුහුණු කරන්න වැඩිමහල්ලන් පෙලඹෙන්න ඕනෙ මොන හේතු නිසාද? (ආ) ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවල සේවය කරන වැඩිමහල්ලන් කල් නොදමා කරන්න ඕනෙ මොකක්ද? (“ කල් දාන්න බැරි වැඩක්” යන කොටුව බලන්න.)

8 කොච්චර අද්දැකීම් තිබුණත් වැඩිමහල්ලන් පිළිගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි තමන් එන්න එන්නම වයසට යන නිසා දැන් කරනවා වගේ දේවල් ඒ විදිහටම ඉස්සරහටත් කරන්න තමන්ට අමාරු වෙනවා කියන දේ. (මීකා 6:8) “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” සිද්ධ වෙන නිසා තමන්ගේ වගකීම් ඉටු කරන්න අමාරු තත්වයන් ඇති වෙන්න පුළුවන් කියලත් වැඩිමහල්ලන් තේරුම්ගන්න ඕනේ. (දේශ. 9:11, 12; යාකො. 4:13, 14) යෙහෝවා දෙවි තමන්ට භාර දීපු රැළට ඔවුන් ඇත්තටම ආදරේ නිසා, රැළ ගැන සැලකිලිමත් නිසා අවුරුදු ගාණක් තිස්සේ ඉගෙනගත්ත දේවල් තරුණ සහෝදරයන්ට උගන්වන්න වැඩිමහල්ලන් ලොකු උත්සාහයක් දරනවා.—ගීතාවලිය 71:17, 18 කියවන්න.

9. සහෝදරයන්ව දැන්ම පුහුණු කරන එක අනාගතයේදී ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

9 අනිත් අයව පුහුණු කරන වැඩිමහල්ලන් සභාවකට ආශීර්වාදයක් කියලා කියන්න තියෙන තවත් හේතුවක් බලමු. ඔවුන් කරන ඒ කාර්යය නිසා සභාව හුඟක් ශක්තිමත් වෙනවා. ඒ කොහොමද? මේ අන්තිම කාලෙදී විශේෂයෙන්ම මහත් පීඩාව අතරතුරේදී සභාවේ අය එක්සත්ව, දෙවිට විශ්වාසවන්තව ඉන්න එක අත්‍යවශ්‍යම දෙයක්. (එස. 38:10-12; මීකා 5:5, 6) එහෙම ඉන්න එදාට ඒ අයට හුඟක් උදව් ඕනේ. ඒ උදව් ලබා දෙන්න පුළුවන් සහෝදරයන් පිරිසක් එදාට ඉන්න නම් වැඩිමහල්ලන් දැන් ඉඳන්ම සහෝදරයන්ව පුහුණු කරන්න ඕනේ. ඒ නිසා වැඩිමහල්ලෙනි, අපි ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ අනිත් අයව පුහුණු කරන්න අදම පටන්ගන්න කියලයි.

10. අනිත් අයව පුහුණු කරන්න කාලය හොයාගන්න වැඩිමහල්ලෙක් කරන්න ඕනෙ මොකක්ද?

10 ඔයාට සභාවේ කරන්න වැඩ ගොඩක් තියෙන නිසා වෙලාව හොයාගන්න එක අමාරුයි කියලා අපි දන්නවා. ඒත් ඒ වැඩවලට යොදවන කාලෙන් ටිකක් අනිත් අයව පුහුණු කරන්න යොදාගන්න ඔයාට සිද්ධ වෙයි. (දේශ. 3:1) ඒක ඔයාගේ කාලය ඥානවන්තව පාවිච්චි කිරීමක්. ඒ වගේම ඒක සභාවේ අනාගතයට කරන ආයෝජනයක්.

පුහුණුව ලබාගන්න ආසාවක් ඇති කරන්න

11. (අ) විවිධ රටවල වැඩිමහල්ලන් සහෝදරයන්ව පුහුණු කිරීම ගැන දුන්න යෝජනාවල තිබුණු විශේෂත්වය මොකක්ද? (ආ) හිතෝපදේශ 15:22 කියන විදිහට වෙනත් වැඩිමහල්ලන්ගේ යෝජනා සලකා බලන එක වැදගත් ඇයි?

11 අනිත් අයව පුහුණු කරලා සාර්ථක ප්‍රතිඵල ලබපු වැඩිමහල්ලන් හුඟදෙනෙක් ඉන්නවා. ඒක කරන්න ඔවුන්ට උදව් වුණේ මොනවද කියලා ඒ කීපදෙනෙක්ගෙන් ඇහුවම ඔවුන්ගේ පසුබිම, රට මොකක් වුණත් දුන්නේ එකම විදිහේ උත්තර. b ඒකට හේතුව ඒ අය දීපු පුහුණුවට පදනම වුණේ බයිබලය නිසයි. බයිබලේ තියෙන උපදෙස්වලට අනුව පුහුණු කරනවා නම් ඕනම රටක, “සෑම සභාවකම” ඉන්න අයට ප්‍රයෝජන ලැබෙනවා. (1 කොරි. 4:17) මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් ඒ වැඩිමහල්ලන් දුන්න වටිනා යෝජනා කීපයක් ගැන බලමු.—හිතෝ. 15:22.

12. වැඩිමහල්ලෙක් මුලින්ම කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?

12 වැඩිමහල්ලා මුලින්ම පුහුණුව ලබන කෙනාගේ හිතේ පුහුණුව ලබන්න ආසාවක් ඇති කරන්න ඕනේ. ඒක හරියට ගොවියෙක් පස බුරුල් කරලා බීජය පැළ කරන්න පුළුවන් විදිහට පස සකස් කරනවා වගේ දෙයක්. එහෙම කළොත් තමයි පුහුණුව ලබන කෙනාගේ හිතේ අලුත් දේවල් ඉගෙනගන්න ආසාවක් ඇති වෙන්නේ. ඒත් ඒ සඳහා වැඩිමහල්ලා මොන වගේ දේවල්ද කරන්න ඕනේ? සාමුවෙල්ගෙන් ඒ ගැන යමක් ඉගෙනගන්න පුළුවන්.

13-15. (අ) දෙවි සාමුවෙල්ට කරන්න කිව්වේ මොකක්ද? (ආ) අලුත් පැවරුම භාරගන්න සාමුවෙල් සාවුල්ව සූදානම් කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ඇ) බයිබලේ සඳහන් මේ වාර්තාව වැඩිමහල්ලන්ට උදව් වෙන්නේ කොහොමද?

13 මීට අවුරුදු 3,000කට කලින් දවසක යෙහෝවා දෙවි මහලු වයසේ හිටපු සාමුවෙල්ට කතා කරලා මෙහෙම කිව්වා. “හෙට මේ වෙලාවට බෙන්ජමින් දේශයේ මිනිසෙකුව මම ඔබ වෙතට එවන්නෙමි. මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා ලෙස ඔබ ඔහුව අභිෂේක කරන්න.” (1 සාමු. 9:15, 16) තමන් තවදුරටත් ඊශ්‍රායෙල් සෙනඟගේ නායකයා නෙමෙයි කියලත් අලුත් නායකයාව පත් කිරීමේ වගකීම දෙවි තමන්ට භාර දීලා තියෙනවා කියලත් සාමුවෙල් තේරුම්ගත්තා. ඔහු මොකද කළේ? අලුතෙන් පත් කරන ඒ කෙනාව ඒ පැවරුමට සූදානම් කරන්නේ කොහොමද කියලා ඔහු හොඳට හිතලා බැලුවා.

14 පහුවදා සාමුවෙල්ට සාවුල්ව මුණගැහුණා. “මම ඔබට කලින් කිව්වේ මේ තැනැත්තා ගැනයි” කියලා යෙහෝවා දෙවි කිව්වම කලින් හිතාගෙන හිටපු විදිහට ඔහු එක්ක කතාබහ කරන්න සාමුවෙල් අවස්ථාව හදාගත්තා. මුලින්ම ඔහු සාවුල්ටත් ඔහුගේ සේවකයාටත් කෑමකට ආරාධනා කළා. ඒ අවස්ථාවේ හුඟදෙනෙක් හිටියත් සාමුවෙල් සාවුල්වත් ඔහුගේ සේවකයාවත් වාඩි කළේ ප්‍රධාන තැන්වල. “මෙන්න, ඔබට වෙන් කළ කොටස” කියලා ඔහු මස්වල හොඳම කොටසත් දුන්නා. කෑම ගත්තට පස්සේ සාමුවෙල් කිව්වා සාවුල්ට තමන්ගේ ගෙදර එන්න කියලා. ගෙදර යන ගමන් ඔවුන් දෙන්නට පුළුවන් වුණා කතාබහ කරලා එකිනෙකාව අඳුනගන්න. ගෙදර ආවට පස්සේ දෙන්නා එක්ක නිවසේ සඳලුතලයට ගිහින් රෑ නින්දට යන කල්ම කතා කරකර හිටියා. පහුවෙනිදා සාමුවෙල් සාවුල්ව රජ විදිහට අභිෂේක කළා. ඊටපස්සේ ඔහුව සිප වැළඳගෙන ඔහුට අවශ්‍ය තවත් මඟ පෙන්වීම් ලබා දුන්නා. ඒ විදිහට ඉදිරියේ තියෙන පැවරුමට සාමුවෙල් සාවුල්ව හොඳින් සූදානම් කළා.—1 සාමු. 9:17-27; 10:1.

15 සාමුවෙල් සාවුල්ව සූදානම් කළේ ඊශ්‍රායෙලයේ රජු වෙන්නයි. ඒක අද ඉන්න සහෝදරයන්ව වැඩිමහල්ලන්, සහායක සේවකයන් විදිහට සභාවේ සේවය කරන්න පුහුණු කරනවට වඩා වෙනස් දෙයක් තමයි. ඒත් තමන්ගේ පැවරුම හොඳින් කරන්න සාවුල්ගේ හිතේ ආසාවක් ඇති කරන්න සාමුවෙල් කරපු දේවලින් වැඩිමහල්ලන්ට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ අතරෙන් දේවල් 2ක් ගැන බලමු.

කැමැත්තෙන් උගන්වන්න, හොඳ යාළුවන් වෙන්න

16. (අ) ඊශ්‍රායෙල් සෙනඟ රජ කෙනෙක්ව ඉල්ලුවම සාමුවෙල්ට හැඟුණේ කොහොමද? (ආ) සාවුල්ව රජ විදිහට අභිෂේක කරන්න කියලා යෙහෝවා දෙවි කිව්වම සාමුවෙල් කළේ මොකක්ද?

16 අදිමදි නොකර කැමැත්තෙන් උගන්වන්න. ඊශ්‍රායෙල්වරුන්ට රජ කෙනෙක්ව පත් කරගන්න ඕනෙ වෙලා කියලා දැනගත්තම සාමුවෙල් මුලින් ටිකක් අධෛර්යය වුණා. සෙනඟ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ තමන්වයි කියලා හිතලා දුක් වුණා. (1 සාමු. 8:4-8) රජ කෙනෙක්ව පත් කරන්න මුලින් ඔහු කැමති වුණේ නැහැ. ඒ නිසා සෙනඟට ඇහුම්කන් දෙන්න කියලා තුන් පාරක්ම ඔහුට කියන්න යෙහෝවා දෙවිට සිද්ධ වුණා. (1 සාමු. 8:7, 9, 22) මුලින් ඔහුගේ හිතේ දුකක් තිබුණත් ඔහු කවදාවත් නායකයා විදිහට තමන්ගේ තැන ගන්න ඉන්න කෙනාට ඊර්ෂ්‍යා කළේ නැහැ. ඔහු එක්ක කේන්තියෙන් හිටියෙත් නැහැ. නායකයා විදිහට සාවුල්ව අභිෂේක කරන්න කිව්වම සාමුවෙල් අදිමදි නොකර කැමැත්තෙන්ම කීකරු වුණා. ඔහු එහෙම කළේ ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ නිසා නෙමෙයි. දෙවිට තිබුණු ආදරේ නිසයි.

17. වැඩිමහල්ලන් සාමුවෙල්ව ආදර්ශයට අරන් තියෙන්නේ කොහොමද? ඒකෙන් ලැබිලා තියෙන්නේ මොන වගේ ප්‍රතිඵලද?

17 අද ඉන්න අද්දැකීම් ඇති වැඩිමහල්ලන් හුඟදෙනෙක් සාමුවෙල් වගේ අනිත් අයව පුහුණු කරද්දී ආදරෙන් ඒ දේ කරනවා. (1 පේතෘ. 5:2) අනිත් අයට උගන්වන්න ඔවුන් තුළ ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේම සභාවේ ඔවුන්ට තියෙන සමහර වගකීම් පුහුණුව ලබන අයත් එක්ක බෙදාගන්නත් ඔවුන් අදිමදි කරන්නේ නැහැ. ඒ අයව ඔවුන් සලකන්නේ සභාවේ වැඩ හොඳින් කරන්න තමන්ට සහය දෙන, තමන් එක්ක “හවුලේ සේවය කරන” වටිනා සහෝදරයන් විදිහටයි. (2 කොරි. 1:24; හෙබ්‍රෙ. 13:16) පුහුණුව ලබන අය ඔවුන්ගේ හැකියාවන් යොදාගෙන සභාවේ අයට උදව් කරනවා දකිද්දී ඒ වැඩිමහල්ලන් හුඟක් සතුටු වෙනවා.—ක්‍රියා 20:35.

18, 19. පුහුණුවක් ලබාගන්න කෙනෙක්ගේ හිතේ ආසාවක් ඇති කරන්න වැඩිමහල්ලෙක් කරන්න ඕනෙ මොනවද? එහෙම කරන එක වැදගත් ඇයි?

18 ගුරුවරයෙක් විතරක් නෙමෙයි යාළුවෙකුත් වෙන්න. ඕනෙ නම් සාමුවෙල්ට තිබුණා සාවුල්ව මුණගැහුණු වෙලාවේ තෙල් ටිකක් අරන් ඔහුගේ හිසේ වත් කරලා ඔහුව රජු විදිහට අභිෂේක කරන්න. එහෙම කළා නම් ඔහු රජ වෙයි. ඒත් ඒ බැරෑරුම් වගකීම ඔහුට භාරගන්න වෙන්නේ කිසිම සූදානමක් නැතුවයි. ඒ නිසා සාමුවෙල් කාලේ අරන් පැවරුම භාරගන්න සාවුල්ව හොඳින් සූදානම් කළා. මතකද ඔහු කරපු දේවල්? ඔහු සාවුල් එක්ක එකට කෑම ගත්තා. ඔහු එක්ක කතා කරකර ඇවිදගෙන ගියා. රෑ වෙන කල් කතා කරකර හිටියා. විවේක ගත්තා. ඒ දේවල් කළාට පස්සෙයි ඔහු සාවුල්ව රජ විදිහට අභිෂේක කළේ.

පුහුණුවක් දෙන්න කලින් යාළුවෙක් වෙන්න (18 සහ 19 ඡේද බලන්න)

19 වැඩිමහල්ලෙනි, ඔයාලත් සාමුවෙල්ව ආදර්ශයට ගන්න. කෙනෙක්ව පුහුණු කරන්න කලින් එයාගේ යාළුවෙක් වෙන්න ලොකු උත්සාහයක් ගන්න. ඔයා එක්ක ඕනම දෙයක් නිදහසේ කතා කරන්න පුළුවන් කියලා එයාට හැඟෙන්න ඕනේ. කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න කෙනෙක් කරන දේවල් රට අනුව, සංස්කෘතිය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ කොහොමවුණත් ඔයාගේ කාර්යබහුල කාලසටහනෙන් යම් කාලයක් එයා වෙනුවෙන් වෙන් කරනවා කියලා එයාට දැනෙන්න ඕනේ. එතකොට ඔයාට එයාව හුඟක් වටිනවා කියලා එයා තේරුම්ගන්නවා. (රෝම 12:10 කියවන්න.) ඔයා දක්වන ආදරේ, සැලකිල්ල තේරුම්ගද්දී එයා ඒක හුඟක් අගය කරයි.

20, 21. (අ) සාර්ථක ප්‍රතිඵල ලබන්න නම් වැඩිමහල්ලන් මොන වගේ අය වෙන්න ඕනෙද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවද?

20 සාර්ථක ප්‍රතිඵල ලබන්න නම් වැඩිමහල්ලන් තුළ අනිත් අයව පුහුණු කරන්න කැමැත්තක් තිබිලා විතරක් මදි. පුහුණුව ලබන කෙනා ගැන අවංක සැලකිල්ලක්, ආදරයක් තියෙන්නත් ඕනේ. (යොහන් 5:20 බලන්න.) ඒක වැදගත් කියලා කියන්නේ ඇයි? ඔයා ඇත්තටම එයා ගැන සැලකිලිමත් වෙනවා කියලා පුහුණුව ලබන කෙනාට තේරුණොත් ඔයාගෙන් පුහුණු වෙන්න එයාගේ හිතේ ලොකු ආසාවක් ඇති වෙනවා. ඒ නිසා වැඩිමහල්ලෙනි, උගන්වන්න විතරක් නෙමෙයි ඒ කෙනාගේ හොඳ යාළුවෙක් වෙන්නත් උත්සාහ කරන්න.—හිතෝ. 17:17; යොහ. 15:15.

21 පුහුණු වෙන කෙනාගේ හිතේ ඒ සඳහා ආසාවක් ඇති කළාට පස්සේ වැඩිමහල්ලාට පුළුවන් පුහුණුව පටන්ගන්න. ඒකට යොදාගන්න පුළුවන් මොන වගේ ක්‍රමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

a මේ ලිපියත් ඊළඟ ලිපියත් විශේෂයෙන්ම ලියලා තියෙන්නේ වැඩිමහල්ලන්ටයි. ඒත් අනිත් අයටත් මේ කාරණා ප්‍රයෝජනවත්. සභාවේ වගකීම් ඉටු කරන්න නම් වැඩිමහල්ලන්ගේ පුහුණුව තමන්ට ඕනෙ කියලා තේරුම්ගන්න සභාවේ අනිත් සහෝදරයන්ටත් මේ ලිපිය උදව් කරයි. හොඳින් පුහුණු වුණු සහෝදරයන් වැඩි වෙන තරමට සභාවේ හැමෝටම ප්‍රයෝජන ලැබෙනවා.

b අදහස් දීපු වැඩිමහල්ලන් ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බෙල්ජියම, බ්‍රසීලය, ප්‍රංශය, ප්‍රංශ ගයනාව, ජපානය, කොරියාව, මෙක්සිකෝව, නැමීබියාව, නයිජීරියාව, රියුනියන්, රුසියාව, දකුණු අප්‍රිකාව සහ එක්සත් ජනපදය යන රටවල ජීවත් වෙන අයයි.