Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

දුර දිග නොයවා විසඳාගන්න

දුර දිග නොයවා විසඳාගන්න

ටෝනි * මෙසේ පවසනවා. “අපේ විවාහයෙන් පස්සේ මමයි සාරයි හිටියේ මගේ දෙමව්පියන් එක්ක. දවසක් මගේ මල්ලි යාළු වෙලා හිටපු ගෑනු ළමයා අපේ ගෙදර ආපු වෙලේ මගෙන් ඇහුවා එයාව ගෙදරට ඇරලවන්න පුළුවන්ද කියලා. ඉතිං එයාව ඇරලවන්න වාහනයෙන් යද්දී මම අපේ පුතාවත් එක්කගෙන ගියා. හැබැයි මම ගෙදර එද්දී සාරාට හොඳටම කේන්ති ගිහින්. අපි දෙන්නා හොඳටම බැනගත්තා. පවුලේ අය ඉස්සරහම, ඔයා ගෑනු පස්සේ යනවා කියලා සාරා මට කිව්වහම මගේ ඉවසීමේ සීමාව පැන්නා. මමත් එයාට බැන්නා.”

සාරා මෙසේ පවසනවා. “අපේ පුතාට ලොකු අසනීපයක් තිබුණා. අපිට ආර්ථික ප්‍රශ්නත් තිබුණා. ඒ නිසා මම හිටියේ ලොකු පීඩනයකින්. ඒ වගේ වෙලාවක ටෝනි, පුතාවත් එක්කගෙන මල්ලි යාළු වෙලා හිටපු ගෑනු ළමයව ඇරලවන්න ගියාම මට හොඳටම කේන්ති ගියා. ටෝනි ගෙදර ආවම මං ඒ ගැන එයත් එක්ක කතා කළා. එතකොට අපි දෙන්නා අතරේ වාදයක් ඇති වෙලා නරක විදිහට බැනගත්තා. අන්තිමේදී මටම ලැජ්ජ හිතුණා.”

විවාහක යුවළක් වාද විවාද ඇති කරගන්නේ ඔවුන් එකිනෙකාට ආදරේ නැති නිසාද? කොහෙත්ම නැහැ. ටෝනි හා සාරා එකිනෙකාට බෙහෙවින් ආදරය කරනවා. මින් පෙනී යන්නේ සාර්ථක විවාහයන් තුළ පවා ඇතැම් අවස්ථාවල යම් මතභේද ඇති විය හැකි බවයි.

එවැනි මතභේද ඇති වෙන්නේ ඇයි? ඔබේ විවාහ ජීවිතය දෙකඩ කළ හැකි දේවල් මඟහැරිය හැක්කේ කෙසේද? මුල්ම විවාහය සිදු කළේ යෙහෝවා දෙවි නිසා ඒ සම්බන්ධයෙන් ඔහු බයිබලයේ පවසා ඇති දෙය සලකා බැලීම ප්‍රයෝජනවත් වේවි.—උත්පත්ති 2:21, 22; 2 තිමෝති 3:16, 17.

ගැටලුවලට හේතු මොනවාද?

බොහෝ විවාහ යුවළයන් කැමතියි එකිනෙකාට ආදරයෙන් හා කරුණාවෙන් සලකන්න. කොහොමවුණත් බයිබලයේ මෙසේ පවසනවා. “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටිති.” (රෝම 3:23) එමනිසා මතභේදයක් ඇති වූ විට හැඟීම් පාලනය කරගැනීම අපහසු විය හැකියි. සමහරුන්ට එවැනි අවස්ථාවකදී කෑගහලා නරක වචනවලින් බනින එක පාලනය කරගන්න අමාරු වෙන්න පුළුවන්. (රෝම 7:21; එෆීස 4:31) මානසික පීඩනයක් ඇතිවීමට බලපෑ හැකි අනිකුත් හේතූන් මොනවාද?

බොහෝවිට සැමියා සහ බිරිඳ අදහස් හුවමාරු කරන ආකාරය එකිනෙකට වෙනස්. ඒ ගැන මිචිකෝ මෙසේ පවසනවා. “අපි විවාහ වුණු මුල් දවස්වලම මට තේරුණා අපි දෙන්නා අදහස් හුවමාරු කරන විදිහ ගොඩක් වෙනස් කියලා. මම මොනවා හරි දෙයක් ගැන කියද්දී, වුණේ මොකක්ද, ඇයි එහෙම වුණේ, කොහොමද වුණේ කියලා කියනවා. ඒත් මගේ මහත්තයට ඕනෙ අන්තිමට වුණ දේ දැනගන්න විතරයි.”

මිචිකෝට තිබුණේ අසාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. බොහෝ විවාහයන් තුළ එක් පාර්ශවයක් එකඟ වෙන්න බැරි දෙයක් ගැන විස්තරාත්මකව කතා කිරීමට කැමති වුණත් අනික් කෙනා වාදයක් ඇති වෙනවට අකමැති නිසා ඒ ගැන කතා කිරීමට කැමැත්තක් නොදක්වන්න පුළුවන්. සමහර අවස්ථාවලදී එක්කෙනෙක් කතා කරන්න උත්සාහ කරද්දී අනිත් කෙනා මඟ හරින්න උත්සාහ කරයි. ඔබේ විවාහය තුළත් මෙම ප්‍රශ්නය මතු වෙනවා වගේ පෙනෙනවාද? එක්කෙනෙක් යම් කාරණයක් ගැන කතා කරන්න කැමති වුණත් අනික් කෙනා එය මඟ හරින්න උත්සාහ කරනවාද?

මේ සම්බන්ධයෙන් සලකා බැලිය යුතු තවත් පැත්තක් වන්නේ දෙදෙනා හැදී වැඩුණු පවුල් පසුබිමයි. විවාහයක් තුළ කෙරෙන අදහස් හුවමාරුවට එයත් බලපෑ හැකියි. අවුරුදු පහක විවාහ ජීවිතයේ අද්දැකීම් තිබෙන ජස්ටින් මෙසේ පැවසුවා. “මම හැදී වැඩුණේ විවෘතව අදහස් හුවමාරු කරපු පවුලක නෙවෙයි. ඒ නිසා මගේ හැඟීම් තව කෙනෙක් එක්ක බෙදාගන්න එක හරිම අමාරුයි. මගේ බිරිඳ ඒකට කැමති නැහැ. මොකද එයා හැදී වැඩුණේ විවෘතව අදහස් හුවමාරු කරපු පවුලක. ඒ නිසා හිතේ තියෙන හැම දෙයක්ම එයා මට කියනවා.”

ප්‍රශ්න විසඳාගැනීමට වෑයම අවශ්‍යයි

යුග දිවියේ සතුට රඳා පවතින්නේ ඔවුන් එකිනෙකාට ආදරේ බව පැවසීමෙන්වත්, හොඳ ලිංගික ඇසුරක් පැවැත්වීමෙන්වත්, අත මිට සරු වීමෙන්වත් නොවන බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. යුග දිවිය සාර්ථක වන්නේ ස්වාමිපුරුෂයා හා භාර්යාව කොතරම් හොඳින් ගැටලු විසඳාගන්නවාද යන කාරණය අනුවයි.

පුරුෂයෙකු හා ස්ත්‍රියක විවාහය මගින් එක් කරන්නේ විවාහයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි මිස මිනිසුන් නොවන බව යේසුස් පැවසුවා. (මතෙව් 19:4-6) එමනිසා සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමෙන් දෙවිව ගෞරවයට පත් කළ හැකියි. නමුත් තම භර්යාවට ආදරය හා සැලකිල්ල දැක්වීමට අපොහොසත් වන පුරුෂයෙකුගේ යාච්ඤාවලට දෙවි සවන් දෙන්නේ නැහැ. (1 පේතෘස් 3:7) එමෙන්ම සැමියාට නිසි ගෞරවය නොදෙන බිරිඳක් පවුලේ හිස ලෙස ඔහුව පත් කළ දෙවිට අගෞරව කරනවා.—1 කොරින්ති 11:3.

සිත රිදෙන කතා සාර්ථකත්වයට අත්වැලක් නෙවෙයි

ඔබේ පවුල් පසුබිම හෝ අදහස් හුවමාරු කරන ආකාරය කුමක් වුණත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගනිමින් ගැටලුවලින් ජය ගැනීමට නම් සිත රිදෙන කතාවලින් වැළකිය යුතුයි. ඔබෙන්ම මෙසේ අසාගන්න.

‘මම එකට එක කරනවාද?’

‘නාසය තදින් මිරිකන විට ලේ ගලයි. කෝපය පිට කිරීමෙන් ආරවුල් ඇති වෙයි.’ යන නැණවත් හිතෝපදේශය බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 30:33, නව ලොව පරිවර්තනය, NW.) එයින් අදහස් කරන්නේ කුමක්ද? එය තේරුම්ගැනීමට මේ උදාහරණය බලන්න. හිතන්න ඔබ දෙදෙනා පවුලේ වියහියදම් අඩු කරගන්නා ආකාරය ගැන සාකච්ඡා කරනවා කියා. එසේ කිරීමේදී දෙදෙනා එකිනෙකා මත වරද පටවමින් මෙසේ කියයි. “ඔයා තමයි කිසිම සැලකිල්ලක් නැතුව වියදම් කරන්නේ.” එසේ චෝදනා කිරීම, ‘තදින් නාසය මිරිකීමට’ සමාන කරන්න පුළුවන්. එය සිදු වුණේ ඔබට නම්, ඔබත් අනිත් කෙනාට ඒ දේම කරන්න ඉඩ තිබෙනවා. කොහොමවුණත් එකට එක කිරීමෙන් සිදු වන්නේ කෝපය ඇතිවීමත්, ප්‍රශ්නය තවත් උග්‍රවීමත් පමණයි.

බයිබල් ලේඛකයෙකු වූ යාකොබ් මෙසේ අනතුරු ඇඟෙව්වා. “බලන්න! ඉතා විශාල වනාන්තරයකට ගිනි තබන්න ඕනෑ කරන්නේ කොතරම් කුඩා ගින්නක්ද! එසේය, දිව ගින්නකි.” (යාකොබ් 3:5, 6) ඒ අනුව විවාහකයන් තමන්ගේ දිව පාලනය කරගන්න අසමත් වුණොත් සුළු මතභේදයන් ගින්නක් ඇවිළෙන්නාක් මෙන් විශාල ආරවුල් බවට පත් වෙන්න පුළුවන්. පවුලක් තුළ දිගින් දිගටම ආරවුල් ඇති වෙනවා නම් ඔවුන් එකිනෙකාට ප්‍රේම කරන්නේ කොහොමද?

පළිගන්නවා වෙනුවට, තමන්ට ‘නිග්‍රහ කරද්දී, නිග්‍රහ නොකළ’ යේසුස්ව අනුකරණය කරන්න ඔබටත් හැකිද? (1 පේතෘස් 2:23) ආරවුලක් විසඳාගැනීමට කළ හැකි හොඳම දේ නම් සහකරු හෝ සහකාරිය පවසන දේටත් හොඳ හේතුවක් ඇති බව පිළිගෙන ඔබ අතින් සිදු වූ දේට සමාව ඉල්ලීමයි.

මෙය අත්හදා බලන්න. ඊළඟ වතාවේදී ආරවුලක් ඇති වුණොත් ඔබෙන්ම මෙසේ අසාගන්න. “මම එයා කියන දේ තේරුම්ගන්නේ නැත්තේ ඇයි? මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්න මගේ අතින් වුණු වරද මොකක්ද? මම සමාව ඉල්ලන්නේ නැත්තේ ඇයි?”

‘මම එයාගේ හැඟීම් සැහැල්ලුවට ගන්නවාද?’

“ඔබ සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්” සිටින්න කියා බයිබලයේ උපදෙස් දී තිබෙනවා. (1 පේතෘස් 3:8) මෙම උපදෙස අදාළ කරගැනීම අපහසු වීමට බලපාන හේතු දෙකක් සලකා බලන්න. ඔබේ සහකරුවාගේ හෝ සහකාරියගේ සිතේ තිබෙන දේ හෝ හැඟීම් තේරුම්ගැනීමට නොහැකි වීම එක් හේතුවක් විය හැකියි. උදාහරණයකට යම් කාරණයක් ගැන ඔහු හෝ ඇය ඔබට වඩා කලබල වෙද්දී, “ඔයා බොරුවටනේ කලබල වෙන්නේ” කියා පැවසීමට ඔබ පෙලඹිය හැකියි. එසේ පැවසීමෙන් එම කාරණය දිහා ඔහුට හෝ ඇයට යථාර්ථවාදීව බැලීමට උපකාරයක් වෙයි කියා ඔබ සිතන්න ඇති. කොහොමවුණත් එසේ පැවසීමෙන් ප්‍රයෝජන ලබන්නේ අතළොස්සයි. ඕනෑම සැමියෙක් හා බිරිඳක් කැමති වෙන්නේ තමන් ආදරය කරන කෙනා තමාව තේරුම්ගෙන තමන්ට අනුකම්පාව පෙන්වනවාටයි.

සහකරු හෝ සහකාරියගේ හැඟීම් සුළු කිරීමට අහංකාරකමත් හේතුවක් විය හැකියි. එවැනි කෙනෙක් නිතරම උත්සාහ කරන්නේ අන් අයව පහත් කරමින් තමන් උසස් බව පෙන්වීමටයි. එසේ කිරීමට ඔහු අපහාසාත්මක නම් හෝ අසාධාරණ සැසඳීම් යොදාගනියි. උදාහරණයකට යේසුස්ගේ කාලයේ සිටි ආගමික නායකයන් වූ ලියන්නන් හා පරිසිවරුන් ගැන සලකා බලන්න. ඔවුන්ගෙන්ම කෙනෙක් එකඟ විය නොහැකි යම් අදහසක් ප්‍රකාශ කළ විට ඔහුට අපහාසාත්මක නම්වලින් කතා කර නින්දා කළා. (යොහන් 7:45-52) නමුත් මොවුන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ යේසුස්, මිනිසුන් තම හැඟීම් ප්‍රකාශ කරද්දී ඔවුන්ට අනුකම්පා කළා.—මතෙව් 20:29-34; මාක් 5:25-34.

ඔබේ සහකරු හෝ සහකාරිය තම අදහස් ප්‍රකාශ කරද්දී ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? ඔබ පවසන දෙයින්, කට හඬින් හා මුහුණේ ඉරියව්වලින් ඔබ සැලකිලිමත් බව පෙන්වනවාද? නැත්නම් ඒ මොහොතෙම එම අදහස් එතරම් වැදගත් නැති බව ඔබේ කතාවෙන් හෝ ක්‍රියාවෙන් පෙන්වනවාද?

මෙය අත්හදා බලන්න. ඉදිරි සතිවලදී ඔබ ඔබේ සහකරුට හෝ සහකාරියට කතා කරන ආකාරය ගැන සැලකිල්ලෙන් ඉන්න. ගරුසරු නැතුව හෝ උපහාසාත්මක ලෙස වචන පිට කළා නම් ඉක්මනින්ම සමාව ඉල්ලන්න.

‘මම නිතරම හිතන්නේ එයා ආත්මාර්ථකාමියි කියලද?’

පුරාණයේ සිටි ඇදහිලිවන්තයෙක් වූ යෝබ් දෙවිට සේවය කරන්නේ තමන්ගේම වාසිය වෙනුවෙන් කියා සාතන් නමැති යක්ෂයා චෝදනා කළා. ඔහු පැවසුවේ මෙයයි. “[යෝබ්] දෙවිට ගරුබිය දක්වන්නේ වාසි ප්‍රයෝජන නිසයි. ඔබ ඔහුගේ නිවසද, ඔහු සතු සියල්ලද වටා ආරක්ෂක වළල්ලක් දමා තිබේ.”—යෝබ් 1:9, 10, NW.

කල්පනාකාරි නොවුණොත් විවාහක යුවළයන්ටත් එම ආකල්පය ඇති විය හැකියි. උදාහරණයකට ඔබේ සහකරු හෝ සහකාරිය ඔබව සතුටු කරන්න යම් දෙයක් කරද්දී, එසේ කරන්නේ ඔබෙන් කිසිවක් සැඟවීමටයි කියා ඔබ සිතනවාද? ඔහුගෙන් හෝ ඇයගෙන් යම් වරදක් වුණොත් එයා ආත්මාර්ථකාමි කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැති කෙනෙක් කියා ඔබ සිතනවාද? මීට කලිනුත් මෙවැනි වැරදි කළ අවස්ථාවන් සිහියට නඟමින් මේ වරදත් එම ලැයිස්තුවටම එකතු කරගන්නවාද?

මෙය අත්හදා බලන්න. ඔබේ සහකරු හෝ සහකාරිය යහපත් චේතනාවෙන් ඔබ වෙනුවෙන් කළ දේවල් ගැන ලැයිස්තුවක් සාදා එවැනි දේ කිරීමට හේතු විය හැකි දේවලුත් ඇතුළත් කරන්න.

‘ප්‍රේමය  . . අමනාපයක් සිතේ තබාගන්නේ නැහැ’ කියා බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවා. (1 කොරින්ති 13:4, 5) සැබෑ ප්‍රේමය අන්ධ නැහැ. එවැනි ප්‍රේමයක් තියෙන කෙනෙක් තමන්ට කළ වැරදි සිතේ තබාගන්නේ නැහැ. පාවුල් තවදුරටත් පැවසුවේ ප්‍රේමය ‘සියල්ල විශ්වාස කරනවා’ කියායි. (1 කොරින්ති 13:7) ඉන් අදහස් වෙන්නේ පවසන සෑම දෙයක්ම කිසිම පදනමක් නැතුව විශ්වාස කරන බව නෙවෙයි. එවැනි ප්‍රේමයක් තිබෙන කෙනෙක් අනිත් කෙනාව සැක කරන්නේ නැහැ. එකිනෙකාට සමාව දී සැකයේ වාසිය අනිත් කෙනාට ලබා දීමට ඒ ප්‍රේමය ඔහුව හෝ ඇයව පොලඹවනවා. (ගීතාවලිය 86:5; එෆීස 4:32) අඹු සැමියන් අතර එවැනි ප්‍රේමයක් තිබෙනවා නම් විවාහ ජීවිතය සතුටින් ගත කිරීමට හැකි වෙයි.

ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .

  • මුලින් සඳහන් කළ සාරා සහ ටෝනි කළ වැරදි මොනවාද?

  • මගේ විවාහ ජීවිතයේදී එවැනි වැරදි වළක්වාගන්න මට හැක්කේ කෙසේද?

  • මම වැඩියෙන්ම අදාළ කරගත යුත්තේ මේ ලිපියේ තිබෙන මොන කරුණුද?

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.